Colombo Today Local News

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

central bank 2

ශ්‍යාම් නුවන් ගනේවත්ත

සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාවට ඇති විශාලතම විශ්‍රාම අරමුදලයි. 1958 අංක 15 දරණ අර්ථසාධක අරමුදල් පනත යටතේ සේවක අර්ථසාධක අරමුදලේ භාරකාරත්වය මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට පවරා තිබේ. කම්කරු කොමසාරිස්‌වරයා කරනු ලබන්නේ එම අරමුදලේ සාමාන්‍ය පරිපාලනයයි. ගිය වසර (2015) අග වනවිට එම අරමුදලේ වටිනාකම රු. බිලියන 1664.9 ක්‌ විය. ගිය වසර අග වනවිට අරමුදලේ පැවති මුළු සාමාජික ගිණුම් ගණන මිලියන 16 ක්‌ වූ අතර, ක්‍රියාකාරීව පැවති සාමාජික ගිණුම් ගණන මිලියන 2.4 කි. එනම් විසිහතර ලක්‌ෂයකි. මේ නිසා ලක්‌ෂ සංඛ්‍යාත පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාවට හිමිකම ඇති මේ අරමුදලේ ආරක්‌ෂාව සහ එම අරමුදලේ ප්‍රතිලාභ ඉතා වැදගත් වේ. එහෙත් දැන් දැන් මහ බැංකුවේම ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබෙන්නේ “බැඳුම්කර මගඩිය” ලෙස ප්‍රකට මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාවලට, මහ බැංකුව යටතේම ඇති සේවක අර්ථසාධක අරමුදලත් සම්බන්ධ කරගෙන ඇති බවකි. මෙය ඉතා බරපතළ චෝදනාවක්‌a වන අතර මේ හරහා අරමුදලේ සාමාජික ප්‍රජාවට හිමි පොලී ප්‍රතිලාභවලට අහිතකර බලපෑම් සිදු වෙමින් පවතින බවද කියති. මහ බැංකුවේම ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇති පරිදි zබැඳුම්කර හොරුZ අර්ථසාධකේටත් අතගසා ඇති අයුරු අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

සේවක අර්ථසාධක අරමුදලද රජයට ණය ලබා ගන්නා ප්‍රධානතම මූලාශ්‍රයකි. ඒ අනුව සේවක අරථසාධක අරමුදලේ මුදල්, භාණ්‌ඩාගාර බැඳුම්කරවල ද අයෝජනය කරනු ලබයි. එම අරමුදලේ සුරක්‌ෂිතතාව සඳහා එම මුදල් වැඩි වශයෙන්ම ආයෝජනය කරන්නේ ද රජයේ සුරැකුම්පත් වලය. 2015 වසර අග වනවිට සේවක අර්ථසාධක අරමුදල සිදු කර තිබූ සමස්‌ත ආයෝජනය රු. බිලියන 1604.2 කි. ඒ අනුව අර්ථසාධක අරමුදල විසින් එහි සමස්‌ත ආයෝජනයෙන් සියයට 92.7 ක්‌ම රජයේ සුරැකුම්පත්වල අයෝජනය කොට තිබුණි. මේ ආයෝජනය වෙනුවෙන් අර්ථසාධක අරමුදලට පොලී ආදායමක්‌ ලැබෙන අතර එම පොලී ආදායමෙන් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් ප්‍රතිලාභ ලබයි. මෙකී පොලී ආදායම වූ කලී අර්ථසාධක අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. දැනට චෝදනා එල්ල වී ඇති බැඳුම්කර අක්‍රමිකතා නිසා මේ පොලී ආදායමට අහිතකර බලපෑමක්‌ සිදුවන බවටත්, ඒ හරහා අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ ප්‍රතිලාභ අඩුවීමට එය බලපානු ඇති බවටත් චෝදනාවක්‌ එල්ල වී තිබේ.

මහ බැංකුවේ ආරංචි මාර්ගවලට අනුව මෙය සිදුවන්නේ කෙසේ දැයි මීළඟට අපි පැහැදිලි කර ගනිමු. අර්ථසාධක අරමුදලද, මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී එම බැඳුම්කර මිලදී ගැනීම සඳහා කිසියම් පොලී අනුපාතයක්‌ යටතේ ලංසු ඉදිරිපත් කරනු ලබයි. එහෙත් මේ වනවිට නිරීක්‌ෂණය වී ඇති එක්‌තරා සුවිශේෂී තත්ත්වයක්‌ වන්නේ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර මිලදී ගැනීම්, ප්‍රාථමික වෙළෙඳපොළට (ඡරසප්රහ ඵ්රනැඑ) වඩා ද්විතියික වෙළෙඳපොළෙන් (Seජදබාaරහඵ්රනැඑ) සිදුවන බවයි. මහ බැංකු ආරංචි මාර්ග අනුව මේ වසරේ (2016) ජනවාරි මාසයේ දී අර්ථසාධක අරමුදල ප්‍රාථමික වෙළෙඳපොළෙන් රු. බිලියන 16 ක භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා විට එම මාසයේදීම ද්විතියික වෙළෙඳපොළෙන් රු. බිලියන 29.4 ක භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගෙන තිබේ. මාර්තු මාසයේ දී හැර පෙබරවාරි සහ අප්‍රේල් මාසවලදී ද අර්ථසාධක අරමුදල ප්‍රාථමික වෙළෙඳපොළට වඩා සැලකිය යුතු වැඩි ප්‍රමාණයක භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගෙන තිබෙන්නේ ද්විතියික වෙළෙඳපොළෙනි. (මේ සමඟ ඇති වගුව බලන්න.) යම් ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් වැඩි පොලියට ප්‍රාථමික වෙළෙඳපොළෙන් ගත් බැඳුම්කර, ඊට වඩා සාපේක්‌ෂව අඩු පොලියට ද්විතියික වෙළෙඳපොළේ දී අර්ථසාධක අරමුදල විසින් මිලදී ගතහොත් සිදුවන්නේ කුමක්‌ද ? එවිට සිදුවන්නේ මුලින් කී ප්‍රාථමික නියෝජිත ආයතනය දින කිහිපයක්‌ ඇතුළත අති විශාල ලාභයක්‌ ලැබීමට අමතරව අර්ථසාධක අරමුදලට සාපේක්‌ෂව අඩු පොලී ප්‍රතිලාභයක්‌ ලැබීමයි. අභ්‍යන්තර තොරතුරු (ෂබිසාe ෂබදෙරප්එසදබ) ලබාදීම හරහා ප්‍රාථමික වෙළෙඳපොළේ දී අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ලංසු ප්‍රතික්‌ෂේප වීමට ඉඩ සලස්‌වන බව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති තවත් චෝදනාවකි. ඒ අනුව අර්ථසාධක අරමුදල ඉදිරිපත් කරන පොලී අනුපාතයට වඩා සුළු වශයෙන් අඩු පොලී අනුපාතයකට වෙනත් ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා වැඩි ප්‍රමාණයක්‌ ලංසු ඉදිරිපත් කළහොත් වන්නේ කුමක්‌ද ? එවිට වන්නේ බැඳුම්කර ලංසු පහළ පොලී අනුපාතයේ සිට ඉහළට මහ බැංකුව විසින් පිළිගැනීමේ දී එම ප්‍රාථමික නියෝජිත ආයතනයට ඉහළ පොලියට වැඩි බැඳුම්කර ප්‍රමාණයක්‌ හිමිකර ගැනීමට අවකාශ ලැබීමයි. මේ නිසා මහ බැංකු අධිපතිවරයා කොතෙක්‌ කීවත් මේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි වලදී තීරණය වන පොලිය තනිකර වෙළෙඳපොළ බලවේග මඟින් වෙළෙඳපොළ මඟින්ම තීරණය වූ පොලියක්‌ය යන්න පිළිගැනීමට අපහසු කරුණකි. ලංසු ඉදිරිපත් කරන වටිනාකම් හා පොලී අනුපාත මෙන්ම, එම ඉදිරිපත්ව ඇති ලංසු වලින් කෙතරම් ලංසු ප්‍රමාණයක්‌ පිළිගන්නේද යන තීරණයන් මත මේ බැඳුම්කර පොලී අනුපාත තීරණය වේ. මේ පසුබිම තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය තුළ ප්‍රාථමික නියෝජිතයන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ සාධාරණ තරගයකට නොවන බවද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් පෙන්වා දෙන කරුණකි.

පසුගිය මාර්තු 29 සහ 30 යන දින දෙකේදී සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙකේදී සිදුව ඇත්තේ කුමක්‌ද ? මුලින්ම මාර්තු 24 දින වෙන්දේසිය සඳහා ලද සියලු ලංසු ප්‍රතික්‌ෂේප කළ බව කිය යුතුය. ඉන් පසු මාර්තු 29 දින රු. බිලියන 40 ක්‌ ගන්නා බවට දැන්වීම් පළ කර රු. බිලියන 77 ක වටිනාකමක්‌ සඳහා වන භාණ්‌ඩාගාර බැඳුම්කර පිළිගැනීමට මහ බැංකුව කටයුතු කළේය. ප්‍රශ්නය වන්නේ අපට ලැබෙන ආරංචි අනුව එම වෙන්දේසියේ දී අර්ථසාධක අරමුදලට රු. බිලියන 2.5 ක වටිනාකමක බැඳුම්කර හිමි වනවිට තවත් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයකට රු. බිලියන 26 ක වටිනාකමක්‌ සඳහා බැඳුම්කර හිමි වීමයි. එසේම මාර්තු 30 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී මහ බැංකුව රු. බිලියන 21 ක වටිනාකමක්‌ සඳහා වන බැඳුම්කර ලංසු පිළිගත්තේය. ඉන් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක රු. බිලියන 15 ක්‌ වටිනාකමක්‌ සඳහා වන බැඳුම්කර ලංසු පිළිගන්නා විට අර්ථසාධක අරමුදලට කිසිඳු බැඳුම්කරයක්‌ හිමිව නැති බවද කියති. අප මේ වටිනාකම් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් ලැබෙන තොරතුරු අනුවය. මහ බැංකුවේ මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට මේ තොරතුරු නිසි පරිදි ලැබෙනවාදැයි අපට සැක සහිතය. දැන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි පිළිබඳ සවිස්‌තර වාර්තාවක්‌ සෑම මාස තුනකට වරක්‌ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි. මුදල් මණ්‌ඩලයට හැකි වන්නේ ඔවුන්ට මහ බැංකුවේ අදාළ අංශවලින් ලැබෙන තොරතුරු ඉදිරිපත් කිරීමට පමණකි. එහෙත් මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පමණින් දැනට චෝදනා එල්ලවී ඇති අක්‍රමිකතා වැළක්‌වීමක්‌ සිදුවනු ඇතැයි කිසිවිටෙකත් අපේක්‌ෂා කළ නොහැකිය.

මේ වන විට චෝදනා එල්ල වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ලංසු පිළිගත් ආකාරය පිළිබඳ තොරතුරු මුදල් මණ්‌aඩලයට ඉදිරිපත් කර තිබුණත් අපට දැනගැනීමට ඇත්තේ අදාළ ප්‍රාථමික නියෝජිත ආයතනවල නම් ඉදිරිපත් නොකර ඒවා A සිට Q දක්‌වා ඉංගී්‍රසි අක්‌ෂර වලින් නම් කරමින් ඉදිරිපත් කර ඇති බවයි. අපට ඇති ආරංචි අනුව තත්ත්වය එයාකාර බැවින් මහ බැංකු මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් ලැබෙන තොරතුරුවලට වඩා වැඩි තොරතුරු ඇතැම් විට මේ ගැන ලියෑවෙන පුවත්පත් ලිපි කියවීමෙන් ලබාගත හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ඇතුළු මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට අපි කියා සිටිමු. අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන්ට මේ ලිපියද කියවීම ප්‍රයෝජනවත් විය හැකිය.

මීළඟ බරපතළ කාරණය වන්නේ ඉහතින් සඳහන් කළ පරිදි ප්‍රාථමික වෙළෙඳපොළේ දී ඉහළ පොලියකට වැඩි ප්‍රමාණයක්‌ බැඳුම්කර හිමිවූ ප්‍රාථමික නියෝජිත ආයතනය හරහා ද්විතියික වෙළෙඳපොළේ දී සාපේක්‌ෂව අඩු පොලියකට අර්ථසාධක අරමුදල විසින් එම බැඳුම්කරම මිලදී ගන්නා බවට එල්ල වී ඇති චෝදනාවයි. මේ අනුව 2016 මාර්තු 29 සහ 30 යන දින දෙකේදී පැවැති වෙන්දේසිවලින් දින කිහිපයකට පසුව අදාළ ප්‍රාථමික නියෝජිතායතනයෙන් රු. බිලියන 10 ක්‌ වටිනා භාණ්‌ඩාගාර බැඳුම්කර ද්විතියික වෙළෙඳපොළේ දී අර්ථසාධක අරමුදල විසින් මිලදි ගෙන ඇති බවද කියති. මේ තුළින් එම ඉතා වාසනාවන්ත ප්‍රාථමික නියෝජිතායතනයට දින කිහිපයකින් අති විශාල (අයුතු) ලාභයක්‌ උපයා ගැනීමේ වාසනාව උදා වූ බවත් එම ලාභය රු. බිලියන තුනක්‌ (රු. කෝටි තුන්සියයක්‌) පමණ වන බවට ගණනය කර ඇති බවත් අපට දැනගැනීමට තිබේ. මේ අක්‍රමිකතා නිසා අර්ථසාධක අරමුදල ලැබීමට හිමිකම් ලබන්නේ සාපේක්‌ෂව අඩු පොලියකි. ඒ තත්ත්වය පොලී ආදායම අඩුවීම හරහා අර්ථසාධක අරමුදලේ සියලුම සාමාජිකයන්ට කිසියම් අලාභයක්‌ සිදු කරයි. ‘බැඳුම්කර හොරු’ අර්ථසාධකේට අතගසා ඇත්තේ ඔය ආකාරයටය. මේ සියල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල මතය කෙටුම්පත් කරන රචකයන්ද නොදන්නවා නොවේ. එහෙත් අප මේ කියන කරුනු වල ඇත්ත නැත්ත සොයා බලන ලෙස (වුවනාවක්‌ ඇත්නම්) අපි ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ඇතුළු මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට කියා සිටිමු.

දිවයින

Related posts

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

colombotoday

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

15 හැවිරිදි දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවි හතරක් තහනම් කරයි

colombotoday