සාමණේර හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ 31 නමක් හා ගිහියන් තිදෙනකු ඝාතනය වූ අරන්තලාවේ භික්ෂූ ඝාතනය ගැන පසුගියදා යළි කරළියට ආවේය. ඒ අරන්තලා භික්ෂු ඝාතනයෙන් වසර 33කට පසුවය. අරන්තලාව් සිදුවූ භික්ෂූ ඝාතනයෙන් දිවි ගලවාගත් මේ වන විට ජීවතුන් අතර සිටින භික්ෂූන් වහන්සේ දෙනමගෙන් එක් නමක වන ආඳාඋල්පත බුද්ධසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලසා බැලීමෙන් පසුව එය කතාබහට ලක් විය.
උන් වහන්සේ විසින් 2020 ජූනි මස 30 දින මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේ SC (FR) 195/2020 අංකය යටතේය. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුව එය නොවැම්බර් මස 12 වැනිදාට දින නියම කෙරිණි.
අරන්තලා ඝාතනය සම්බන්ධයෙන් යළිත් විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහට දන්වන්නේ ඒ අනුවය.
එම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ජීවතුන් අතර සිටින භික්ෂූන් වහන්සේගෙන්ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත. එමෙන්ම ඒ සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් සිදු කළ යුතු බවත් එම විමර්ශනය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසද නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.
අරන්තලාවේ භික්ෂූ ඝාතනය සිදුවූයේ 1987 වසරේදීය. ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කෙරෙන්නේ වසර 33කට පසුව වීම විශේෂ සිද්ධියකි.
විශේෂයෙන්ම එවකට නැඟෙනහිර එල්ටීටීඊ නායකයා වූ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට මතයක් නිර්මාණය වී තිබුණි. එම මතයට අනුව ඔහුට විරුද්ධව හෝ එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව හෝ නීත්‍යානුකූලව පියවර ගැනීම මෙහි අරමුණ වී ඇත.
මේ සිදුවීම සම්බන්ධව ඇසින් දුටු ප්‍රභලම සාක්ෂ්‍ය වන්නේ එම බස්රථයේ එදා ගමන් කර දිවි ගළවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ය. උන් වහන්සේ අද දිවි ගෙවන්නේ මහියංගණය බිබිල මාර්ගයේ රිදීමාලියද්ද කුඩා ආවාසයකය. පූර්ණ ආබාධිතව දිවි ගෙවන උන් වහන්සේ රෝද පුටුවකට සීමා වී ඇත.
අම්පාර ඩිපෝවට අයත් 60 – 3599 බස් රථයෙන් 1987 වසරේ ජූනි මස 2 වැනිදා හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ප්රමුඛව සාමණේර හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ වැඩම කෙළේ විශේෂ ධර්ම ප්රචාරයකටය.
‘‘ඒ අවාසනාවන්ත දිනය මට හොඳට මතකයි එතකොට මට වයස අවුරුදු 17යි. හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවො සිදු කරන ධර්ම ප්රචාරක වැඩ සටහනකට සහභාගි වෙන්නයි අපි ගියේ. නායක හාමුදුරුවන්ට ඕනකරල තිබුණෙ පළමු රහත් 60 නම වෙනුවෙන් ධර්ම ප්‍රචාරය කිරීම ආරම්භ කරන්නයි.
1987 ජූනි මාසෙ 7 වැනිදා කළුතර බෝධීන් වහන්සෙ ළඟ ඉදල කතරගමට ධර්ම ප්රචාරක චාරිකාවක් ආරම්භ කරන්න නායක හාමුදුරුවන්ගේ සැලසුමක් තිබුණා. ඒකට සහභාගි වෙන්න 2 වැනිදා මහනුවරට ගිහින් මහනායක හිමියන්ගෙන් ආශිර්වාදත් අරගෙන, කැලණි විහාරය වැදගෙන කොල්ලුපිටිය පුෂ්පාරාම විහාරයට ගිහින් එහේ ඉදල පසුව කළුතර දක්වා යන එකයි සැලසුම වුණේ.
උදේ 6.00ට විතර අම්පාර මහාවාපි විහාරයෙන් ගමන යන්න බස් එකට කට්ටිය නැංගුවේ මමයි. නාම ලේඛනයේ ඉන්න හාමුදුරුවරු නම් කතාකරල බස් එකේ අසුන් ගැන්වූවා. හාමුදුරුවරු 37 නමක් හිටිය මාත් එක්ක. රියැදුරු කොන්දොස්තර මහත්වරු ඇරෙන්න ගිහි අය දෙන්නෙක් හිටිය. සේරම කට්ටිය 41යි. අපි ටිකක් විනෝදෙන් හයියෙන් කතා බහ කරමින් බස් එකේ ගමන් කෙළේ. නුගේලන්ද, රජගල තැන්න පහුකරගෙන යද්දි නායක හාමුදුරුවො කිව්වා දැන් ඇති විනෝද වුණා. අපි පිරිත් සඡ්ඡායනා කරමු කියලා. නායක හාමුදුරුවොත් එක්ක අපි පිරිත් කිව්වා. අරන්තලාව නුවරගලතැන්න 29 වැනි හැතැප්ම කණුව ගාවට ආවා විතරයි. පාර හරහා තිබුණු කොටයක් දැකල රියැදුරු මහත්තය බස් එක නැවැත්තුවා. ඒ එක්කම රියැදුරු මහත්තයා ‘හාමුදුරුවනේ ඔන්න කොටි.. කොටි.. කොටි‘ කියල කෑගැහුවා. ඒ එක්කම බස් එකට නැග්ග ත්‍රස්තවාදියෙක් දිග නැමුණු පිහියක් රියැදුරාගෙ බෙල්ලට තියල කිව්වා ‘බස් එක කැලෑවට එලවන්න‘ කියලා. මීටර් 100ක් විතර බස් එක ගෙනිහින් නැවැත්තුවා. දොර ළඟයි; ඇතුළෙයි ත්රස්තවාදීන් 4 දෙනෙක් හිටියා. “උඹල මට ඕන දෙයක් කරපල්ල මේ මගේ දරු පැටවුන්ට කිසි දෙයක් කරන්න එපා”.
එහෙම කියපු නායක හාමුදුරුවන්ට දිග පිහියක් ඉස්සුවා. ඒක බස් එකේ වහලෙ වැදිල නැවතුණා. ඒ තිරිසන්නු එයින් නැවතුණේ නැහැ. රියැදුරු මහත්තයත් කොන්දොස්තර මහත්තයටත් දිගට හරහට ලොකු පිහිවලින් කපල කොටල දැම්ම, පොඩි හාමුදුරුවරුන්ගේ විලාප මැද ලොකු හාමුදුරුවන්ටත් පිහිවලින් කෙටුවා. බස් එකේ හිටපු සේරම හාමුදුරුවරුන් පිහිවලින් කපාගෙන පිටිපස්සට ආවා.
අපේ හාමුදුරුවරු එක්කෙනා පිට එක්කෙනා වැටුණා. මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ. මමත් බිමට වැටුණා. ඒත් එක්කම ඒ තිරිසන්නු සීට් අස්සෙ හැංගිලා හිටපු අවුරුදු 8 – 9 පොඩි හාමුදුරුවරු එළියට ඇදල කපල කොටල මදිවට බිම වැටිල මැරුණු නැති අය ඇති කියල වෙඩි තියාගෙන ගියා. මගේ පිටට වෙඩි 3ක් වැදුණා මට මතකයි. මට නින්ද යනවා වගේ දැනුණා.
ඒ ප්‍රහාරයෙන් බරපතළම තුවාල ලැබුවේ මමයි. මට පියවි සිහිය ආවේ හාමුදුරුවරුන්ගේ තුන් මාසෙ දානෙත් දුන්නට පස්සෙයි. කලින් සිහිය ඇවිත් තිබුණත් පිටේ තිබුණු උණ්ඩයක් අයින් කරාට පස්සෙ තමයි මට අම්මා, තාත්තා පවා අඳුරගන්න පුළුවන් වුණේ. අදටත් ඒ ස්නායු ආබාධයන්ගෙන් මම පීඩා විදිනවා. මානසිකව ලොකු පීඩනයකින් ඉන්නේ. අද ජූනි 2 වැනිදා භික්ෂු ඝාතනය ගැන කතා කරත් කිසි කෙනෙකුට අපිව මතක නැහැ. මම විතරක් නෙමෙයි අම්පාර කල්මුණේ පාරෙ සාම විහාරයෙ හඟුරන්කෙත පුඤ්ඤරතන හාමුදුරුවොත් මේ ප්‍රහාරයෙන් අන්ත අසරණ වෙලා ඉන්නෙ.
උන් වහන්සේගෙත් ඇග ඇතුළෙ උණ්ඩ තියෙනවා. මම ඉන්න ආවාසෙට දානෙ ටිකක්වත් ලැබෙන්නෙ නැහැ. උයාගෙන තමයි වළදන්නෙ.
අරන්තලාවෙ භික්ෂු ඝාතනයෙන් අවුරුදු 23ක් යනකල් ඒ කියන්නෙ 2010 මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධුරය දරන කාලෙ වෙනකල් මට මාසෙකට ලැබුණෙ රුපියල් 300ක ජීවනාධාර දීමනාවක් විතරයි. මම මේ ගැන එතුමාට දැන්වූවාට පස්සෙ මහාභාරකාර දෙපාර්තමේන්තුව හරහා රුපියල් 8000ක් වෙන් කරන්න මහාභාරකාරවරයා කටයුතු කළා. පස්සෙ කරපු ඉල්ලීම්වලින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා තවත් රුපියල් 5000ක් ලැබුණා. නැවතත් මම ඉල්ලීමක් කළා මට බෙහෙත් ගන්න ඒ මුදල් මදි බව පෙන්වලා. ඒ අනුව මහාභාරකාර දෙපාර්තමේන්තුවෙන් තවත් රුපියල් 5000ක් ලැබෙනවා. ඒ විදිහට රුපියල් 18,000ක් දැන් මාසිකව ලැබෙනවා.
එදා සිද්ධියෙන් නායක හාමුදුරුවොත් එක්ක හාමුදුරුවරු 31 නමක් අපවත් වුණා. ගිය අයගේ නම් ගම් පවා මට තාම මතකයි. රියැදුරු මහත්තය දන්කොටුවේ පී.ජී. සමරපාල, කොන්දොස්තර අවිස්සාවේල්ලේ එන්.ජී. ජිනදාස මහත්තයත්, ඊට අමතරව අම්පාර නව නගරයේ අවුරුදු 18 ක වසන්ත ජයවර්ධන තරුණයත් මිය ගියා.
මාත් එක්ක ස්වාමීන් වහන්සේ 6 නමක් දිවි ගලවා ගත්තා. අපි එක්ක ගිය සාමණේර හිමිනමකගේ තාත්තත් බේරුණා.
මට පියවි සිහිය ආවට පස්සෙ ආරංචි වුණා අපිත් ගිහින් මාරාන්තික ප්‍රහාරයෙන් බේරුණා කියලා කිහිප දෙනෙක් දෙහිඅත්තකණ්ඩිය පැත්තෙ සම්මාදම් පවා එකතු කරපු බව. අරන්තලාවෙ පිරිවෙනේ නතරකරල ගිය පොඩි හාමුදුරුවරු අපිව ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සෙ ඇවිත් අපිව බදාගෙන අඬද්දි එයාලගෙ සිවුරුවල ලේ තැවරිලා එයාලවත් බස් එකේ ගිහින් බේරුණු අය ගාණට දාල තිබුණු බවත් ආරංචියි. ඒ බස් එක දිහා බලපුවහම යන්න පුළුවන් පිරිස හිතා ගන්න පුළුවන්නෙ. හාමුදුරුවරු හිටගෙන වැඩියෙ නැහැ. අනිත් කාරණේ තමයි මාධ්‍ය මඟින් ප්‍රචාරය කරල තිබුණ මහනුවර උපසම්පදාවකට වැඩම කරපු හාමුදුරුවරු කියලා. අවුරුදු 8-9 හාමුදුරුවරුන් උපසම්පදා කරන්නෙ කොහොමද? ඒ සේරම මවාපෑම්.
මේ නිසයි මම තීරණය කෙළේ සත්‍ය සමාජගත කරන්නත් අපිට සාධාරණයක් කරගන්නත් අවුරුදු 33කට පස්සෙ හරි නීතියට අනුව කටයුතු කළ යුතුයි කියල. මට නඩුවලට වියදම් කරන්න මුදල් නැහැ. අධි නීතිඥ මහතෙක් මගේ මේ සැබෑ තත්ත්වය දැකල සියලු කටයුතු නොමිලේ කරන්න ඉදිරිපත් වුණා.
මට කියන්න තියෙන්නෙ අරන්තලා භික්ෂු ඝාතනයේ සදාකාලින දුක් විඳින අපි ගැන ටිකක් බලන්න කියලයි. මම විතරක් නෙමෙයි අපවත් වෙච්ච පොඩි හාමුදුරුවරුන්ගේ අම්මල තාත්තල අද ඉන්න හිටින්න, කන්න බොන්න නැති අනාථයන් වෙලා ඉන්නවා. ඒ පොඩි හාමුදුරුවරු ජීවත්වෙලා හිටිය නම් උන්නාන්සෙලා අම්ම තාත්තා ගැන බලනවා. අද ඒ අය ගැන හොයන්න කවුරුත් නැහැ. මේ තත්ත්වයට සහනයක් ලබා ගන්නත් එක්කයි මම නීතිය හමුවට ගියේ. එහෙම නැතිව රජයකට හෝ ආණ්ඩුවකට එරෙහිව නෙමෙයි. අදට ජීවත්වෙලා ඉන්න ඒ ත්රස්තවාදීන් ඒ වෙනුවෙන් වගකිව යුතු වෙනවා. ඒක නීතියට බාර දෙන්නේ අපට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින්.
අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝරත හිමියන් එදා කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේ අපට පැවසුවේ අරන්තලා භික්ෂූ ඝාතනයෙන් පීඩාවට පත්වූ දැනට ජීවතුන් අතර සිටින භික්ෂූන් වහන්සේට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.
එමෙන්ම උන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ ත්රස්තවාදීන් විසින් දිඹුලාගල නායක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ 40 නමකට අධික පිරිසක් ඝාතනය වී ඇති බවත් එය සිහි කිරීම පිණිස සෑම වසරකම ජූනි මස 2 වැනිදා ජාතික භික්ෂු අනුස්මරණ දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.