Colombo Today Local News

විනාශකරන විල්පත්තුවේ පුරාවිද්‍යා නටබුන්

ශ‍්‍රී ලංකාවේ රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ මුස්ලිම් පාසල්වල උගන්වන ඉතිහාස පොතේ ශ‍්‍රී ලංකාවේ රෙදි කර්මාන්තයේ ප‍්‍රමුඛයන් මුස්ලිම් ජාතිකයන් බවත්, අලූත්ගම එවන් මුස්ලිම් ජනාවාසයක් බවත් උගන්වයි. සිංහල ඉතිහාස පොතේ මෙබඳු කතාවක් නැත. මේ අනුව ලංකාවේ ඉතිහාසය ගැන මුස්ලිම් දරුවන්ට වෙනම කථාවක් උගන්වා ඇත. මේ අන්දමට ඉතිහාසය මුස්ලිම් දරුවන්ට උගන්වා ඇත්තේ විකෘති කරමිනි.

ලංකාවට මුස්ලිම් අය පැමිණෙන්නට පළමුව අපේ රටේ මිනිස්සු අමුඩයක්වත් නොමැතිව සිටි බව නේද මෙයින් කියා ඇත්තේ. මේ පොත් ලිව් මෝඩ පණ්ඩිතයන් හරි හැටියට ලංකාවේ රෙදි කර්මාන්තය ගැන විමසා බැලූවේ නම් මේ බොළඳ කථාව නොලියනු ඇත. ඔහු මේ කථාව ලියුවේ නොදැන නොවිය හැකිය. අනාගතයේදී ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමට ඉතිහාසය විකෘති කිරීමෙන් අවශ්‍ය පසුතලය සකස් කිරීමේ අරමුණින් ම විය යුතුය. ක‍්‍රි. පූ. යුගයේ මේ රටේ රෙදි වියන්නන්ගේ ආයතන පැවැති බවට තත්කාලයට අයත් බ‍්‍රාහ්මී ශිලා ලේඛන හමු වී තිබේ. විජය කුමාරයා ලංකාවට ගොඩබසින විට කුවේණිය සිටියේ කපු කටමින් බව මහාවංශය කියයි. ඒවා පසෙක තබමු. කාශ්මීරයේ ඉතිහාසය ලියූ කල්හණ පඬිවරයා කාශ්මීර රාජ්‍යයේ බිසෝවරුන් ලංකාවේ කසීසළු ඇන්ද බව සිය රාජතරංගණියේ සඳහන් කර තිබේ. මෙසේ දෙස් විදෙස් මූලාශ‍්‍රවල මේ රටේ ජනතාවගේ රෙදි පිළිබඳව කදිම සාධක තිබියදී කපටි සිතින් ඒවා යටපත් කිරීමට කටයුතු කිරීම අධ්‍යාපන ලොක්කන් නොදැන සිටීම පුදුමයකි.

විල්පත්තුවේ පුරාවස්තු නැති බව ප‍්‍රකාශ කිරීම ද මෙබඳු කථාවකි. විල්පත්තු අභයභූමියේ කැලෑව කපා සුද්ධ කර ජනපද බිහිකරන්නන් එහි පුරාවස්තු නැතැයි ප‍්‍රකාශ කිරීමෙන් වර්තමාන සමාජය තවදුරටත් නොමඟ යැවීම මේ ඉතිහාස විකෘතියේ ම එක් පියවරකි.

විල්පත්තු විනාශය ගැන සාකච්ඡාවක් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් පසුගිය දිනක කැඳවා තිබිණි. මේ සාකච්ඡාවට මා ද සහභාගි විය. විල්පත්තුවේ පුරාවස්තු ගැන සාකච්ඡා කරන විට සමහර උදවිය කුණු කුණු ගාන්නට විය. මේ අවස්ථාවේදී පසුගිය දිනක විල්පත්තුවේ පුරාවස්තු පිළිබඳව මා විසින් මාධ්‍යයට ලියා තිබූ ලිපියක් ජනාධිපතිතුමාගේ ලිපි ගොනුවේ තිබී අරගෙන එතුමා විසින් දිගහැර පෙන්වන ලදී. මේ දුටු කුණු කුණු කාරයන්ට කියාගත හැකි දෙයක් නොවීය.

පසුගිය කාලයේ ඇස්. ඇම්. චන්‍ද්‍රසේන ඇමැතිතුමාගේ සහයෝගය ඇතිව විල්පත්තු අභය භූමියේ පුරාවිද්‍යා ගවේෂණයක් මා විසින් කරන ලදි. විල්පත්තු වනයේ සංචාරක නිල නිවසක නතරවී සතියක පමණ කාලයක් මේ ගවේෂණය කරන ලදී. එහෙත් විල්පත්තු අභයභූමියේ ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුතු ස්ථාන අඩක්වත් ගවේෂණය කළේ යයි මට සෑහීමකට පත් විය නොහැක. විල්පත්තුව පුරාම ඇති හැම කඳුගැටයකම හැම ගල් පර්වතයකම ගල්කුළු ආශ‍්‍රය කර ඇති බොහෝ සමබිම් තැනිවල මේ පුරාවස්තු ඇත. මේවා එකින් එක විස්තර කිරීමට අපහසු නොවේ. එයින් එක් තැනක් මෙහිදී විස්තර කිරීමට අදහස් කරමු.

කාලාන්තරයක් තිස්සේ පරසතුරන්ගේ ප‍්‍රහාරයන් නිසාත්, ස්වාභාවිකව එල්ලවූ විවිධ තර්ජනයන් නිසාත් විනාශයට ලක් වී ඇති මේ ශේෂ මෙතරමින් වත් ඉතිරි වී තිබීම පුදුමයකි. වංස කථාවල පච්ýම පස්ස නමින්ද, ශිලා ලේඛණවල පඬිපස හෝ පැළපස හෝ නමින් සඳහන් වෙන අනුරාධපුරයෙන් බටහිර දෙසට අයත් වන ප‍්‍රදේශ තුළ මෙවැනි නෂ්ටාවශේෂ ඇති තැන් රැසක් තිබේ. මේවා බොහෝ සෙයින් වනාන්තරවලට බිලි වි පවතී. අනුරාධපුරයට එල්ල වූ හැම පරසතුරු උවදුරකදීම කඩා බිඳ වැටුණු පූජනීය ස්ථාන නැවතත් හිස ඔසවමින් සමහර විට සදහටම විනාශයට ද වැටී ගියත් ඒවා හා ඒ ශේෂ ඇති ස්ථානයන් ද සමහරක් අද විල්පත්තු අභයභූමිය තුළට ද ඇතුළත් වී තිබේ.

උතුරුපස නොවුවද එහි සීමාවේ පිහිටි මිනිස් පහසක් නොලබන වනසතුන්ගේ නිජබිම බවට පත්ව ඇති බෞද්ධ අයිතිය ප‍්‍රකාශ කෙරෙන එවන් තැනක් ගැන මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරමි. තෙල තැන අද හඳුන්වනු ලබන්නේ සිනාඬියගල නමිනි. විලච්චිය කෝරළයේ විල්පත්තු අභයභූමියේ අන්තර් මධ්‍ය කලාපයට එතැන් අයත් වේ. එසේම මේ කලාපය හරහා ගලන මෝදරගම්ආරුවෙන් සැතපුම් එකහමාරක් දුරින් මෙතන පිහිටා ඇත. විලච්චියට ගොස් හල්මිල්ලගලවල හරහා ඝන වනාන්තරය මැදින් සැතපුම් ගණනාවක් ඉදිරියට ගිය පසු සිනාඬියගලට පැමිණිය හැකිය.

මේ කොටසේදී හල්මිල්ල ඇළ නමින් හැඳින්වෙන ආරක් හමුවේ. එහි ඉහළ කොටස කුම්බන්කුට්ටිඔය නමින් හඳුන්වනු ලැබේ. එම ඇළ හරස් කර කරවන ලද වැවක් ඇත. දැනට මෙම වැව බොහෝ දුරට නටබුන් වී තිබේ. සින්නාඬිය විල නමින් හැඳින්වෙන පැරණි තරමක් විශාල පොකුණක් විය හැකි වගුරු වළක් ද මේ ගමන් මග හමුවිය. සිනාඬියගල පර්වතය පිහිටියේ මේ වැව සමීපයේ ය. එහි තරමක ගල් කෙමක් ඇත. විශේෂ වශයෙන් සැලකෙන නෂ්ටාවශේෂ ඇති දැයි පරීක්‍ෂා කර බැලූ නමුත්, දක්නට නොතිබිණි. ඒවා විනාශ වී ඇත. එහෙත් ගල්වළ ළඟ පර්වතයේ කොටා ඇති ලිපිය ප‍්‍රදේශයේ පැවැති බෞද්ධ අයිතිය මොනවට ස්ඵුට කරන්නක් බව පැහැදිලි කරයි. පාඨකයන් අතර තවමත් අප‍්‍රකට මේ ලිපියේ කොටසක් මෙසේ දැක්විය හැකිය.

1.සිධ මහරජ වහබයෙ දැකිණි විහරහි පොහොන තර චතරිකල සත සගසක

2 . කහවණ දරිය කරය පොහොතහි ජිණ පඬි සතරණ කටය මෙ කළපහණක වව් පවසහ

3. සකහවණ දරිය කණවය මහණ නකරිකහි පනස කුලගනිය පිටලි නියමන් දොස

4. ත මසක දෙන කොටු මෙ වන් දිබිති වවු කොටිය පච පච විසිති කුලහ හිද විතෙ මෙච

5. වියදකපති ච බොජිය පතිච පනස කුලනව….

මේ ලිපියේ වැදගත් කරුණු කීපයක් හෙළිදරව් කරයි. ලිපිය කරවා ඇත්තේ වහබ මහරජ නම් පාලකයෙකි. මේ ගැන විමසා බැලීමේදී වංශකථාවල පළමුවන ලම්බකර්ණවංශික රජු වශයෙන් සඳහන් වන වසභ රජු (67 – 111) ගැන කරන සඳහනක් බව නිසැක ලෙස දැක්විය හැකිය. වසභ රජු බොහෝ වෙහෙර විහාර මෙන්ම විශාල වැව් ද සෑදූ රජකු වශයෙන් වර්ණනා කර තිබේ. ඔහු අනුරාධපුරයේ දක්‍ඛිණගිරි විහාරයේ උපොෂථාගාරය කර වූ බවත් ඒ සඳහා ගිය වියදම කහවණු එක්ලක්‍ෂ විසිපන්දහසක් බවත් තෙල ලිපියේ සඳහන් වෙයි. ඉන් පසු එම ගොඩනැඟිල්ල ප‍්‍රතිසංස්කරණ කටයුතු හා එහි වසන භික්‍ෂුන් වහන්සේලාගේ දානය පිණිස රජතුමා යෙදූ වැඩපිළිවෙළ සඳහන් කරයි. පන්දහසක් කහවණු වියදම් කර කලපහනක වැව තනවා එහි දිය බදු ඒ සඳහා පූජා කළේය. මගණ නම් නගරයක පවුල් පනහක් ද මේ කාර්යයේ දී සටහන් වී තිබේ. කලපහනක වැව සිනාඬියගල අසල වූ නටබුන් වැව හැටියට සැලකීමට පුළුවන. එය දැනට හඳුන්වනු ලබන්නේ කරඹකුළම නමිනි. සී. ඩබ්. නිකුලස් ශූරීහු ද මේ අදහස් දරති. මෙය විශාල වැවකි. වසභ රජුට පසුව සිටි මහසෙන් රජු (274 – 301) කාල පසාණ නමින් විශාල වැවක් කරවූ බව මහාවංසයේ සඳහන් වෙයි. වසභ රජු මුලින් කරවූ මේ වැව පසුව මහසෙන් රජු විසින් විශාල කර වන්නට ඇත.

ඉහත සඳහන් ලිපියේ දැක්වෙන මගණ නගරය ගැන ද විමසා බැලීම ඉතාමත් ම වැදගත් වේ. ටොලමිගේ ලංකා සිිතියමේ මර්ගන යනුවෙන් ස්ථානයක් නම් කර තිබේ. පුරාණ සෙල්ලිපි කිහිපයක ද සීගිරි ගී වල ද එම නම් සඳහන්ව තිබේ. මේ සටහන් ආශ‍්‍රයෙන් කිව හැක්කේ මගණ මුහුදට ආසන්නව පිහිටි වෙළෙඳ නගරයක් බවයි. එපමණක් නොව එය මාතොට, මන්නාරමට දකුණින් බටහිර වෙරළාසන්නව පිහිටා තිබූ බව ද පැහැදිලි වේ. වට්ටාප්පුකල්ලූ ලිපියේ සඳහන් තොරතුරු අනුව මගණ නගරය නිසැක ලෙස මෝදර ගම් ආරේ මෝය අසල පිහිටා තිබූ බව තහවුරු වේ. හෙළආරේ උතුරු ඉවුරේ මුල්ලිකුලම් නමින් අද හැඳින්වෙන ප‍්‍රදේශය පුරාම පැරණි ජනාවාසයක බොහෝ නෂ්ඨාවශේෂ දක්නට ලැබේ. මතුපිට ඇති ශේෂ වලට වඩා යට වී ඇති ශේෂ අපමණ විය හැකිය. ඒවා පිළිබඳව මේ දක්වා ක‍්‍රමවත් ලෙස පරීක්‍ෂණ සිදුකර නොමැති නිසා නිවැරැදි තොරතුරු අනාවරණය වී නොමැත. එසේ වුවත් පුරාතන මගණ වෙළෙඳ නගරය මෙහි පිහිටා තිබු බව මේ නයින් පැහැදිලි වේ. නමුත් පරසතුරු උවදුරු නිසා එය පසු කාලීනව අභාවයට ගිය බව පෙනේ.

කෙසේ වෙතත් වසභ රජුගේ කාලයේදී අනුරාධපුරයේ පූජනීය ස්ථානයක පැවරූ අයිතියක් බටහිර වෙරළේ මගණ නගරය දක්වා විහිදී තිබූ බව සිනාඩියගල ලේඛනයේ සඳහන් වේ.

අද ඝන වනාන්තරයට යට වී ඇති මෙම ප‍්‍රදේශයේ බොහෝ පුරාවස්තු තිබේ. වන සතුන්ට අමතරව ඔවුන් තුළ ඇති ගුණයක්වත් නැති ත‍්‍රස්තවාදීන් මන්නාරම් අඩවිය හරහා මෙම ප‍්‍රදේශවලටත් බැල්ම හෙළා ගෙන සිටි බව පෙනේ. දැන් එය වෙනස් පක්‍ෂයකට හැරී තිබේ. විල්පත්තු ජනපදය නිසා පුරාවස්තු විනාශ වන බව නම් තරයේ ප‍්‍රකාශ කරමු.

එල්ලාවල මේධානන්ද හිමි

sikuru

Related posts

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday