Colombo Today Local News

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ජනතාවට අඳුරේ ඉන්න වෙලා තියෙන්නේ. ඔබ හිටපු විදුලි බල නියෝජ්‍ය ඇමැතිවරයෙක්. මේ ගැන මොකද කියන්නේ?

මේ රටේ හැම ආණ්ඩු කාලෙම ලයිට් කපල තියෙනවා. සමහරු හිතාමතාම ඒක අමතක කරනවා. මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. මම ඒ වගකීම්වලින් ඉවත් වුණේ ඔක්තෝබර් 26 පහත් කුමන්ත්‍රණයක් එක්කයි. ඊට පස්සෙයි ලයිට් කපන්නෙ.

ඔබ ආත්මාර්ථකාමී හා අසාධාරණ තර්කයක් ගොඩනගන බවට මම තර්ක කරනවා. පසුගිය වසර 04 තුළ විදුලි බල අමාත්‍යාංශය දිගුකාලීනව සිතා වැඩ කොට තිබුණා නම් මෙහෙම වේවිද?

වසරේ මුල් 3-4 තුළ හැමදාම විදුලි අර්බුද එන බව ඉන්ජිනේරුවන් හා දේශපාලකයන් හොඳටම දන්නවා. ඒකට විසඳුම් තියෙනවා. අපි පසුගිය වසර 04 තුළ ඒ පියවර ගත්තා. වැඩිම නියඟය ආපු 2017 දී පවා ලයිට් කැපුවෙ නැත්තේ ඒකයි. අප අනුගමනය කළ ක්‍රමවේදය මෙවරත් කළා නම් මේ ප්‍රශ්නය එන්නේ නෑ. මමත් ඇමැති සියඹලාපිටියත් මේක හරිහැටි කළමනාකරණය කළත් අපි ඉවත් වුණාම ඒ පැරණි ක්‍රමවේදය ක්‍රියාත්මකවෙලා නැහැ. දැන් ලයිට් කපන්නේ ඒකයි.

ඔබත් සියඹලාපිටියත් අනුගමනය කළ ඒ මහා රහස් ක්‍රමය එළි කරන්න ඔබ සූදානම් නැද්ද?

ඇයි බැරි. මෙතැන රහස් නැහැ. ඒත් ක්‍රම ගණනාවක් තිබුණා. ඇතැම් ඒවා ඉන්ජිනේරුමය කාරණායි. මේ රටේ විදුලි අර්බුදයට හේතුව විදුලිය නිපදවීමට අදාළ කරුණ පමණක් නෙවෙයි. විදුලි සම්ප්‍රේෂණය හා ජල කළමනාකරණයත් ඊට දැඩිව බලපානවා. අර්බුදයට මුහුණ දීමට අමතර විදුලියක් ජනනය කළ යුතුයි. ජල විදුලිය නිපදවීමට අදාළ ජලය අර්බුදයට ගැළපෙන ලෙස කළමනාකරණයත් අත්‍යවශ්‍යයි. විදුලිය බෙදාහැරීමේදී නාස්ති නොවන ලෙස බෙදා හැරීමත් අත්‍යවශ්‍යයි. එහිදී මණ්ඩලය සතු ජනන යන්ත්‍ර හරි විදියට ස්ථානගත කිරීමත් අවශ්‍යයි. මේ ක්‍රමවේද සියල්ල එකිනෙකට ගැළපෙන ලෙස යා කරලා ක්‍රියාත්මක කළාම විදුලි අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්.

ඔබත් ඇමැති සියඹලාපිටියත් වෙනස් වුණත් එම අමාත්‍ය ලේකම් හා සෙසු නිලධාරීන් මෙන්ම විදුලි මණ්ඩල නිලධාරීන් හා එම ඉන්ජිනේරුවන් තවමත් සිටියදී ඔවුන් එම ක්‍රමවේද මෙවර අනුගමනය නොකරන්නේ ඇයි?

එදා සිටි සමහර නිලධාරීන් විතරයි අද ඉන්නේ. දින 52 කාලෙ සමහරුන්ට ගැටලු ආවා. එදා සිටි සියලු දෙනා අද හිටියත් ඒ අය පෙර මෙන් ඉතා සහයෝගයෙන් ක්‍රියා කරන පසුබිමක් නැහැ. අපේ කාලේ විදුලි මණ්ඩලය, ඉන්ජිනේරුවන්, වෘත්තීය සමිති හා අමාත්‍යාංශය ඉතා සමීපව හා එකට බැඳිලා කිසි දෙයක් නොසඟවා කටයුතු කළා. ඒ තුළ ගැටලු ආවේ නැහැ. ඒත් අද එහෙම පසුබිමක් නැති බවයි මට පේන්නේ. දක්ෂතාව සහයෝගිතාව අත්‍යවශ්‍යයි. සත්‍යවාදීව තොරතුරු හුවමාරු කර ගෙන කටයුතු නොකිරීම නිසයි ජල කළමනාකරණය හා විදුලිය නිපදවීම ගැන අද ගැටලු ඇතිවෙලා තියෙන්නේ.

විදුලිබල හිටපු ඇමැතිවරු මාරුවීම හා වත්මන් ඇමැතිවරුන්ට පෙර තිබූ සහයෝගිතාව ගොඩ නගා ගැනීමට අසීරු වීම විදුලි අර්බුදයට මුල බව නේද ඔබ මේ කියන්නේ?

එහෙමම කියන්න තරමට මම නපුරු වෙන්නෙ නෑ. ඒත් කළමනාකරණය හා සහයෝගිතාව ගැන ලොකු ගැටලුවක් අද තිබෙන බව පේනවා. මණ්ඩලය තුළ ඇති විශේෂඥතාව ගැන, අමාත්‍යාංශයට ඇති තීරණ ගැනීමේ හැකියාව හා දේශපාලන නායකත්වය එකිනෙක බැඳී කළමනාකරණය නොවීමේ ගැටලුවක් මට දැන් පේනවා. මේ සියලු පාර්ශ්ව එකම තලයක කළමනාකරණය කරලයි අපි ගැටලුව විසඳුවේ. අද කරන්න වෙන්නෙත් ඒකම තමයි.

වසර 04ක් ඔබ හා සියඹලාපිටිය මේක ගැටගහගෙනයි අරන් ගිහින් තියෙන්නේ. මම හරි නේද?

ඔව්. ගැටගහගෙන ඇදගෙන යන එකත් විශාල දක්ෂතාවක්. ඒ හැකියාව අපට තිබුණා. මහා පරිමාණ බලාගාර ඇවිත් පද්ධතිය ශක්තිමත් වෙනතුරු කළ යුතු එකම විකල්පය ගැටගහගෙන යන එක තමයි. ඒ හරහා රට අඳුරේ නොතබන වැඩේ අපි හරියට කළා.

ගැට ගැහීම හා ප්ලාස්ටර් දැමීමත් දක්ෂතාවක් වුණත් දිගුකාලීනව ගත් කල ඔබ හා සියඹලාපිටිය අසමත් අය බව මම කිව්වොත් ඔබ මොකද කියන්නේ. එල්.එන්.ජී. ගල් අඟුරු හෝ වෙනත් බලාගාර කිසිවක් ඔබේ යුගයේදී ඉදිනොවීම විශාල පසුබෑමක් බව පිළිගන්නවාද?

සාම්පූර් ගල් අඟුරු බලාගාරය හැදීම 2015 අපි එනකොට රාජපක්ෂලා අතහැර දාලා තිබුණා. කොමිස් හෝ වෙන හේතු ඒකට තියෙන්න ඇති. පරිසරයට කිසිදු බලපෑමක් නොවී පරිසර හිතකාමීව නවීනතම තාක්ෂණය මත ඒක කරන්න අපි ඇවිත් සියලු කටයුතු කළා. 2016 අප්‍රේල් 25 දේශීය හා විදේශීය අයගෙන් ටෙන්ඩර් කැඳවන්න සියලු කටයුතු සූදානම්ව තිබියදී ඊට දින 02කට පෙර කිසිදු තර්කානුකූල හෝ සාධාරණ හේතුවක් නැතිව ගරු ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා ඒක අත්හිටුවෙව්වා.

මෙගා වොට් 500ක දැවැන්ත සාම්පූර් බලාගාරය ඉන්දියාව විසින් ඉදිකිරීමට යාම තුළ නේද මේ නැවැත්වීම සිදුවුණේ?

ඒක ඉන්දියාවටම අයිති දෙයක් නෙවෙයි. ඉන්දියානු සමාගමකට හා අපේ විදුලි බල මණ්ඩලය 50% බැගිනුයි ඒකෙ අයිතිය හිමිවෙන්න තිබුණේ. ඒ බලාගාරය නැවැත්වීම රටේ අනාගතය වෙනුවෙන් ගත්ත විශාලතම වැරදි තීන්දුවක්. ඒක හැදුවා නම් 2021 දී විවෘත වෙනවා. මේ ආණ්ඩුව සාම්පූර් හැදුවෙ නෑ කියල දඟලන අය මේ ඉතිහාසය දැනගන්න ඕනෑ.

ඒත් එජාපය යෝජනා කළ එල්.එන්.ජී. බලාගාර තුනකට චීනය, ජපානය, ඉන්දියාව, සූදානම්ව තිබියදී ඒවා යටපත් වීමටත් හේතුව ශ්‍රීලනිප මතවාද බව පිළිගන්නවාද?

මොන හේතුවකට හරි විදුලි බල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර කඹ ඇදිල්ලක් ආවා. විදුලිය ජනන සැලැස්ම ගැනයි ඒ අවුල ආවේ. ඒ කඹ ඇදිල්ලට වසර 02ක් ගියාට පසු ගල් අඟුරු හා එල්.එන්.ජී. බලාගාරවලට අනුමැතිය ලැබුණා. මෙගාවොට් 400 බැගින් වූ ඒ බලාගාර 03 කල්ගියේ ඒ අනුවයි. මේවායේ අයිතිය විදුලි මණ්ඩලයට වගේම ආයෝජකයන්ටත් යනවා. මින් නිපදවෙන විදුලි ඒකකයක මිල ගැන එකඟත්වයකට එන්නත් අපහසු වුණා. අද පවතිනවා වගේ අර්බුදයකදී අධික මිලකට වසර 20ක් විදුලිය මිලදී ගැනීමට එන පීඩනයෙනුත් අපි වැළකීම අවශ්‍යයි. මන්ද ‘‘ලක්දනවි’’ එක්ක එවැනි ගිවිසුම් ගහලා තිබෙන නිසා රටට අඛණ්ඩ පාඩුවක් සිදුවෙමින් තියෙනවා.

මෙගාවොට් 300ක එවැනි බලාගාරයක් කෙරවලපිටියේ හදන්නත් අපි ඉතා විනිවිදව ටෙන්ඩර් කැඳෙව්වා. කැබිනට් එක ඒක නැවැත්තුවා. නඩුවකුත් වැටුණා. තරගකරුවන් අතර ප්‍රශ්න නිසයි ඒක සිදුවුණේ. මහා පරිමාණ බලාගාර පරක්කු වුණේ ඒ පසුබිම තුළයි. ඒනිසා මේවා ඉතා සංකීර්ණ බව සියලු දෙනා අවබෝධ කරගන්න ඕනෑ.

නොරොච්චෝල හදන කොට වගේම ඉහළ කොත්මලේටත් එරෙහිව දේශපාලනික හා ජනතා විරෝධතා ආවත් රාජපක්ෂවරු ඒ සියල්ල යටපත් කරගෙන චක්‍රලේඛවලට පවා අභියෝග කරමින් රටේ අවශ්‍යතාවට මුල්තැනදී ක්‍රියා කළත් මේ ආණ්ඩුවට එහෙම කොන්දක් නොතිබුණේ ඇයි?

කැඩි කැඩී හරි දුවන්න නොරොච්චෝලෙ හදපු එක අපි අගය කරනවා. නොකැඩී දුවන හොඳම එකක් හැදුවෙ නැත්තේ ඇයි, ඒකට බලපෑ හේතු කොමිස්ද වෙන දෙයක්ද කියන ගැටලුව අපට තියෙනවා. යහපාලනයට කොන්දක් තිබේද නැද්ද යන ගැටලු හෝ විරෝධතා නිසා අපේ කාලෙ එකම බලාගාරයක්වත් හදන එක නැවතුණේ නැහැ. සාම්පූර් නැවතුණේ ජනාධිපතිතුමා නිසයි.

අව්ව අධික ලංකාවට සූර්ය ශක්ති විදුලි ව්‍යාපෘති ඉතා උචිතයි. ඔබ මූලිකව ක්‍රියා කළ ‘‘සූර්ය බල සංග්‍රාමය’’ තුළිනුත් මේ අර්බුදයට ප්‍රමාණවත් විසඳුම් නොලැබීමට හේතු මොනවාද? එම ව්‍යාපෘති 190 ක් ක්‍රියාත්මක වුවත් 690ක් හිරවුණේ ඇයි?

ඒ චෝදනාව වැරදියි. රාජපක්ෂ කාලෙ සූර්ය බල ව්‍යාපෘතිවලට බලපත්‍ර දෙන ක්‍රමයක් හදාගෙන තිබුණා. මේ බලපත්‍ර ඩොලර් දශලක්ෂයකට දෙකකට විකුණන ජාවාරමක් තිබුණා. මම ඒක නතර කළා. සූර්ය බල ඒකකයක් හදන්න රුපියල් 11ක් වැය වෙද්දී ඔය මාෆියාව ඒකකයකට රුපියල් 23ක් ඉල්ලනවා. ඒ මගඩිවලට අපිට යටවෙන්න අවශ්‍යතාවක් නෑ. ඒත් තරගකාරීව මෙගාවොට් එක බැගින් වූ බලාගාර 60 ක් හා 90කට අවස්ථා දෙකකදී අපි විනිවිදව ටෙන්ඩර් කැඳෙව්වා. එහිදී ඒකකයකට රුපියල් 11 සිට 16 අතරේ සාධාරණ මිලක් නියම වුණා. ඒ බලාගාර දැන් ඉදිවෙනවා. රාජපක්ෂලාගෙන් බලපත්‍ර ගත්ත අය බලාගාර හැදුවෙ නෑ. ඒවා අධික මිලට විකුණන එකයි කළේ. දැනට ඉල්ලුම්පත් 650ක් විතර ආවට එක්කෙනා අයැදුම්පත් 7-8 දාපු අයත් ඉන්නවා. එයාලා වෙනම සෙල්ලමකටයි ඔය දඟලන්නේ.

රවි ඇමැතිතුමා විසින් මා ඉහත දැක්වූ ලෙස සාධාරණව ඉදිකළ සෝලා බලාගාර 02ක් ළඟදී විවෘත කළා. අනිත් ඒවාත් ඉක්මනින් විවෘත වෙනවා. වහලය මත සවිකරන සෝලා ක්‍රමය ඉතා වටිනවා. මෙගාවොට් 200ක විශාල ධාරිතාවකින් යුතු කට්ටල අපි සවි කළා. එය ලොව හොඳම සෝලා ක්‍රමය ලෙස අපි සම්මානත් ලැබුවා. රවි ඇමැතිතුමා මුදල් ඇමැති කාලෙ පුනර්ජනනීය බලශක්තියට අදාළ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කළා. එය ඔහු කළ විශාල ජාතික මෙහෙවරක්. සෝලා පැනල් හදන කර්මාන්ත ශාලාවකුත් අපි කටුනායක හැදුවා. සමාගම් 250ක සේවකයන් 10,000ක් දැන් සෝලා කර්මාන්තයේ ඉන්නවා. මම ඒ ගැන ඉතා තෘප්තිමත්වයි ඉන්නේ. මේක විනාශ කර නොගෙන ඉදිරියටම යා යුතු දෙයක්.

හදිසි විදුලි අර්බුදවලට මුහුණදීමට බිලියන 90ක් වැයකොට විදුලිබල මණ්ඩලය ගෙනා මෙගාවොට් එක බැගින් වූ ජෙනරේටර්ස් 50 හරියට ක්‍රියා නොකිරීම ගැටලුවක් නේද?

ඒ ගැන කතා කරන්න මට දැන් අයිතියක් නැහැ. ඒවා සංවිධාන කරගන්න විදුලි බල මණ්ඩලය දැනගන්න ඕනෑ.
මේ අවස්ථාවෙත් ඔබ ඇතුළු පිරිස සිටියානම් විදුලිය නොකපා ගැටගහගෙන යන්න තිබුණාද?

අනිවාර්යයෙන්ම. ඒකෙ දෙකක් නෑ. අධිකම නියඟය තිබූ 2017 දීත් අපි ලයිට් කැපුවෙ නැත්නම් මෙවර කිසිසේත්ම කපන්න වෙන්නෙ නෑ.

ඔබේ නව අමාත්‍යාංශය ගැන මොකද කියන්නෙ. සමාජ මාධ්‍ය වගකීම් ඇතුළු රට නවීන ලෙස ඩිජිටල් කිරීමට අදාළ වගකීම් ඔබ සතුයි නේද?

සමාජ මාධ්‍ය සදාචාරාත්මකව පවත්වාගෙන යාම හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය ඩිජිටල්කරණය කිරීම අපි කරනවා. නූතන ලෝකය එක්ක යන්න අපි වහාම එය කළ යුතු වෙනවා. ඊට අවශ්‍ය ‘‘තොරතුරු ආරක්ෂණ’‘ හා ‘‘සයිබර් ආරක්ෂණ’’ පනත් 02 මම ඉක්මනින් සම්මත කරගන්නවා. මේ වගකීම ලබාදීම ගැන මම අගමැතිතුමාට ස්තුති කරනවා. තවත් විප්ලවීය පියවර රැසකට මේ අමාත්‍යාංශය යනවා. ඒවා වෙලාවට එළි කරන්නම්.

රටේ ඉදිරි වසර 5-6 තීන්දු කරන වසර මෙයයි. ජනපතිවරණයට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී පොහොට්ටුව, ශ්‍රීලනිපය තුළ මෙන්ම එජාපය තුළත් මහා සීතල අරගල තිබෙනවා නේද?

පොහොට්ටුව හෝ ශ්‍රීලනිපය ගැන මම කතා කළ යුතු නෑ. එකිනෙකා මරාගෙන හරි අපේක්ෂකත්වය ගන්න මහා නිර්ලජ්ජිත සටනක් ඒ තැන් දෙකේම තියෙන බව ජනතාවට පේනවා. ඒ පැතිවලින් කවුරු ආවත් බිත්තියටම තියල පරාජය කළ හැකි අපේක්ෂකයෙක් එජාපෙට ඉන්නවා. එච්චරයි. ඔහුට අප දැනට ගොඩනගා ඇති හා ගොඩ නැගෙන සන්ධානයේ ශක්තිය ඒකාන්ත ලෙස ලැබෙනවා. කකුල් මාට්ටු නැති ශක්තිමත් එජාපෙ ආණ්ඩුවක් හරහා මේ රට අපි ගොඩගන්නවා.

ඔබ කියන ඔය එජාපෙ අපේක්ෂකයා ‘‘ළඟදී රෙද්ද බැනියම ඇඳපු’’ ඉහළම ආගමික පාර්ශ්වවලින් ‘‘ගෞරව සම්මාන’’ ලැබූ කෙනෙක්ද?

ඔබ මාව බිත්තියටම හේත්තු කළා. බිත්තියටම හේත්තු කරලා අහන ප්‍රශ්නවලට උත්තර නොදීම මගේ සාමාන්‍ය ක්‍රමයයි. මගේ හිතේ ඉන්න අපේක්ෂකයා මේ රටේ බොහෝ අය දන්නවා. ඒත් මම ඒක මේ වෙලාවේ එළි කිරීම මට ගැළපෙන්නෙත් නෑ. සදාචාරාත්මකත් නෑ. කියන්න තියෙන්නෙ එකයි. එජාපෙ අපි දිනනවා. රට හදනවා. හොරකම් පිටු දකිනවා. ජනතාව ඇති හැකි අය කරනවා. එච්චරයි.

– Aruna News Paper –

Related posts

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව එයි.. අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා, රටත් ජාතියත් පෝරකයට

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

රනිල්ගේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම්, රු මිලියන 125ක් කොටින්ට දුන් හැටි හෙළිවෙයි…

colombotoday

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday