Colombo Today Local News

බදියුදීන් මොහොමඩ් රියාජ්- අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කරයි

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කළ බව නීතිපතිවරයා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තමන් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

නීතිපතිවරයාගේ විරෝධතා සඳහා ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලු බව වාර්තාවේ.

තම සේවාදායකයා ඉකුත් අප්‍රේල් මස 14 වනදා සිට අත්අඩංගුවේ පසුවන බවත් එබැවින් මෙම නඩු කටයුත්ත හදිසි නඩු කටයුත්තක් සේ සලකා එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ජුලි මස 31 වනදා කැඳවීමට නියම කර ඇත.

අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.

තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලිසිය මගින් කිසිඳු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් සිදු කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇය ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන සිය සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ 527කගේ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

වැට් බද්දත් සමග දුරකතන ගාස්තු 27% සිට 46% දක්වා ඉහළට.. අන්තර්ජාල බදු දෙගුණයකින් නගී

colombotoday