Colombo Today Local News

ජිනීවා යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම රට පාවා දිමක් – ජනපති

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

 ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (27 දා) පෙරවරුවේ සහභාගි වෙමිනි.

 උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම සිදුවී නොමැති බවටත්, ඒ සඳහා කොමිසමක් පත්කළ යුතු බවටත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති යෝජනාව රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කරගෙන සිදුකරන ලද්දක් බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එලෙස කොමිෂන් සභාවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සඳහන් කළේය. මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප‍්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 මේ අතර මානව හිමිකම් කොමිසම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාර්තාවේ සඳහන් පරිදි අප සම වගකීම් භාරගැනීමේ ප‍්‍රතිපත්තියකට ඉදිරි වසර දෙකකින් පසු එළැඹෙන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ‍්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමග සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

 එම අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනුදැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවත් අපේ රටේම පාර්ශ්වවල වැරදි තීන්දු තීරණ හේතුවෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ තම සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම එම සිදුවීම තමා දකින්නේ මේ රටේ ති‍්‍රවිධ හමුදාව රජය මෙන් ම ජනතාව පාවාදීමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිතුමා රටේ විදේශ ප‍්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට මිස ඉන් පහළ අයට නොවන බව ද කියා සිටියේය.

 ජීනිවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස ද පත්කර තිබුණේ තමා සමග කිසිදු සාකච්ඡුාවක් නොපවත්වා බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා පෙබරවාරි 25 වැනි දා සිදුවීමෙන් පසු තමා විසින් එම නියෝජිත පිරිස වෙනස් කිරීමට කටයුතු කළ බවත්, විදේශ අමාත්‍යවරයා පසුගියදා එම කොමිසම හමුවේ කළ කතාව රටට ගැලපෙන ආකාරයෙන් සිදු කළ යුතු අන්දම පිළිබඳව ද තමා උපදෙස් ලබාදුන් බවත් ප‍්‍රකාශ කළේය.

 එදා අප රටට එල්ල වූ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ අද ද වෙනස් ක‍්‍රමෝපායන් මගින් රටට එල්ලවීමට පටන්ගෙන තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා අපට යහපත් විදේශ සබඳතා තිබිය යුතු නමුත් රටේ දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට එවා මැදිහත් නොවිය යුතු සේම, අද මෙන් ම හෙට දවසේ ද කිසිදු අවස්ථාවක විදේශ බලවේගවලට මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

Related posts

“වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා” – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

Admin

සෙන්පති සරත් රට වෙනුවෙන් තනි සටනක.. ජිනීවා මානව හිමිකම් කමිටුවේදී කොටි නඩයට දුවන්න දෙයි !

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday