සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ ජයලත් සිනමා ශාලාව පසු කර, කටුනායක දිශාවට පැමිණෙන විට ප්‍රධාන පාරට මුහුණලා පිහිටි කැෆේ රොබෝ ආපනශාලාව අලංකාර ලෙස නිමැවුණු පාරිභෝගිකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා ස්ථානයකි. රසවත් ආහාර පානවලින් පාරිභෝගිකයන් පිනවන මෙම ආපනශාලාවේ සේවකයන් 6 දෙනෙක් සිටිති. එහෙත් මානව සම්පත් අංශයට අයත් වන්නේ එයින් 4 දෙනකු පමණි. ඉතිරි සේවකයන් දෙදෙනාම රොබෝවරුන්ය. “කැෆේ රොබෝ” යන නාමය මෙම ආපනශාලාවට යොදා තිබෙන්නේ එම නිසාය.
මෙහි සේවය කරන රොබෝවරුන් දෙදෙනාට පැවරී තිබෙන රාජකාරිය වන්නේ මුළුතැන්ගෙයි පිළියෙල කළ ආහාර පාරිභෝගිකයන්ගේ මේසය වෙත රැගෙන ගොස් බාරදීමයි. එය තවත් විදියකින් පවසන්නේ නම් රොබෝවරුන් අයත් වන්නේ වේටර් තනතුරටය.
රොබෝ වේටර්වරුන් දෙදෙනකු සේවය කරන මෙම අපූරු ආපනශාලාවේ සම හවුල්කරු තිළිණ පතිරණ සමඟි කතාබහකට අවතීර්ණ වූයේ වැඩි තොරතුරු දැනගැනීම සඳහා ය.
“මම පොඩි කාලේ ඉඳලාම අලුත් අලුත් නිර්මාණ කරන්න, අත්හදා බැලීම් කරන්න කැමති කෙනෙක්. මම අ.පො.ස. උසස් පෙළට භෞතික විද්‍යාව කළේ ඉංජිනේරු අංශයෙන් ඉදිරියටම යන්න. ඒත් මට ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න ලකුණු මදි වුණා. මාව තේරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට. ඒත් මම අලුත් නිෂ්පාදන කරන්න තියෙන කැමැත්ත නිසා භෞතික විද්‍යා අංශය අත් හැරලා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයට ඇතුළත් වුණා. මම එහි ඉගෙන ගත්තේ ඉලෙක්ට්‍රොනික් සහ ටෙලිකම්යුනිකේෂන් පාඨමාලාව. ඒ කාලේ ඉඳලා මම අලුත් නිපැයුම් ගැන හිතුවා. රොබෝවරුන් නිපදවීම අපේ රටට අලුත් දෙයක් නෙමෙයි. රොබෝවරුන් හදපු අය අපේ රටේ ඉන්නවා. මම හිතුවා ඒ හදපු දේ එතනින් එහාට යන්නෙ නැහැ නේද කියලා. හදපු තැනින් නවතිනවා. ප්‍රායෝගික දෙයකට යොදා ගන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කළා රොබෝ කෙනෙක් හදලා වැඩකට යොදවන්න.“ යනුවෙන් පැවසුවේ “කැෆේ රොබෝ“ ආයතනයේ සම හවුල්කරු තිළිණ පතිරණ ය.
තිළිණ සිය අදහස ඔහුගේ මිතුරා වන ජනශාන් නානායක්කාර සමග පැවසුවේ ජනශාන් ද ඔහු සමග සරසවියේ දී එකට අධ්‍යාපනය ලැබූ නිසාය. මේ අනුව ජනශාන් සහ තිළිණ එකතු වී රොබෝවරයකු නිර්මාණය කිරීමට මූලික අඩිතාලම දැමූහ. එහෙත් එය ඔවුන් සිතූ තරම් පහසු කටයුත්තක් වූයේ නැත. ඔවුන්ට බොහෝ අවස්ථාවල ඔවුන්ගේ නිපැයුම වැරදුණි.
එහෙත් ඔවුන් එයින් අධෛර්යවත් වූවේ නැත. පසුබට වූවේ නැත. වසර ගණනක් මුළුල්ලේ ඔවුන්ගේ නව නිපැයුම සාර්ථක කර ගැනීමට වෙහෙස වූවේ උත්සාහය අත් නොහරිමිනි. අවසානයේ වසර තුනකට පසුව ඔවුන්ට සාර්ථකත්වය කරා ළඟා වීමට හැකි විය. එනම් ක්‍රියා කරවිය හැකි රොබෝවරුන් දෙදෙනකු නිෂ්පාදනය කිරීමට හැකි විය.
“අපි රොබෝ නිෂ්පාදනය ගැන ලියැවුණු පොතපත කියෙව්වා. අන්තර්ජාලයෙන් තොරතුරු ගත්තා. ඒ අතරවාරයේදී අපි තායිලන්තයේ බැංකොක් නගරයේ රොබෝවරුන් වැඩ කරන අවන්හලකට ගිහින් අධ්‍යයනය කළා. එ් රොබෝවරුන් නිෂ්පාදනය කර තිබුණේ ජපානයේ. ඒ විදිහට දැනුම ලබාගෙන තමයි අපිට මේ රොබෝවරුන් නිෂ්පාදනය කිරීමට හැකි වුණේ. අපි දැනට නිර්මාණය කරලා තිබෙන්නේ මූලික අදියරේ රොබෝ කෙනෙක්. හෝටලයට එන අයට ආයුබෝවන් කියන්න, මේසවලට හිස් පිඟන් තියන්න වගේ දේවලුත් රොබෝවරුන්ගෙන් කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මගේ යාළුවා ජනශාන්ට තමයි මෘදුකාංග පැත්තෙන් දැනුම තිබෙන්නේ. අපි මෙම රොබෝ නිර්මාණය කරද්දි කෑම පිඟන් අරගෙන මේසයට එන්න රොබෝට ගොඩාක් වෙලාව යනවා වගේ ප්‍රායෝගික ගැටලු මතු වුණා. ඒවා ජය ගත්තේ ජනශාන් තමයි.“ යනුවෙන් තිළිණ පතිරණ සඳහන් කළේ සිය මිතුරාට කෘතඥතාව පුද කරමිනි.
ඔවුන් මෙම නිමැවුම සඳහා වැඩි වශයෙන් යොදා ගෙන තිබෙන්නේ ලංකාවේ අමුද්‍රව්‍ය වීම විශේෂත්වයකි. විදේශයෙන් ගෙන්වූ උපාංග යොදා තිබෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවල පමණි.
එහෙත් තිළිණටත් ජනශාන්ටත් මූල්‍ය ප්‍රශ්න මතු නොවූවා නොවේ. තිළිණගේ ඥාති සොහොයුරකු වන සමිත් බස්නායක මුදල් ආයෝජනය කිරීමට ඉදිරිපත් වූවේ එබැවිනි.
වසර තුනක් මුළුල්ලේ නිර්මාණය කළ රොබෝවරුන්ගේ සේවය ආපනශාලාවකට යොදා ගැනීම ඔවුන්ගේ ඊළග පියවර විය. ආපනශාලාවක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරුණේ සමිත් බස්නායක අතිනි. “කැෆේ රොබෝ“ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට හේතු වූයේ සමිත් සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාය. ආපනශාලාවේ ඇතුළත නිර්මාණ අලංකරණය (Interior Disign) ජයසංඛ වික්‍රමරත්න අතින් ඉතා සාර්ථකව සිදු කෙරුණේ පාරිභෝගිකයන්ට ඇතුළතට පිවිසෙන විට ආස්වාදජනක හැඟීමක් සමග සුවිශේෂි ස්ථානයට පිවිසි බව දනවන ආකාරයටය. එමෙන්ම ආපනශාලාවේ වැදගත්ම අංගය වන ආහාර පිළියෙල කිරීම සඳහා නිලංග නම් ප්‍රධාන සූපවේදියා හමුවීම භාග්‍යයක් බව තිළිණ පතිරණ සඳහන් කළේය. නිලංගගේ අධීක්ෂණයෙන් මුළුතැන්ගෙයි ඉවුම්පිහුම් කටයුතු කරන කෝකිවරු තිදෙනෙක් සේවය කරති.
“අපේ ආපනශාලාවේ සුවිශේෂි ආහාර වට්ටෝරු සූදානම් කර තිබෙනවා. ඒවා බොහොමයක් ලංකාවේ පළමුවැනි වතාවටයි අපි ඉදිරිපත් කරන්නේ. මොංගෝලියන් රයිස්, ඉතාලි පීට්සා, බර්ගර්, නූඩ්ල්ස්, වෙනත් රයිස් වර්ග, සබ්මැරින්, සුප් වර්ග වගේම අතුරුපස සඳහා ෆ්‍රයිඩ් අයිස් ක්‍රීම් සහ චොකලට් ෆජ් අපි සූදානම් කර තිබෙනවා. ආපනශාලාවට ඇතුළු වෙන සියලුදෙනාටම පිළිගන්වන welcome drink එකට අපි දෙන්නේ දේශීය ඖෂධීය පානයක්. ඒ කියන්නේ දෙහි, ඉරමුසු, බෙලිමල් වැනි බීම වර්ග. ආපනශාලාව පුරාම සිත නිවෙන ආකාරයේ සංගීත රාවයක් වාදනය වෙනවා. අපි මෙම ආපනශාලාව සුවඳවත් කිරීමට කෘත්‍රිම සුවඳකාරක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට කුරුඳු තෙල් ජලය සමඟ මිශ්‍ර කරලා ඒවා පහනක ආධාරයෙන් වාෂ්ප හැටියට ආපනශාලාව පුරා පැතිරී යන ආකාරයට සකස් කර තිබෙනවා.“ යනුවෙන් විස්තර කළේ මෙහි කළමනාකරු ඩිමේෂ් බඹරැන්දය.
රොබෝ වේටර්වරුන් දෙදෙනකු සේවය කරන “කැෆේ රොබෝ“ආපනශාලාව පසුගිය සැප්තැමබර් 14 වැනි දින විවෘත කෙරිණි. මෙහි අයිතිකරුවෝ තිදෙනෙක් සිටිති. තිළිණ පතිරණ, ජනශාන් නානායක්කාර සහ සමිත් බස්නායක මෙහි අයිතිකරුවෝ ය. ආපනශාලාවට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ඇණවුම් ලබා ගැනෙන්නේ වේටර්වරයකු අතිනි. ඔහු එම ඇණවුම මුළුතැන්ගෙය වෙත දුන් පසුව පිළියෙළ කළ ආහාර මුළුතැන්ගෙයි සිට මේසයට රැගෙන එන්නේ රොබෝ වේටර්වරුන් විසිනි. ඒ යන අතරමගදි යමකු රොබෝවරයාට යම් අවහිරයක් සිදු කළහොත් වහාම රොබෝවරයා සිටි තැනම නැවතී සිටින්නේ අනතුර පහව යන තුරුය.
සැප්තැම්බර් 14 වැනි දින ආරම්භ කළ මෙම ආපනශාලාව ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූයේ ප්‍රණීත භෝජන සංග්‍රහයන් නිසාම නොවේ. රොබෝ වේටර්වරුන් නිසාය. විශේෂයෙන් මෙහි පැමිණෙන ලොකු පොඩි කොයි කවුරුත් එහි දීර්ඝ වේලාවක් ගත කිරීමට කැමැත්තක් දක්වන්නේ රොබෝ වේටර්වරුන් නැරඹීමේ අභිලාෂයෙනි. එහෙත් සති 3 කටත් අඩු කාලයකදි මෙම ආපනශාලාව තාවකාලිකව වසා දැමීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන් සීදුව, කටුනායක ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය දැමූ නිසාය.
“රටේ යහපත් වාතාවරණක් ඇති වූ විගස අපි ආපනශාලාව විවෘත කරනවා. ඉදිරියේදී රොබෝ තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කරලා යොදවන්න අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර පරිගණක තාක්ෂණයෙන් මුළුතැන්ගෙයට ඇණවුම් කිරීමටත් මීට වඩා දියුණු ආකාරයට රොබෝවරුන් පාරිභෝගිකන් වෙත ආහාර පිළිගැන්වීමටත් හැකි ආකාරයට වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආපනශාලාවට ඇතුළුවන අයට ආයුබෝවන් කියන්න, පිඟන් මේස උඩ තියන්න තවත් රොබෝවරයකු සේවයට යෙදවීමේ අදහසකුත් තිබෙනවා.“ යනුවෙන් සිය අනාගත අපේක්ෂාවන් පිළිබඳව තිළිණ පතිරණ විස්තර කළේය.
“කැෆේ රොබෝ“ ආපනශාලාවේ හිමිකරුවන් තිදෙනකු සිටින නමුත් ඔවුන් තිදෙනාම මේ වන විට වෙනත් වෘත්තීන් හි නිරත වී සිටිති. එමනිසා ආපනශාලාවේ වැඩි වගකීමක් කර පිට පැවරී තිබෙන්නේ ඩිමේෂ් බඹරැන්දටය.
රොබෝවරුන් සේවයට යොදා ගැනීම, ශ්‍රමිකයන්ගේ රැකියා වෙළෙඳපොළට තර්ජනයක් බව ඇතැමුන් චෝදනා කළත් මෙම කොරෝනා අවදානම ඇති වකවානුවක ශ්‍රමිකයන් වෙනුවට රොබෝවරුන් යොදා ගැනීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව සාක්ෂාත් වන කරුණකි. මෙවැනි කාලයක රොබෝවරුන් ඊට කදිම පිළිතුරක් සපයනු ඇත.
රොබෝ වේටර්වරුන් හදන්න අවුරුදු 3ක් ගතවෙලා. රට සාමාන්‍ය තත්ත්වයට පැමිණි විගස විවෘත කිරීමට සූදානම්. රොබෝවරයාට අනතුරක් ළං වූ සැණින් හිටි තැනම නවතිනවා. කුඩා දරුවන් ආපනශාලාවට පැමිණෙන්නේ රොබෝවරුන් බලන්න.