ආචාර්ය දයාන් ජයතිලක
පසුගිය යුද සමයේ මෙරට සිදුවූයේ යැයි කියන යුද අපරාධ මෙන්ම මානව හිමිකම් කඩවීම් පිළිබඳව සත්‍ය සෙවීමේ කමිටුව පිහිටුවීමේ දින වකවානු මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත. පසුගියදා මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳ දළ වකවානු සහිත මාර්ග සිතියමක් ඉදිරිපත් කළේය. එම මාර්ග සිතියමෙන් කියැවුණු ඉලක්ක හා වකවානු දෙස බලන විට ඔහු අනාවරණය කළ කාරණා අපට පැහැදිලි ලෙස ගොනු කරගත හැකිය.
එහි පළමුවැන්න වන්නේ විදේශීය නඩුකාරවරුන් නොසිටිය යුතු යන මතය ජනාධිපතිවරයාගේ මතයක් බවත්, ඊට අමතරව තවත් මත ඇති බවත් ඔහු සඳහන් කළේය. එහිදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයාගේ මතය එසේ වුවද දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ දේශපාලන ව්‍යාපාරයේ මතය, විදේශීය නඩුකාරවරුන් සිටිය යුතුම බවයි. මෙම මත දෙක අතර ඇති අතරමැද තැනකට පැමිණිය හැකි බවත් තමන් විශ්වාස කරන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
ඔහු පැවසූ දෙවන කාරණාව වූයේ 2017 ජනවාරි පෙබරවාරි වන විට විදේශීය සහභාගිත්වයක් යම්කිසි ආකාරයකට ඇති විශේෂ උසාවිය පිළිබඳ ක්‍රියාත්මක එකඟතාවයක් ඇති කරගත හැකි බවයි. තෙවන කාරණය වන්නේ සත්‍ය සෙවීමේ කොමිසමක් 2016 සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන බවයි. එහි සිව්වන කාරණය නම් ලංකාවේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයිනම නිර්මිල්ටරිකරණයකට 2017 වන විට ලක් කරන බවයි.
මෙම කරුණු හතරට අනුව පෙනෙන්නේ මංගල සමරවීර මහතා ලංකාවේ ව්‍යවස්ථාව හා රාජ්‍ය ක්‍රමය තේරුම් ගෙන නැති බවත්, විදේශ අමාත්‍යවරයකුගේ කාර්යභාරය හා එහි සීමාවන් තේරුම්ගෙන නැති බවත්ය. තම රටේ ව්‍යවස්ථාව තේරුම් ගන්නට නොහැකිනම් තම රට වෙන රටවල් සමග ගනුදෙනුවලදී නියෝජනය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයත් නිතැතින්ම පැන නැගෙන්නේය. මංගල සමරවීර මහතාගේ වචනවලට අනුව රටේ ජනාධිපති සහ කුඩා විපක්ෂයත් එක තලයේ ලා සලකනු ලැබේ. මෙය සිංහල දමිළ ප්‍රශ්නයක් නොවේ. රටේ ව්‍යවස්ථාව අනුව මහජන ස්වෛරිත්වය ප්‍රකාශයට පත්වන ප්‍රධාන රූපාකාරය වන්නේ රටේ ජනතාවගේ බහුතරයෙන් තෝරා පත්කරගනු ලැබූ ජනාධිපතිවරයෙක් හරහා මහජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක වීම තුළයි. ඒ අනුව රටේ රාජ්‍ය ක්‍රමය සහ එහි කැඩපත වන ව්‍යවස්ථාව ගත් විට ජනාධිපතිවරයා කවරෙකු වුවත් ඔහු හෝ ඇය සමග එක තලයේ වෙනත් කිසිදු දේශපාලන ආයතනයක් හෝ දේශපාලන පක්ෂයක් හෝ මතවාදයක් සැලකිය නොහැකිය. සමරවීර මහතා කියනු ලබන ආකාරයට ජනාධිපතිවරයා විදේශීය නඩුකාරවරුන් පිළිබඳ දරන මතය එක් මතයක් ලෙසිනුත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ලෙස දමිළ ජාතික සන්ධානයේ මතය සලකමින් අතරමැදි ස්ථාවරයකට යෑම රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට පටහැනි දෙයකි.
ප්‍රජාතන්ත්‍රවාදය අනුව බහුතර කැමැත්තෙන් තෝරා පත්කරගනු ලැබූ තනතුරක් හොබවන පුද්ගලයෙක් සහ ජනවර්ගය කුමක් වුවත් සුළුතරයක් නියෝජනය කරන දේශපාලන පක්ෂයක මතයක් එක් තරාදියක තුලා තැටි දෙකක දමා කිරන්නට නොහැකිය. එමෙන්ම මෙහි නිවැරදි මතවාදය වන්නේ රටේ මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ විධායක ජනාධිපතිවරයාගේ මතය මිස රටේ පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් සහිත දේශපාලන පක්ෂයක මතය අතර මැද තැන තෝරා ගැනීම නොවේ. රටේ ව්‍යවස්ථාව අනුව යම් කිසි ධූරාවලියක් තිබේ. එම ධූරාවලියට අනුව ජනාධිපතිවරයාගේ මතය සහ කුඩා විපක්ෂයක මතය එක මට්ටමක දමා සැලකීමට නොහැකිය.
මෙම මූලික සිද්ධාන්තය විදේශ අමාත්‍යවරයාට තේරෙන්නේ නැත. එපමණක් ද නොව නිවැරදි මාවතක් සෙවීමේ නිසි ක්‍රමවේදය විධායක ජනාධිපතිවරයා හෝ සුළුතර පක්ෂයක මතය අතර මැද තැන සෙවීම නොව, රටක බහුතර මතවාදය හා සුළුතර මතවාදය අතර පිළිගතහැකි අතරමැදි සම්මුතියකට පැමිණීමයි. මෙය එකක් නොව දෙකකි.
ඒ පිළිබඳ කදිම නිදර්ශනයක් දුන්නේ සෝල්බරි සාමිවරයායි. ඔහු පවසා සිටියේ කිසිම රටක බහුතරයක් සුළුතරයක් කරන්නටත්, සුළුතරයක් බහුතරයක් කරන්නටත් නොහැකි බවයි. ඔහු එමගින් අදහස් කළේ බහුතරයේ මතය සුළුතරය මත පැටවීමක් නොවේ. එහිදී බහුතර මතයට නිසිතැන ලැබෙන ආකාරයටත් සුළුතර මතයට නිසි තැන ලැබෙන ආකාරයටත් සම්මුතියකට පැමිණීමයි. එහිදී බහුතරය මතයට ලැබෙන නිසි තැන සහ සුළුතර මතය ලැබෙන තැන එකම තැන නොවේ. එබැවින්ම නිවැරදි මතවාදය මේ දෙක අතර මැද තැනක්ද නොවේ. එහිදී බහුතර මතයට සමීකරණයේ අනුපානමය වශයෙන් වැඩි තැනක් ස්වභාවිකව හිමි විය යුතුය. කෙසේ වුවත් මෙවැනි මූලධර්මයක් පවා නොතේරෙන පුද්ගලයකු තමුන්ගේ රටේ විදේශ අමාත්‍යවරයාව සිටින්නේ කෙසේද?
මංගල සමරවීර මහතා පවසන ආකාරයට ජනාධිපතිවරයාගේ සහ දෙමළ ජාතික සන්ධානයේ මතයන් අතර මැද තැනකට පැමිණිය හැකිය. එහෙත් එවැනි මැද තැන් සෙවීම විදේශ අමාත්‍යවරයකුගේ කටයුත්තක් නොවේ. මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවේදී සිදු කළ ප්‍රකාශ අනුව පෙනෙන්නේ විදේශ ඇමැතිවරයකුගේ ව්‍යවස්ථානුකූල කටයුතු ඔහු කිසි ලෙසකිනුත් තේරුම් ගෙන නැති බවයි. අප සැමදෙනා ශ්‍රේෂ්ඨ විදේශ අමාත්‍යවරයකු ලෙස සලකන ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා සැලකිල්ලට ගත් විට අපට පෙනෙන්නේ දේශීය කටයුතුවලට ඔහු ඇඟිලි නොගැසූ බවයි.
එහෙත් සමරවීර මහතා අද කතා කරන්නේ නව අධිකරණ පිහිටුවීම ගැනත්, සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම ගැනත්, සමස්ත දිවයිනම නිර් හමුදාකරණය කිරීම ගැනය. මෙවැනි දේ වෙනත් කිසිදු රටක විදේශ අමාත්‍යවරයකුට කතා කරන්නට අදාළ මාතෘකා නොවේ. විදේශ අමාත්‍යවරයාගේ කටයුත්ත වන්නේ රටක් වශයෙන් තමුන්ගේ රට සහ රටක් වශයෙන් සෙසු රටවල් අතර ඇති සම්බන්ධතාවය තමුන්ගේ රටට, රටේ අවශ්‍යතාවන්ට වාසිදායක ආකාරයට හැකිතාක් දුරට කළමනාකරණය කිරීමයි.
කෙසේ නමුත් මංගල සමරවීර මහතා පැහැදිලිවම කරන්නේ විදේශීය රටවල් අතුරින් සමහරක් හා විදේශවල සිටින දමිළ ඩයස්‍පෝරාවේ පිරිස් කියන දේවල් සහ ඔවුන් සමග පැමිණි ඒක පාර්ශ්වීය එකඟතාවන් දේශීය ප්‍රතිපත්තිය බවට පරිවර්තනය කිරීමට නායකත්වය දෙන චරිතයක් ලෙසයි. විදේශ අමාත්‍යවරයකුගේ කාර්ය මෙය නොවේ. ඔහු පවසන්නේ 2017 වසරේ ජනවාරි පෙබරවාරි වන විට විශේෂ උසාවියක් පිහිටුවන බවයි. එහිදී ඔහු තවදුරටත් කියා සිටින්නේ හමුදාවේ කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බවත්, එම කැලල මැකීම සඳහා මෙම විශේෂ අධිකරණය පිහිටුවන බවයි. ශ්‍රී ලංකා හමුදාවට කැලලක් වී ඇත්නම් ඒ කොතැනකද? එම කැලල ඇත්තේ දමිළ ඩයස්‍පෝරාව ඡන්දපොළට යන බටහිර රටවල පමණි. එසේ නොමැතිව ලෝකයේ වැඩිපුර ජනතාවක් සිටින චීනය, රුසියාව හා ආසියාවේ රටවල ශ්‍රී ලංකාවේ හමුදාව ගැන එවැනි විවේචනයක් නැත. තමිල්නාඩුවේ එවැනි විවේචන තිබුණත් ඉන්දීය ආණ්ඩුව පවා ශ්‍රී ලංකා හමුදාව සහ යුද්ධය පිළිබඳව එවැනි චෝදනා ඉදිරිපත් කර නැත. එහිදී ඉන්දියානු ආණ්ඩුවේ උවමනාව වී තියෙන්නේ හුදෙක් බල විමධ්‍යගත කිරිමේ ප්‍රශ්නය මිසක, ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධය සහ හමුදාව සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණ පිහිටුවා විදේශිකයන් ඊට සහභාගි කරවීම නොවේ. එබැවින්ම ලංකාව සම්බන්ධයෙන් සම්මත වුණු ජිනිවා යෝජනාවේදී මහ කොමසාරිස් කාර්යාලයට බාර කටයුතු පිළිබඳව ඉන්දියාව දැරුවේ ප්‍රතිවිරුද්ධ මතයකි. ඒ අනුව බලද්දී මංගල සමරවීර මහතා කියන කැලල ඇත්තේ ලිබරල් බටහිර රටවල මානසිකත්වය තුළ පමණකි.
එම රටවල් ලංකාවට දෙන ආයෝජන හා ආධාර පවා සොච්චමකි. ඒ බව අපට පැහැදිලිව පෙනෙන්නේ චීනය හා ජපානය කරා එ.ජා.ප ආණ්ඩුව යළි ගමන් කිරීම නිසාය. ඒ අනුව ඉහත කී කැලල පිළිබඳ කථාවත් අර්ධ සත්‍යයකි. එමෙන්ම මෙහිදී සැලකිලිමත් විය යුතු ඊළඟ කාරණාව නම් කලින් යම් කැලලක් තිබුණේ නම් එය කාලයාගේ ඇවෑමත් සමග ලෝකය පුරා අවධානය වෙනතකට යොමුව ඇති බවයි. එනම් ත්‍රස්තවාදය පැත්තට බටහිර රටවල පවා අවධානය මාරු වී තිබිමයි. බටහිර රටවල යළිත් ත්‍රස්තවාදය පැන නැගීම නිසා ත්‍රස්තවාදයට විරුද්ධව සාර්ථක යුද්ධයක් කළ ශ්‍රී ලංකා හමුදා පිළිබඳ යහපත් මතයක් ඉදිරිපත් කිරීම අපහසු වන්නේ නැත. එහෙත් එවැනි මතයක් ඉදිරිපත් කිරීමට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා උත්සාහ දරා නැත. ඔහු ඒ වෙනුවට කරන්නේ කැලලක් සෝදා ගැනීමට කියා ශ්‍රී ලංකා හමුදාව දංගෙඩියට දැක්වීමයි.
එපමණක්ද නොවේ. බටහිර රටවල්වල කියමන හා ඔවුන්ගේ න්‍යායපත්‍රය අනුව කටයුතු කළ සමාජයක් අද බිඳී විසිරී ගොස් ඒවාගේ රාජ්‍යයන් දුර්වල වී, එහි නොතිබුණු සිවිල් යුද්ධ ඇතිවී තිබේ.
ඇෆ්ගනිස්තානයේ සිට යුක්රේනය දක්වා එම තත්ත්වය අපට පෙනේ. එම වට්ටෝරු ලංකාවේ ක්‍රියාත්මක කරන්නට යෑමෙන් ඇතිවන තත්ත්වය කුමක්ද?
මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකා හමුදාවට කැලලක් ඇතිව ඇත්නම් ඊට වගකිව යුත්තන් සොයා බැලීමට අවශ්‍යනම්, එය රටේ පවතින උසාවි සහ නීති අනුව කරන්නට නොහැකි වන්නේ ඇයිද යන ප්‍රශ්නයයි. ඔහු කියන ආකාරයේ කැලලි ඉවත් කිරීමට හොඳම මාර්ගය රටේ පවතින උසාවිවලට ඒ ඒ චූදිතයන් ගෙනඒම මිසක අලුත් උසාවි පිහිටුවීම නොවේ. අලුත් උසාවියක් පිහිටුවන්නේ කුමක් නිසාද යන වග මංගල සමරවීර මහතා පහදා දී නැති අතර, ජනමාධ්‍ය ඔහුගෙන් ඒ ගැන විමසුවේද නැත.
ඒ අනුව ඔහු කියන හමුදාවේ කීර්තිනාමය පවිත්‍ර කිරීමේ කටයුත්ත 2017 අලුතින් පිහිටුවන්නට යන උසාවියකින් කළයුත්තේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම් වැනි ඕනෑම දෙයක් සම්බන්ධයෙන් හමුදාවට පමණක් නොව ඕනෑම අයකුට දඬුවම් කිරීමට හැකියාව ශ්‍රී ලංකා නීති පද්ධතියටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත්, උසාවිවලටත්, විනිශ්චයකරුවන්ටත් තිබේ. එසේනම් අලුත් උසාවියක් පිහිටුවන්නට යන්නේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී අනිවාර්යයෙන්ම අසා එම නව උසාවි යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කළ යුතුය.
මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ ඊළඟ කාරණය නම් සත්‍ය සෙවීමේ කොමිසම 2016 සැප්තැම්බරයේ ඇරඹෙන බවයි. මෙහිදී සත්‍ය සෙවීමේ කොමිසම සහ විශේෂ උසාවි යන්ත්‍රණය යනු එකිනෙකට පරස්පර විරෝධී සංකල්ප දෙකකි. සත්‍ය සෙවීමේ කොමිසම ආරම්භ වූයේ ද දකුණු අප්‍රිකාවේයි. දකුණු අප්‍රිකාවේ කොමිසම විශේෂ උසාවි තබා තිබෙන උසාවිවලින් පවා දඬුවම් දීමේ ක්‍රියාමාර්ගයට විකල්පයක් ලෙස කරන ලද යාන්ත්‍රණයකි. නමුත් මංගල සමරවීර මහතා උත්සාහ දරන්නේ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවා ඩයස්‍පෝරාවේ කොටි හිතවාදීන්ට පවා හොර රහසේ එම සත්‍ය සෙවීමේ කොමිසමට අසත්‍ය ප්‍රකාශ කිරීමට අවශ්‍ය රෙගුලාසි සලසා දීමයි. අනතුරුව එම තොරතුරු මෙන්ම අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයේ තොරතුරු එකතුකොට විදේශීය සහභාගිත්වයක් සහිත විශේෂ උසාවියකට භාරදී ත්‍රිවිධ හමුදාවේ විරෝදාර සෙන්පතියන්ට සහ ඔවුන්ට දේශපාලන නායකත්වය දුන් ජාතික නායකයින්ට දඬුවම් දීමටය.
මංගල සමරවීර මහතාගේ වැඩසටහනේ ඉදිරිපත් කරන, අවසන් කරුණ වන්නේ 2018 වනවිට ලංකාවේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයිනම නිර්මිලිටරිකරණය කරනු ලබන බවයි. නිර් මිලිටරිකරණය යනු කුමක්ද? මෙම සමස්ත දිවයින මිලිටරිකරණය වී තිබේද? ලංකාවේ මිලිටරි ජුන්ටාවක් හෙවත් හමුදා ආණ්ඩුවක් තිබුණේද? මෙහි හමුදා ආණ්ඩුවක් නොතිබුණා පමණක් නොව යුද්ධයේ බිහිසුණුම කාලයේදී පවා හමුදා නීතිය රටේ කිසිම තැනක ප්‍රකාශයට පත්වූයේ නැත. හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමේ නීතිය 1947 ව්‍යවස්ථාව තුළ තිබේ. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. එය යහපත් දෙයකි. තිස් වසරක සිවිල් යුද්ධයක් තිබුණු කිසිම රටක මෙතරම් අඩු මිලිටරිකරණයක් තිබි නැත. ඒ සෑම රටකම පාහේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරගලයට මුවාවී හෝ එහි අතුරුඵලයක් වශයෙන් හමුදාව වසර ගණනකට හෝ බලය අල්ලාගත්තේය. ලංකාවේ කෙදිනකවත් එවැන්නක් වී නැත. එවැනි සමාජයකට වලංගු නිර් මිලිටරිකරණ සූත්‍රය ලංකාවට ක්‍රියාත්මක කරන්නට යන්නේ කුමක් නිසාද?
තවද යුද්ධයකට පසුව කරනු ලබන නිර් මිලිටරිකරණය ඇමෙරිකාව ඇතුළු රටවල කරන්නේ ඉතාම ප්‍රඥාගෝචරවය. 1860 ගණන්වලදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා විසින් ඇමෙරිකාවේ බෙදුම්වාදීන් මහා සිවිල් යුද්ධයකින් පරාජයට පත්කරනු ලැබිණි. ඒ මහා විමුක්ති මෙහෙයුමෙන් පසු ඒබ්‍රහම් ලින්කන් ඝාතනයට ද ලක්කරනු ලැබිණි. නමුත් එකම ජනවර්ගයේ එකම ආගමේ, එකම භාෂාවේ පිල් දෙකක් අතර සිදුවූ මේ මහා සිවිල් යුද්ධයෙන් පසුව ජයග්‍රාහී උතුරුකර හමුදාව එනම් රට එක්සේසත් කළ හමුදාව බෙදුම්වාදී දකුණු ප්‍රාන්තවලින් අයින් වූයේ, වසර දොළහකට පසුවය.
ලංකාවේ බෙදුම්වාදී සිවිල් යුද්ධයක් ජනිත කළ පළාත්වලින් ඔබ්බට තමිල්නාඩුව පවතී. ඒ අනුව උතුරු නැගෙනහිර නිර් මිලිටරිකරණය ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තකි. දෙවන ලෝක යුද්ධය හමාර වී වසර හැත්තෑවක් ගතවී තිබේ. දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අල්ලාගත් පළාත්වලින් සමහරක තවමත් විශාල යුද කඳවුරු පවත්වාගෙන යනු ලැබේ. ජපානය, පිලිපීනය, ජර්මනිය වැනි රටවල් ගණනාවක ඇමෙරිකානු යුද කඳවුරු තවදුරටත් තිබේ. ඒ යුද්ධයකදී පෙන්නුම් කෙරෙන්නේ යුදමය වශයෙන් වැදගත් මර්මස්ථානවල සිතියමකි. එබැවින්ම ඒ සෑම තැනකින්ම ජයග්‍රාහී හමුදාවක් ඉවත් වන්නේ නැත. ඒ තැන්වල එම හමුදාව රැඳී සිටින්නේ යළිත් එවන් යුද්ධයක් ඇති නොවීමේ සහතිකයක් වශයෙනි. ලංකාවේ උතුරු නැගෙනහිර පවා නිර් මිලිටරිකරණය කිරීම මහා මෝඩකමකි. නමුත් මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ඉන් ඔබ්බට ගොස් කියා සිටින්නේ උතුරු නැගෙනහිර පමණක් නොව දකුණද ඇතුළු මුළු දිවයිනම 2018 වනවිට සම්පූර්ණයෙන්ම නිර් මිලිටරිකරණය කරනා බවයි. මෙය සම්පූර්ණයෙන්ම රට ජාතිය භයානක ආකාරයකට දුර්වලකර දැමීමේ මෙහෙයුමකි.
මේ සියල්ල සමස්තයක් ලෙස ගෙන බැලීමේදී පෙනෙන්නේ කුමක්ද? රටේ සැබෑ සංවර්ධනයට අවශ්‍ය වන්නේ සැබෑ සම්මුතියකි. ඊට විශේෂ උසාවි පිහිටුවා, විදේශීය සහභාගිත්වයක් සහිතව, යුද්ධය පිළිබඳව ආපහු හැරීබලා තුවාල පෑරීමෙන් ඇතිවන සංහිඳියාවක් සම්මුතියක් නැත. ඒ වෙනුවට ඇතිවන්නේ විසම්මුතියකි. එම සමාජ විසම්මුතිය නිසා ආයෝජකයින්ට අවශ්‍ය ස්ථාවරත්වයද අහිමි වනු ඇත. මේ සියල්ල ගෙන බැලීමේදී අපට කිව හැක්කේ මංගල සමරවීම මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නම් රටටත්, ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් අනවශ්‍ය ආකාරයේ විවේචන හා කැලඹිලිවලට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ අනුව අවසාන වශයෙන් කිවයුතු වන්නේ, ලංකාව නිර් හමුදාකරණය කරනවාද? එසේත් නැත්නම් ලංකා ආණ්ඩුව නිර් මංගලකරණය කරනවාද යන්න ජනාධිපතිවරයාට ඉක්මනින්ම තීන්දු කරන්නට කාලය එළැඹෙනු ඇති බවයි.