Colombo Today Local News

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

වල් අලි සමග සෑම දිනකම රාත්‍රියේ යුද්ධයක් කිරීමට සිදුව ඇති බවත් දුක් මහන්සියෙන් ගොවිතැන් කටයුතු සිදු කර රටේ ජනතාවගේ වගේම දරු පැටවුන්ගේ කුසගින්න පුරවන ගොවියා දෙස බලධාරින් අවධානය යොමු නොකරන බවත් වල් අලින්ගේ ප්‍රහාරයක් හමුවේ ඉදිරියෙදි මෙහෙම ගියොත් ගොවීන්ට මැරෙන්න සිදු වේවි යැයි වල් අලි උවදුරින් බැට කන අනුරාධපුර දිස්ත්‍රිකයේ ගම්වාසීහු පවසති.

මේ දිනවල මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, කහටගස්දිගිලිය, හොරොව්පොතාන සහ තන්තිරිමලේ, විලච්චිය යන ප්‍රදේශවල ගම්මාන 750 ට ආසන්න ගොවි පවුල් මෙලෙස වන අලි උවදුරින් පීඩාවට පත් වෙමින් සිටිති. දිනෙන් දින මෙම ප්‍රදේශවලට එල්ල වන වල් අලි ප්‍රහාර උග්‍ර වන බවයි ගොවීන් පවසන්නේ. මේ දින වල අනුරාධපුර දිස්ත්‍රිකයේ ගොවීන් දුක්බර කටුක මාස තුනක් පසු කර වී අස් වැන්න නොලා ගබඩා කරන කාලයයි. එසේ නිවාස වල ගබඩා කර ඇති වී ආහාරයට ගැනීමට වල් අලි රාත්‍රි කාලයේදී ගම් වදිමින් පවති. එසේ ගම් වදින වල් අලි නිවාස බිද දමමින් රාත්‍රිය පහන් කිරීමට කටයුතු කරන බවත් එම ප්‍රදේශවල සිටින වන ජීවි කාර්යාල වලට මේ පිළිබඳ ගම්වාසීහූ දැණුවත් කළත් නිලධාරින් පවතින කොවිඩ් වසන්ගතය සහ සංචරණ සීමා හමුවේ පැමිණීමට නොහැකි බව පවසන බව ගොවීහු වැඩි දුරටත් කියති.

මේ පිළිබඳව අපවෙත අදහස් දැක්වූ ටී.එම්.ඩී නන්දාවතී මහත්මිය,

“අනුරාධපුර දිස්ත්‍රික්කයේ , කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයට අයත් කහටගොල්ලෑව ගමේ මම ඉන්නේ. පසුගිය 19 දින රාත්‍රියේ හා ඊට පෙර දින රාත්‍රියේ (18) , එක දිගටම වල් අලි ප්‍රහාර මගේ ගෙදරට එල්ල වුණා. ඒ පහරදීම් හමුවේ මගේ නිවස අර්ධ වශයෙන් හානි වුණා. ගේ ඇතුලේ තිබුණු වී ආහාරයට ගැනීමටයි අලියා ගේ කැඩුවේ. මෙම නිවසෙහි මම තනිවම ජීවත්ව වෙන්නේ. මට වයස අවුරුදු 60ක් වෙනවා. හැමදාමත් අලිත් එක්ක දුක් විදිනවා . ගම්වාසීන් විසින් මෙම වල් අලි තර්ජන පිළිබදව බලධාරීන්ව දැනුවත් කළා. මමත් කිව්වා. එයට කිසිදු පිලියමක් මේ වෙන තෙක් ලැබුණේ නැහැ. දින කිහිපයක් යන තුරු කිසිදු වනජීවී නිලදාරියෙක් මෙය බැලීම සදහාද පැමිණියේ නැහැ.”

මේ පිළිබඳව අපවෙත අදහස් දැක්වූ එම් කරුණාරත්න ගොවි මහතා,

“මම මැදවච්චිය ළිදවැව ගම්මානයේ ජීවත් වෙන්නේ. අපිට හවස 4.00 පහ වෙද්දි වල් අලි එක්ක යුද්ධ කරන්න වෙලා තියෙනවා. අපි ගොඩ බෝග , වී ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සු. දුක් මහන්සියෙන් ගොවිතැන් කරලා අපි අපේ රටේ ජනතාවගේ වගේම දරු පැටවුන්ගේ කුසගින්නයි පුරවන්නේ. අපිට හැමදාමත් දුකමයි උරුම. අපිටත් පරම් පරාවෙන් පරම්පාරාවට රජ කම උරුම වෙනවා වාගේ වල් අලියෙකුගේ ප්‍රහාරයක් හමුවේ ඉදිරියෙදි මෙහෙම ගියොත් මැරෙන්නයි වෙන්නේ.”

“අපි බලධාරින්ට කියනවා. ඒත් වැඩක් නෑ. එයාලා එන්නේ නෑ ඒවා බලන්න. හැමදාම අලි ඇවිත් ගෙවල් බිදලා වී කනවා. අපි පැල් වල අලි එක්ක යුද්ධ කරනවා. ගෙදර අය ගෙදර ඉදලා රෑ එළි වෙනකම් අලි එක්ක යුද්ධ කරනවා. මෙයට සාධාරණ විසදුමක් කඩිනමින් ලබා දෙන්න කියලයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.”

අප ජනතාව නගන චෝදනාව පිළිබඳ අනුරාධපුර වන ජීවි කාර්යාලයෙන් විමසීමක් කළා, එහිදී අදහස් දැක්වූ ඩබ්ලිව් . එම්. රංජිත ධර්මබන්දු මහතා,

“අපිට ලැබිලා තියෙන මේ ප්‍රදේශය විශාලයි. එහි නිරන්තර අලි ප්‍රහාර අපට වාර්ථා වෙනවා. ඒ වාර්තා වෙන හැම තැනකටම අපි යනවා. විලච්චියේ අපි ඉද්දි කැබිතිගොල්ලෑවෙන් රාත්‍රි කාලයේ කතා කරනවා අලි ඇවිත් කියලා. නමුත් අපට ඒ අය කියන ඉක්මනින් එම ප්‍රදේශ වලට ලගා වෙන්න බෑ. දුර වැඩියි වගේම අපට කාර්යය මණ්ඩල හිගයක් පවතිනවා. නමුත් අපි මේ සිදුවීම් සිදු වන සෑම තැනකටම යනවා. දිනයක් දෙකක් කල් යන්න පුලුවන්. නමුත් අපි සෑම තැනකටම යනවා.”

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජූලි මාසයට අදාළ මුදල් බැර කෙරේ…

Admin

නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ අතරමංවූ දැරිය දින පහකට පසු හමුවෙයි

colombotoday

සුඩානයේ කාටොන් නගරයෙන් ලංකිකයින් 13 ක් ඉවත්කර ගනී

Admin

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

මැලේසියා කොටි ඩයස්පොරාව ශ්‍රී ලංකා තානාපතිට පහරදුන් හැටි (CCTV) VIDEO

colombotoday