Colombo Today Local News

පොරොන්දු වූ මුදල් ලෝක මුස්ලිම් ලීගයෙන් දුන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේනගෙන් නිවේදනයක්

ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදුන් බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන ප‍්‍රවෘත්තිය පිළිබඳ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඉකුත් දා අනාවරණ වුණේ මෙම සංවිධානය විසින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හට ලබාදුන් අදාළ මුදල මෙතෙක් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට ලබාදී නොමැති බවයි. 

කොමිසම හමුවේ සාක්ෂි දෙමින්  මේබව සඳහන් කර සිටියේ අගරදගුරු පදවියේ සමාජ සුබසාධන ආයතනයක් වන සෙත් සරණ ආයතනයේ අධ්‍යක්‍ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් විසින්. 

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල මහතාගේ මාධ්‍ය ඒකකය පැවසුවේ අදාළ මුදල් හිටපු ජනාධිපතිවරයාට පිරිනමා ඇති බවත්, එම  මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන් බවටත් විවිධ පාර්ශව ප‍්‍රකාශ නිකුත් කර ඇති බවයි. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල මහතාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ 2019 ජුනි මස 30 වනදා පැවැති ලෝක මුස්ලීම් ලීගයේ උත්සවයක් සඳහා හිටපු ජනාධිපතිවරයා සහභාගී වූයේ එවක ජනාධිපතිවරයා ලෙස ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බවයි.  

කෙසේවෙතත්, මෙම මුදල සම්බන්ධයෙන් මතභේදාත්මකව කරුණු ඉදිරිපත් වීමත් සමග මෙම සමුළුව සංවිධාන කළ සංවිධාන කමිටුවෙන් හිටපු ජනාධිපතිවරයා, එවක බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ ජේ එම් මුසම්මිල් හරහා කරුණු විමසීමක් සිදුකර තිබෙනවා. 

එම විමසීමකට අනුව ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ඊට පිළිතුරු වශයෙන් ලිපියක් යොමු කර ඇති බවයි හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල මහතාගේ මාධ්‍ය ඒකකය පැවසුවේ. එමගින් දැනුම් දී ඇත්තේ කරුණු 07 ක් සම්බන්ධයෙන් නිසි පරිදි තවමත් තොරතුරු ලබා නොදීම නිසා මෙම මුදල් මෙතෙක් ශ‍්‍රී ලංකාවට ලබාදී නොමැති බවයි. 

ප‍්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව, මියගිය අයගේ ආගම, මියගිය සහ තුවාල ලැබූවන්ගේ නාම ලේඛණය, ප‍්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපළවල වටිනාකම, වැන්දඹුවන් සහ අනත් දරු සංඛ්‍යාව, වෙනත් අදාළ තොරතුරු හා ජනාධිපති හෝ අගමැතිගේ පුණ්‍යාධාර ගිණුම් අංකය එම කරුණු 07 වනවා. 

ඒ අනුව එම සංවිධානය ප‍්‍රදානය කිරීමට බලාපොරොත්තු වූ මුදල් පරිත්‍යාගය තවමත් ලක් රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට මෙතෙක් ප‍්‍රදානය කර නොමැති බව එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබෙන බව ද හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කර ආගමික කටයුතු අමාත්‍යවරයා ඍජුවම සම්බන්ධ කරගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල් කරීම් අල් ඊසා යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන බවයි හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල මහතාගේ මාධ්‍ය ඒකකය පැවසුවේ. 

ඒ අනුව මෙම මුදල් ප‍්‍රදානය හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදුන් බව පවසමින් පැතිර ගිය අසත්‍ය ප‍්‍රචාර ප‍්‍රතික්ෂේප කරන බවත්, මෙම නිවේදනය සමග ලෝක මුස්ලිම් ලීගය යොමු කළ ලිපිය ද ප‍්‍රසිද්ධියට පත් කරන බවත්, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

colombotoday

අගමැති මහින්ද රාජපක්ෂ සහ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා අතර හමුවක්

colombotoday

සිංහල ජනතාවට උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක්

Admin

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

තිහගොඩදී පාසැල් සිසුවෙකුට වෙඩි තැබූ SI බන්ධනාගාරයට!

Admin

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday