Colombo Today Local NewsTop Stories

මහජන ආරක්ෂක ඇමතිට අභියෝගයක්! නඩුව උසාවියෙන් විසි වෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අභියාචනාධිකරණය වෙත යොමුකර තිබු පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (07) දින ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසිනි.

එහි වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බවයි.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පවසන පෙත්සම්කරු, ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාලට සුදුසුකමක් නොමැති බව පවසා ඇත.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් සදහන් කර තිබුණි.

ඔහු පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම අද දින විභාගයට ගත් අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ අදහස් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. එම්. එස්. දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නඩුවේදී නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනත්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග ඩුවිනි ගොඩගම හා චාමර නානායක්කාරවසම් නීතිඥවරුන් පෙනී සිටින ලදී.

සටහන -සත්සරණී

Related posts

ජනපතිගේ RMV පරික්ෂා කිරීමේ පළමු ප්‍රථිඵලය – තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට !

colombotoday

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

NTJ සහ JMI තහනම් ගැසට්ටුව තාම නෑ… සමාජ ජාලා බ්ලොක්, ජනපති රට යයි….

colombotoday

රු. මිලියන 2778කට අධික වටිනා කමින් යුත් හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වෙයි

colombotoday