Colombo Today Local News

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තේ පොලීසියයි – හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පාස්කු කොමිසමේදී කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි තමන් කිසිවිටක පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15)දින පස්වරුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසිය, ත්‍රස්ත විමර්ශන එකකය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවය.

සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර අප්‍රේල් 19 දින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකථන ඇමතුමක් ලබාගත්තේද යන්නය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 19 දින නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා පිපිරීමක් සිදුව ඇති බව දැනුම් දුන් අතර තමන් කොහෙදැයි විමසු විට කාත්තන්කුඩියේ යැයි පිළිතුරු දුන් බවය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ අදාළ පිපිරීමට සහරාන් හෂීම් සම්බන්ධ යැයි එම දුරකථන ඇමතුමේදී නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේද යන්නය.

“නැහැ, එහෙම සම්බන්ධයක් ගැන කිව්වේ නැහැ” යනුවෙන් මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු ලබාදුනි.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ ඔබේ බිරිඳ කතෝලික බැතිමතෙකු වන බැවින් ඉකුත් වසරේ අප්‍රේල් 20 වන සෙනසුරාදා පස්වරුවේ දේව මෙහෙයක් සඳහා දේවස්ථානයකට ගියේද යන්නය.

එයට පිළිතුරු මෙන්ඩිස් මහතා කියා සිටියේ තමන් පොලිස්පතිවරයාට බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දැනුම් දී තිබු හෙයින් ඔහු ආරක්ෂක පියවර ගන්නට ඇතැයි සිතු නිසාත්, තම බිරිඳ එම බුද්ධි තොරතුරු කිසිවක් පිළිබඳ නොදැන සිටි නිසාත් ඉකුත් වසරේ අප්‍රේල් 20 දින පස්වරුවේ තම ප්‍රදේශයේ දේවස්ථානයට ගිය බවය.

එසේ පාස්කු ප්‍රහාරයට පෙර දින දෙවස්ථානය කරා යාමට පිටත් වු අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන්ට යළි දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් “සර් මේක ප්‍රශ්නයක් සර්, මම පොලිස්පතිට කියලා තියෙන්නේ යනුවෙන් ඔහු ප්‍රකාශ කරත්ම ඇමතුම විසන්ධි වු බවත් මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසමේ වැඩිදුරටත් සාක්ෂිදෙමින් කියා සිටියේය.

එම අවස්ථාවේ යළි ඔහු සම්බන්ධ කරගැනීමට උත්සහ නොගත්තේ මන්දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ විට මෙන්ඩිස් මහතා කියා සිටියේ දුරකථන ඇමතුම විසන්ධි වුයේ ජයවර්ධන මහතාගේ පසින් වන බැවින් තමන් නැවත ඔහු සම්බන්ධ කරගැනීමට උත්සහ නොකළ බවය.

මෙපමණ දැනුවත් කිරීම් කර තිබියදිත් දිවයිනේ ස්ථාන 08 කට ප්‍රහාර එල්ලවීම තුළ ඔබ තම රාජකාරිය පැහැර හැරියා යැයි ඔබේ සිතට දොස් පවරන්නේ නැද්ද යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවාය.

එයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ “නැහැ. මම රාජකාරිය පැහැර හැරියා කියලා මම හිතන්නේ නැහැ. වගකිවයුතු අය සහරාන් අත්අඩංගුවට ගත්තේ නැති නිසයි මෙහෙම වුණේ“ යනුවෙන් ප්‍රකාශ කළේය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ කව්ද වගකිවයුතු නිලධාරින් යන්නය.

පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලීසිය, ත්‍රස්තවාදය සම්බන්ධයෙන්ම විමර්ශන කිරීමට පිහිටුවන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා වගකිවයුතු බව එහිදි මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

Related posts

මේ රට අනාගමික රාජ්‍යයක් කරන්න හදන්න එපා.. ව්‍යවස්ථා නිර්දේශ ගැන බෙල්ලන්විල හිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday