ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් සහ ගායක අමල් පෙරේරා ඇතුළු පිරිස ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
පසුගියදා මාකඳුරේ මධුෂ් සමග සාදයකට සහභාගිවී සිටියදි අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායිහිදි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදි ඔවුන් බන්ධනාගාර ගත කිරීමටයි එරට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදි ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇති බවයි අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා ප්රකාශ කළේ.
ඔවුන් අද දිනයේ හෝ හෙට දිනයේ මෙරටට පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඔවුන් සමග අත්අඩංගුවට පත්වු අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු 05 දෙනෙකු මෙරටට පිටුවහල් කළ අතර දිවයිනට පැමිණි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.