Colombo Today Local News

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

මිග් යානා ගනුදෙනුවට අදාළව විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විමර්ශනවලට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඒ සඳහා දේශපාලන අධිකාරියෙන් අවසර ලැබෙන තුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සූදානමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

මී‍ට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ වංචා දූෂණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පෙර තමාව දැනුවත් කරන ලෙසයි.

2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව පිළිබඳව වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම විමර්ශනය සිදු කර ඇති අතර එම විමර්ශන අවසන් අදියරට පැමිණ තිබේ.

මේ අතර මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙනු ලැබුවේය.

එලෙස දැනුම්දෙනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවේ නඩුව කැඳවීම සම්බන්ධයෙන් දිනයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවේදීය.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ වරෙන්තු ජාත්‍යන්තර පොලිසියට දන්වා යවා ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවැසුවේය.

හිටපු තානාපති වීරතුංග මහතා මේ වනවිට එක්සත් අරාබි රාජ්‍යයේ සිටින බවද විමර්ශනවලදී තහවුරු වී ඇති බවද පදිංචි ලිපිනය පිළිබඳ තහවුරු කරගැනීමක් සිදුකරගැනීමට තවමත් නොහැකිවූ බවද එම නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන මුල්පිටපත මේ වනවිට අස්ථානගත වී ඇති බවද අස්ථානගත වීම පිළිබඳ විමර්ශන ගුවන් හමුදාවේ බලධාරින් සමඟ ආරම්භ කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවසුවේය.

ජාත්‍යන්තර පොලිසිය සමඟ සහ ගුවන් හමුදා බලධාරීන්ගේ සහයෝගය ඇතිව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීමට අවසර දෙමින් ප්‍රකාශ කළේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සැකකරුවකු බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව අනාවරණය වන බවයි.

– ඒෂියන් මිරර්

Related posts

එජාපයේ තීරණයට හිස නමයි.. විජේදාස ගැන ජනපතිගේ තීරණය දැනුම් දෙයි !

colombotoday

කොළඹ වරාය නගර පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

colombotoday

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

මැතිවරණය එපා: සමගි ජන බලවේගයත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday