Colombo Today Local News

තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවට හෙළිදරවුවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලකළ කල්ලිය සහරාන් හෂීම් මෙහෙයවූ බව කීව ද ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතුකර ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවි බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (28)දින සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, එල්.ටී.ටී.ඊ සංවිධානය තුළ ඇන්ටන් බාලසිංහම් මෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානය තුළ නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ දෙවැනි දිනට පැමිණියේය.

ආරම්භයේ පැයක පමණ කාලයක් මාධ්‍ය රහිතව සාක්ෂි විමසීම සිදුකෙරුණු අතර අනතුරුව කොමිසම මාධ්‍යයට විවෘත කෙරුණි.

එහිදි සාක්ෂි ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් හෂිම් වුවද, එහි න්‍යායාචාර්යවරයා ලෙස නවුෆර් මවුලවි කටයුතුකර ඇති බවය.

මෙම තැනැත්තා වසර 19 ක් කටාර්හි සිට මෙරටට පැමිණි අයෙකු වන අතර පාස්කු ප්‍රහාරයට පෙර, අප්‍රේල් 13 වන දින එඩේරමුල්ල ආරක්ෂිත නිවස තුළදි නායකත්වය පිළිබඳව ත්‍රස්තවාදින් අතර ගැටුමක් ඇතිවී ඇති බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 22 දින නවුෆර් මවුලවි නම් මෙම තැනැත්තා අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් හෙළිදරව් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පසුදින ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ නවුෆර් මවුලවි නැමැත්තා දඹුල්ල ප්‍රදේශයේ හෝටලයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

එසේම රාජ්‍ය බුද්ධි සේවය සහරාන් හෂිම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ 2017 ආලියාර් ගැටුමෙන් පසු සහරාන් විසින් තමන් රටින් පළා ගිය බවට ප්‍රචාරණය කර තිබුණද, ඔහු රහසිගතව සිය බිරිඳගේ කැකුණුගොල්ල, නාරම්මල නිවසේ රැදී සිට ඇති බවය.

මාවනැල්ල බුදු පිළිම කැඩීමට සම්බන්ධ වූ පුද්ගලයින් සහරාන් හෂිම් සමග සමීප සම්බන්ධතා පැවත්වු බව අනාවරණය වීමත් සමග අයිඑස් ත්‍රස්තවාදින් ලොව අනෙකුත් ප්‍රදේශ වල සිදුකරන ක්‍රියාකාරකම් වලට සමගාමිව මෙරට තුළත් ප්‍රහාරයක් සිදු කිරීමට සහරාන් හෂිම් සිය අනුගාමිකයින් අභිප්‍රේරණය කරමින් සිටින බව පාස්කු ප්‍රහාරයට මාස 6කට පමණ පෙර තමන් එවකට ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාව දැනුවත් කර තිබු බව ජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

colombotoday

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

colombotoday

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ හුදකලා කෙරේ

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ

colombotoday