ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අත ළඟටම පැමිණ ඇතත්, ඒ ගැන රටේ පාලකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන, ඒ දෙස නොසැලකිලිමත්කමකින් සහ උදාසීනත්වයකින් බලා සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එමෙන්ම, පාලකයන් දැනුවත් කරන නිලධාරීන්ට අපහාස කරන අතර, ආර්ථිකය මේ වනවිට නිසි මාර්ගයකට යොමුවී ඇති බව අගමැතිවරයා මෙන්ම ගෝල බාලයන්ද පුන පුනා කියන බවද හෙතෙම පවසයි. එසේම, මෙම වදන් පුවත්පතින් කියවා වත්මන් ජනාධිපතිවරයා තෘප්තිමත් වන බව පෙන්වා දෙන හිටපු මහ බැංකු අධිපතිවරයා, මෙම අර්බුධකාරී තත්ත්වය දිනපතා පාහේ වඩාත් විනාශකාරී අතට හැරෙමින් පවතින බවද අවධාරණය කරයි.
පාලකයන් කෙසේ සිටියත්, කුමක් කීවත්, රටේ ආර්ථික අර්බුධය පිළිබඳව ජනතාව තම අමිහිරි අත්දැකීම්වලින්ම අවබෝධ කරගෙන හමාර බවද හෙතෙම පවසයි. එසේ වුවද, එහි සැබෑ තත්ත්වය සහ බරපතළකම ගැන විද්‍යාත්මක විග්‍රහයක් හරහා ජනතාව සෘජුවම දැනුවත් කිරීම යෝග්‍ය වන බැවින්, එවැනි විශ්ලේෂණයක් මෙසේ ඉදිරිපත් කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
“මේ විග්‍රහයෙහි අඩංගු කරුණු බරපතළයි. ඒ කරුණු පිළිබඳව දීර්ඝ විග්‍රහයක් අප සිදුකර තිබෙනවා. එහෙත්, මේ අවස්ථාවේදී සාමාන්‍ය ජනතාවට අවබේධ කරගැනීමට පහසු වන ලෙස මේ විශ්ලේෂණය කෙටියෙන් ඉදිරිපත් කිරීමට අපි අදහස් කළා.
ඒ අනුව, ක්ෂේත්‍ර 12ක් ඔස්සේ මේ විශ්ලේෂණය ඉදිරිපත් කරනු ලබනවා. ඒවායින් පළමු වැනි ක්ෂේත්‍රය මෙවර විග්‍රහ කරනු ලබන අතර, ඉදිරි දිනවලදී ඉතිරි කරුණු පිළිබඳවද විග්‍රහයන් අප විසින් ඉදිරිපත් කරනු ලබනවා.
1. වගකීම් රහිතව ණයගැනීම නිසා ණයබරතාව අතින් ශ්‍රී ලංකාව ‘අධික ණය බරැති රාජ්‍යයක්’ බවට පත්වීම.
2. නොබෝ දිනකින් කඩා වැටීමේ අවදානමක් ඇති, ශ්‍රී ලංකා රුපියල දිනපතාම මස්ත බාල්දු වීම නතර කිරීමට අපොහොසත්වීම.
3. ‘Enterprise Sri Lanka’ යැයි නම් කොට ඇති දේශපාලනික ව්‍යාපෘතිය හරහා අනාගතයේදී රාජ්‍ය බැංකු විශාල අර්බුධයකට තල්ලුවීම.
4. විදේශ බලපෑම් සහ කොන්දේසිවලට අනුව, දැවැන්ත බදු, රාජ්‍ය ගාස්තු සහ දඩ ජනතාව මත පැටවීම.
5. 2014 මට්ටමේ සිට 50%කින් පමණ ඉහළ ගොස් ඇති පොලී අනුපාතය දැන් ඉසිලිය නොහැකි මට්ටමකට පත්වීම.
6. දළ දේශීය නිෂ්පාදිතය දැඩි ලෙස කඩා වැටී ඇති වාතාවරණයක වාංචනික සහ සාවද්‍ය ලෙස ආර්ථික වර්ධන වේග අගයන් ගණනය කොට ඉදිරිපත් කිරීම.
7. ආර්ථිකය දැන් මුහුණපාන දැවැන්ත පසුබෑම ඔස්සේ රටේ ඉහළම පෙළෙහි ව්‍යාපාරවල සිට කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර රැසක් වැසී යාමට හෝ විනාශ මුඛයට තල්ලුවීම.
8. ව්‍යාපාර වැසීයාම හෝ ඒවා අඩාලවීම හේතුවෙන් ලක්ෂ ගණනින් රැකියා සහ ජීවනෝපාය අවස්ථා ජනතාවට අහිමිවීම.
9. ව්‍යාපාර සහ ජනතා ආදායම් දුර්වලවීම නිසා බැංකු සහ මූල්‍ය ආයතනයන්ට ණය ගෙවීම් අඩාලවීම නිසා, එම මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානම ශීඝ්‍රයෙන් ඉහළ යෑම.
10. පවතින දුර්වල ආර්ථික පසුබිම සහ දේශපාලන නායකයන්ගේ අනුවණ ප්‍රකාශයන් ඔස්සේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දැඩි කම්පාවට පත්වීම සහ එම ආයතනවලින් ඉදිරියේදී ණය ලබාගැනීමට බලාපෙරොත්තු වන අයට ණය ලබාගැනීමට අපහසුවීම.
11. බොහෝ දේශීය ආයෝජකයන් තම ආයෝජන තීරණ කල් දැමීම නිසා සහ විදේශ ආයෝජකයන් අප රට අතහැර යෑම නිසා ආයෝජන දැවැන්ත ලෙස කඩා වැටීම.
12. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුකරනු ලැබූ දැවැන්තම මගඩිය වූ බැඳුම්කර මගඩියේ මුල වූ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට අයුතු බලපෑම් කළ කැබිනෙට්ටුවේ ප්‍රධානියාද, එම අකටයුත්තට සහාය දුන් හිටපු මහ බැංකු අධිපතිවරයාද යන දෙදෙනාම නිදැල්ලේ සිටීම නිසා ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය දැඩි ලෙස පළුදු වීම.
ඉහත කී කරුණු පිළිබඳව කෙටි පැහැදිලි කිරීම් හරහා ඉදිරි සති කිහිපය තුළදී ජනතාව දැනුවත් කිරීමට අපි අදහස් කරනවා. ඒ වගේම, අප රටේ ආර්ථිකමය ප්‍රශ්න රැසකට මුල් වූ බැඳුම්කර මගඩිය පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් කෙරෙන සම්මේලනයක්ද ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
1.) වගකීම් රහිතව ණයගැනීම නිසා, ණයබරතාව අතින් ශ්‍රී ලංකාව ‘අධික ණයබරැති රාජ්‍යයක්’ බවට පත්වීම.
ශ්‍රී ලංකාවේ ණයබරතාව පිළිබඳව 2005 දී සහ 2014 සිට 2017 දක්වා වසර 4 සඳහා මහ බැංකු වාර්තා සහ විගණකාධිපතිවරයාගේ වාර්තා ආශ්‍රිතව තොරතුරු මෙසේය.
දර්ශකය | 2005 | 2014 | 2017 | 2015-2017 අවු: 3 තුළ වැඩිවීම/ප්‍රතිශතය |
ණය/ද.දේ.නි ප්‍රතිශතය | 91.6% | 71.3% | 80.5% | 9.2% |
රාජ්‍ය ණය (රු.බිලියන) | 2,222 | 7,391 | 10,702 | 3,311/45% |
දේශීය ණය (රු.බිලියන) | 1,265 | 4,278 | 5,983 | 1,705/40% |
විදේශීය ණය (රු.බිලියන) | 957 | 3,113 | 4,719 | 1,606/52% |
ද.දේ.නි. සාපේක්ෂව දේශීය ණය (%) | 51.6% | 41.3% | 45.0% | 3.7% |
ද.දේ.නි. සාපේක්ෂව විදේශීය ණය (%) | 39.0% | 30.0% | 35.5% | 5.5% |
ණය සහ පොලී ගෙවීම් (රු.බිලියන) | 345 | 1,076 | 1,603 | 527/49% |
මුළු පොලී වියදම් (රු.බිලියන) | 120 | 443 | 736 | 293/66% |
ද.දේ.නි. සාපේක්ෂව මුළු පොලී වියදම (%) | 5.1% | 4.2% | 5.5% | 1.3% |
දර්ශකය | 2014 | 2015 | 2016 | 2017 | 2015 සිට 2017 අවු: 3 එකතුව |
රුපියලේ අවප්‍රමාණය වීම නිසා, ණය තොගයට එකතුව (රු.බිලියන) |
– | 285 | 187 | 225 | 697 |
2014 අගවන විට ශ්‍රී ලංකවේ විදේශ ණය ප්‍රමාණය රු.බිලියන 3,113ක් වූ අතර, එම අගය ඇ.ඩො.බිලියන 23.7ක් වුණා. 2017 අගවන විට විදේශ ණය ප්‍රමාණය 52%කින් පමණ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී, රු.බිලියන 4,719 දක්වා වර්ධනය වුණා. එනම්, ඇ.ඩො.බිලියන 31.4ක් දක්වා වැඩිවීමක් පෙන්නුම් කළා.
ඊට අමතරව, 2018 පළමු වැනි මාස 7 තුළදී රජය ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර හරහා ඇ.ඩො.බිලියන 2.5ක්ද, ‘හවුල් ණයක්’ (Syndicated Loan) හරහා ඇ.ඩො.බිලියන 1.0ක්ද වශයෙන් තවත් ඇ.ඩො.බිලියන 3.5ක් හෙවත් රු.බිලියන 556ක ණය ප්‍රමාණයක්, රජය ලබාගෙන තිබෙනවා. ඒ අනුව, 2018 ජූලි 31 වැනිදා වනවිට, විදේශීය ණය අවම වශයෙන් ඇ.ඩො.බිලියන 34.9ක් තෙක් වැඩිවී ඇතැයි නිගමනය කළ හැකියි.
තවද, 2018 ජනවාරි 1 වැනිදා සිට 2018 ජූලි 31 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම නිසා, තවත් රු.බිලියන 222ක් රජයේ ණය තොගයට එකතු වී ඇති බව මහත් කණස්සල්ලෙන් වුවද ප්‍රකාශයට පත් කළ යුතුයි. මේ අනුව, ඉහත පෙන්වාදී ඇති ආකාරයට 2018 පළමු වැනි මාස 8 තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගයට අවම වශයෙන් එකතු වූ අගය රු.බිලියන 778ක් (556 + 222) යැයි ගණනය කිරීමට පුළුවන්.
ඉහත පෙන්වා දී ඇති ගණනය කිරීමෙන් තහවුරු වන තවත් කරුණක් නම්, පසුගිය මාස 7 තුළදී, යහපාලන රජය යටතේ වැඩිවී ඇති විදේශ ණය තොගය අවම වශයෙන් රු.බිලියන 778ක් වී ඇති බවයි. එම අගයට සාපේක්ෂව, පැවති රජය 2014 මුළු වසර තුළම ලබාගත් ණය තොගය රු.බිලියන 598යි. මෙයින් පෙනී යන්නේ, මුළු ඉතිහාසයේම නොවූවිරූ ආකාරයට, කිසිදු වගකීමකින් තොරව වර්තමාන රජය ණය ගන්නා ස්භාවයයි. එම වගකීම් රහිත ක්‍රියාමාර්ගය හරහා අද වනවිට ද.දේ.නි. සාපේක්ෂව ණය ප්‍රමාණය 87%ක් පමණ අගයකට වැඩිවී ඇති බවද, ගණනය කිරීම් දෙකෙන්ම ඔබට පෙනී යනු ඇති.
ගණනය කිරීම 01: | |
රු. බිලියන | |
• 2018.03.31 දින වනවිට, රජයේ දත්ත අනුව ණය තොගය | 10,654 |
• විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව වැඩිවිය යුතු ණය ප්‍රමාණය | 389 |
11,043 | |
• 2018 දී මේ වනවිට රුපියලේ අවප්‍රමාණවීම නිසා වැඩිවූ ණය ප්‍රමාණය | 222 |
• 2018.03.31 පසුව ලබාගත් විදේශ ණය ප්‍රමාණය (අවමය) | 556 |
• 2018.03.31 පසුව ලබාගෙන ඇතැයි ඇස්තමේන්තු කළ දේශීය ණය | 150 |
2018.07.31 දින වනවිට රාජ්‍ය ණය තොගයේ වටිනාකම | 11,971 |
ගණනය කිරීම 02: | |
රු. බිලියන | |
• 2017 සදහා රජය ප්‍රකාශකොට ඇති ද.දේ.නි. | 13,289 |
• ද.දේ.නි. අවධමනකය (3.0%) සහ මූර්ත වර්ධනය (3%) යැයි උපකල්පනය කළහොත්, 2018 මාස 7ක් සඳහා නාමික ද.දේ.නි. වැඩිවන අගය |
465 |
• 2018 ජූලි අගවන විට ඇස්තමේන්තු කළ හැකි නාමික ද.දේ.නි අගය | 13,745 |
ඒ අනුව, 2018 ජූලි අග වනවිට ණය/ද.දේ.නි ප්‍රතිශතය | 87.0% |
මේ තත්ත්වය ඔස්සේ, මූඩීස්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සහ ෆිච් යන ණය වර්ගීකරණ ආයතනයන් ශ්‍රී ලංකාවේ ණයබරතාව පිළිබද අසුභ වාර්තා සහ අනාවැකි නිකුත් කර තිබුණද, ඒ භයානක තත්ත්වයෙන් මිදෙන්නට රජය සහ මහ බැංකුව නිසියාකාර ප්‍රයත්නයන් ගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. සැබවින්ම, රජය කරන්නේ මේ තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හරවමින් තව තවත් ණය ගැනීම මිස, උගුලෙන් ගැලවීමට ප්‍රයත්නයක් නොදැරීමයි.
ඔවුන් අවශ්‍යම උපායමාර්ග අනුගමනය කළේ නම්, මේ වනවිට, පොලී අනුපාතය අඩුකර ගැනීමට සහ/හෝ ණය තොගයේ කල් පිරෙන කාල සීමාව දීර්ඝ කර ගැනීමට (Extending the Average Time to Maturity) සහ/හෝ විදේශ ණය ප්‍රමාණය අඩුකර ගැනීමට හෝ ක්‍රියාමාර්ග ආරම්භ කොට තිබිය යුතුයි. එහෙත්, එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් අද වනතුරුත් ගන්නා බවක් නම් පෙනෙන තෙක් මානයකවත් නැහැ.
මේ තත්ත්වය හරහා, වැඩි කලක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම වත්මන් රජය විසින්ම නිර්මාණය කරනලද දරුණු ණය උගුලක අසරණ ගොදුරක්වීම නොඅනුමානයි.
Ada.lk