Colombo Today Local News

වෙලඳපොලේ රතු සහල් හිඟයක්

වෙළෙඳපොළේ මේ දිනවල රතු කැකුළු සහල් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

සුපිරි වෙළෙඳසල්වල හා සිල්ලර වෙළෙඳසැල් බොහෝමයක රතු කැකුළු සහල් අලෙවියට නොමැති බව ඔවුහු කියති.

හාල් තිබෙන ඇතැම් සිල්ලර වෙළෙඳසැල්වල කිලෝවක පාලන මිල වූ රුපියල් 210.00 ඉක්මවා රුපියල් 240.00, 250.00 වැනි ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බව පාරිභෝගිකයෝ කියති.

මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ සිල්ලර වෙළෙඳුන්ගෙන් කළ විමසුම්වලදී ඔවුන් කියා සිටියේ, මේ දිනවල රතු කැකුළු සහල් හිඟයක් වෙළෙඳපොළ තුළ තිබෙන බව තමන් අමාරුවෙන් වැඩි මිලට සහල් සොයාගන්නා බැවින් ඒ අනුව වැඩි මිලට සහල් විකිණීමට සිදුවන බව ය.

මේ අතර, වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් කරන ලද විමසුමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන සියලු වෙළෙඳුන් වටලා ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ය.

රතු කැකුළු කිලෝවක පාලන මිල රුපියල් 210.00ක් බව ත් නාඩු සහල් කිලෝවක පාලන මිල රුපියල් 220.00ක් බව ත් එම මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන පිළිබඳව පැමිණිලි සිය අධිකාරියට දැනුම් දෙන ලෙසත් එම නිලධාරියා ඉල්ලා සිටියේ ය.

රතු සහල් හිඟය සම්බන්ධයෙන් මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ, මේ වන විට රට පුරා ම රතු සහල් හිඟයක් පවතින බව ත් වී තොග අවසන් වීම ඊට බලපා ඇති බව ත් ය.

එමෙන් ම, පසුගිය රජය කාලයේ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ දහය බැගින් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ දුන්නේ රතු සහල් බව ත් ඒ සඳහා එකවර විශාල වශයෙන් වී තොග ලබා ගැනීම නිසා රතු සහල් තොග අවසන් වීමට එය ද හේතු වූ බව ත් ඔහු කීය.

Related posts

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday

සමුගන්න පෙර හනා ජනපති හමුවෙයි

Admin

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

colombotoday

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි

colombotoday

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday