බස් ගාස්තු, ගෑස්, කිරිපිටි, සීනි, ඉන්ධන ආදි මෙකී නොකී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් රාත‍්‍රියෙන් රාත‍්‍රියට වෙනස් වන අවධියක එකී ගොන්නට දුම්රිය ගාස්තු ඉහළ යෑම ද හෙට (ඔක්තෝබර් 01 දා) සිට අයත් වන්නේය.
ඒ අනුව දුම්රිය ගාස්තු වැඞීවීමේ ප‍්‍රතිශතය 15% කි. මෙම ගාස්තු ඉහළ යෑම සිදු වනුයේ වසර 10 කට පසුවය. දැනට වසර දෙක තුනක සිට දුම්රිය ගාස්තු වැඩි වන බවටද ඉඟි පළවිණි.
මගීන් ඒ අනුව කල්තියාම ගාස්තු ඉහළ යෑමක් පිළිබඳ සිත හදාගෙනම සිටියහ. කෙසේ වෙතත් වර්තමානය වන විට මෙරට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල ඉහළ යෑම මහා පුදුමයක් හෝ අමුත්තක් නොවන්නේය.
කවදා සිටද, කොපමණකින් ද ඉහළ ගියේ යන්න පමණක් දැනසිටීම ඔවුනට හොඳටම ප‍්‍රමාණවත් වී ඇත. නැතිනම් මෙරට ආණ්ඩු කරන ඇත්තන් ඒ සඳහා රටේ ජනතාව පුරුදු පුහුණු කොට අවසන්ය.
ශ‍්‍රී ලංකා දුම්රිය සේවය යනු පාඩු පිට පාඩු ලබන මෙරට තිබෙන තවත් ප‍්‍රධානතම සේවාවකි. ඊට අමතරව දුම්රිය වර්ජන ද බොහෝ සේ සිදු වේ. දුම්රිය වර්ජන, තර්ජන, ප‍්‍රමාදවීම්, අවලංගු කිරීම් මැද මෙරට ජනතාව තවමත් ප‍්‍රශස්ත දුම්රිය සේවයක් අත්විඳීමට පෙරුම් පුරමින් සිටී.
ඒ ආකාරයට දුම්රිය පහසුකම් සහ සේවා වැඩිදියුණු කරමින් කලට වේලාවට දුම්රියක් පැමිණෙන තුරු බලා සිටින ජනතාවට දුම්රියේ එල්ලී හෝ මිරිකෙමින්, තෙරපෙමින් මාරාන්තික අත්දැකීම් සහිත ගමනාන්තයක් කරා යෑමට එදිනෙදා සිදුවන තත්ත්වයක් තුළ ගාස්තු ඉහළ යෑම ගහෙන් වැටී සිටි මිනිසාට හරකකු නොව කුළු හරකකු පහර දුන් ආකාරයේ අත්දැකීමක් වන්නේය.
ඒ අනුව එම කුළු පහර දුම්රිය ප‍්‍රවේශ පත‍්‍රයක් මිලදී ගන්නා සෑම දිනකම දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍රයක් මිලදී ගන්නා සෑම මාසයකදීම හොම්බටම වදිනු ඇත.
එසේ නම් වසර 10 කට පසුව දුම්රිය ගාස්තු ඉහළ ගොස් ඇත්තේ කුමන ආකාරයකින් ද යන්න විමසා බැලීම වටී. සංඛ්‍යාත්මක ලෙස බැලූවහොත් 15% කිනි. එය එලෙසම සිදුවන්නේ නම් රුපියල් 10 ක් ගෙවා ටිකට් පතක් මිලදී ගන්නා අයෙකුට නව මිල වනුයේ රුපියල් 15 කි.
එහෙත් දැනට ඇති රුපියල් 10 අවම ගාස්තුව වැඩි නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක‍්‍රියාකර ඇත.
එහෙත් දැනට කිලෝමීටර් නවයක දුරක් ගමන් ගන්නා මගියකුට රුපියල් 10 ක අවම ගාස්තුවක් ගෙවීමට සිදුවුණ ද ගාස්තු වැඩිකිරීම යටතේ එම කිලෝමීටර් ප‍්‍රමාණය හත දක්වා අඩු කර තිබේ.
ඉන් පසුව ගමන් ගන්නා සෑම කිලෝමීටර හතරකට වරක්ම රුපියල් පහෙන් පහ ගාස්තු වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක‍්‍රියා කර තිබේ. එය එක් අතකින් දුම්රියට ද්විත්ව වාසියකි. දුම්රිය ගාස්තු වැඩිකරන ගමන් ම දුම්රිය ගාස්තුවක් තීරණය කරන ඒකක ප‍්‍රමාණයෙන් කිලෝමීටර් හතරක් ද අඩු කර ඇත.
එය එක අතකින් හොම්බට අනින ගමන් අනෙක් අතින් බඩට ද පා පහරක් දෙනවා වැන්නකි..
ඔබ දැනට ටිකට් පතක් මිලදී ගන්නා මිල අනුව 15% ක වැඩිවීමක් බලාපොරොත්තු වන්නේ නම් එය සිහිනයකි. සැබැවින් ම එය 15% ට වඩා කිහිප ගුණයකින් වැඩි වීමකි.
උදාහරණයක් ලෙස කළුතර සිට කොළඹ යන මගියකු දැනට රුපියල් 40 ක් ගෙවා ටිකට් පතක් මිලදී ගත්තද. එය ඔක්තෝබර් පළමුවැනිදා සිට රුපියල් 55 දක්වා වැඩි වනු ඇත.
එහෙත් 15% නමැති මිල සූත‍්‍රයට ගණනය කළොත් ඇත්තටම වැඩිවිය යුත්තේ රුපියල් 06 ක් පමණි. නමුත් ගාස්තු වැඩිවීම රුපියල් 15 කින් සිදුව ඇත. මේක නම් පුදුම වැඩිවීමකි. එය එලෙස සිදුවන්නේ ඉහත කී කිලෝ මීටර් ඒකක ප‍්‍රමාණයේ වෙනස හෙවත් අඩු කිරීම හේතුවෙනි. එනම් සියඹලා විකිණීමට ගිය අයෙකු සියඹලා පොතුවල බර අඩු කිරීමක් හා සමානය.
කෙසේ වෙතත් එම අරුම පුදුම වැඩිකිරීමට එරෙහිව දුම්රිය වෘත්තීය සංගම් මෙන් මගීන්ට වර්ජන කිරීමට අවස්ථාවක් නොමැත. ප‍්‍රසිද්ධ ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වල මෙන් ‘ලයිෆ් ලයින්’ ද ගත නොහැක. වැඩි කිරීම භාර ගත යුතුමය. මෙලෙස හයිබි‍්‍රඞ් ආකාරයට වැඩි වන දුම්රිය ගාස්තු නිසා දුම්රිය දෙපාර්තමේන්තුව සුඛිත මුදිත නොවීම දැඩි ලෙසම කනගාටුවට පත්විය යුතු කරුණක් ය.
දැනට දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර සහ ප‍්‍රවේශපත‍්‍රවලින් දෙපාර්තමේන්තුව දිනකට ලබා ගන්නා ආදායම මිලියන 14 කි. එය ඒ තරම් ඉහළ ආදායමකි. එහෙත් දුක්ඛදායකම කරුණ ඊට දෙගුණයකට හා සමාන මුදලක් දුම්රිය ධාවනයට සේවක පඩිනඩි ඇතුළු දෙපාර්තමේන්තුවේ ඇති වියදම් හේතුවෙනි.
මෙම මිල වැඩි කිරීම මගින් ඒ අනුව රජයට දුම්රියෙන් ලබන පාඩුව යම් ප‍්‍රමාණයකින් පමණක් අඩුකර ගත හැකිය. මෙහි ලොකුම බලපෑම දුම්රිය මගීන්ටම බව අමුතුවෙන් කිවයුතු නොවේ.
බස් ගාස්තුව කිහිපවිටක් ම වැඩි කිරීමෙන් හප්පා ගිය මඟීන්ව දුම්රිය ගාස්තු විසින් තලා පොඩි කර ගෙනම ගියද ආණ්ඩුවට ඒ පිළිබඳව වගේ වගක්වත් නොමැත. ඔවුන් වහසි බස් දොඩනුයේ දුම්රිය ගාස්තු වැඩිවීම වසර 10 කට පසුව වැඩි කළා යැයි කීම පමණක්ය.
කෙසේ වෙතත් දුම්රිය මඟීන්ට මේ ගැන සිතන හැම විටකම දැනෙන එකම සහනය වනුයේ බස් ගාස්තුවට වඩා දුම්රිය ගාස්තු තවමත් අඩු වීම පමණි.
අකිත පෙරේරා