‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට ඉඩම්, පොලිස් බලතල ලැබුණොත් ඒවා කෙසේ යොදා ගනීවිද?‘
‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියා පවසන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට නව ව්‍යවස්ථාවකින් ඉඩම්, පොලිස් බලතල, පූර්ණ පළාත් රාජ්‍ය සේවා කොමිසමක්, ප්‍රඥප්ති සැදීමේ බලය වෙනුවට නීති හැදීමේ බලය සමඟ පරමාධිපත්‍ය බලය ද ලබා දුන්නොත් ඒවා අනිවාර්යෙන්ම ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් යොදා ගනු ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
එසේ තිබියදී නව ව්‍යවස්ථාවෙන් ඉහත බලතල ලබා දීමට අදාළ නිර්දේශ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාවේ’ ඇතුළත් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
‘රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?’ යන මැයෙන් හංවැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී දේශනයක් පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ අදහස් දැක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“අපේ මව් පොළොව ඉදිරියේ තියුණු අභියෝගයක්, අන්තරායක් මතු වන සෑම අවස්ථාවකම ඉතිහාසය විසින් මේ විදියට එකතු වන ලෙස අපට බල කරනවා. නිසි ලෙස හඳුනානොගත්තොත් අප ඉදිරියේ වන කිසිදු අභියෝගයක් පරාජයට පත්කිරීමට බැහැ.
මේ දිනවල රූපවාහිනී, පත්තර බලපුවාම මේ රට ඉදිරියේ තිබෙන බරපතළම අභියෝගය ලෙස අපට දැනෙන්නේ, හැඟෙන්නේ කුමක්ද? වාහන දඩ මුදල් වැඩි කිරීමද? අන්තර්ජාලයට පිවිසීමේදී 25%ක අමතර මුදලක් ගෙවීමට සිදුවීමද? මුදල් ඇමතිතුමානම් කියනවා මේ 25% වැඩී වීම සිදු කළේ ‘තරුණ තරුණියෝ ‘Viber’ සහ ‘WhatsApp’වලින් Chat කරන නිසා කියලා.(සභාවේ සිනා) ‘ශ්‍රී පාද අඩවියේ හෝටලයක් හදනවා’ කියන කතාවද? ‘උතුරේ මිය ගිය කොටි සාමාජිකයන් යාපනය විශ්ව විද්‍යාලය තුළ පහන් පත්තු කරලා සමරනවා. මේ දිනවල වේළුපිල්ලේ පිරබාහරන්ගේ පින්තූරය සහිත පත්තර කොටහේනේ කඩවල විකුණන්න තිබෙනවා’ කියන එකද? අගමැතිවරයා මහ මොළකරු ලෙස සිදු කළ බැඳුම්කර වංචාවද? රට හමුවේ වන තියුණුම අභියෝගය හැර අනෙක් සියල්ලම අද මේ විදියට සමාජය තුළ සංවාදයට භාජනය වෙනවා. එහෙම නම් රට හමුවේ වන තියුණුම අභියෝගය කුමක්ද? ඒ තමයි, රටේ මූලික නීතිය කණපිට හැරවීමට සූදානම් වීම හෙවත් රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැටවීමට යාම.
‘රටේ මූලික නීතිය වෙනස් කිරීම’
රටක මූලික නීතියට අත තියලා හදන අවුල කිසිදාක ලෙහෙසියෙන් නිවැරදි කරන්න බැහැ. 1976 වඩුකොඩෛයි සමුළුවේදී, තිම්පු සාකච්ඡාවලදී දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලි ටික ඉල්ලපු ඉල්ලීම් ටික අපි හොඳින් දන්නවා. වේළුපිල්ලේ පිරබාහරන්ට කලින් බිහිවුණු මේ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය සැමදා ඉල්ලන්නේ උතුරු- නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ ස්වයං පාලනයක්. අද යුද්ධ කරලා ත්‍රස්තවාදීන් ඉවර කරපු නායකයාට ‘හොරා’ කියනවා. උතුරේදී ත්‍රස්තවාදියාව ‘වීරයා’ කොට සමරනවා. 2015 ජනවාරි 08 වැනිදා ලැබුණු ‘වෙනස’ එයයි. 2009 මැයි 18 වැනිදා ත්‍රස්තවාදය ඉවර කළාට දෙමළ ජාතිවාදී, බෙදුම්වාදය දේශපාලනිකව, මතවාදීව ඉවර වුණේ නැහැ. දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය විසින් අලුත් පරම්පරාවේ ඔළුවලට ඇතුළත්කර තිබූ ජාතිවාදී විස, හරණය කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු විය යුතුව තිබුණා. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය යුද්ධයෙන් පසුව සිදු වෙමින් තිබියදී තමයි, මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලිවල සහයෝගයෙන් රනිල් – මෛත්‍රී හවුල බලයට ආවේ. ඒ නිසා මේ පාලනය අලුත් පරම්පරාවේ ඔළුවලට ඇතුළත්කර ඇති ජාතිවාදී විස හරණය කරනවා වෙනුවට විස වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක නිරතව සිටිනවා. එහි තීරණාත්මක පියවරක් ලෙස තමන්ට බලයට එන්න උදව් කරපු දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලි ඉල්ලන දොල පිදේනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස ගෙන එන්න තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයලා කඩිනමින් කටයුතු කරමින් ඉන්නේ.
‘නව ව්‍යවස්ථාව කඩිමුඩියේ හැදෙන හැටි’
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරලා, 2017 මාර්තු මාසයට පෙර ජනමතවිචාරණයට දමලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන්න සියල්ල සූදානම්කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිර්දේශ ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අනුකමිටු 06ක් හැදුවා. ඒ අනුකමිටු 06 පසුගියදා තමන්ගේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වාර්තා පිළිබඳව විවාද කිරීම 2017 ජනවාරි 09 වැනිදා සිට දින තුනක් ඇතුළත අවසන් කළ යුතුයි. ඊට පසුව ඒ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තිබෙන මෙහෙයුම් මණ්ඩලයට යවනවා. එතැනදී අවශ්‍ය නම් පමණක් වෙනස්කම් සිදු කරනවා. නැත්තම් ඒ අනුකමිටු වාර්තාවල ඇතුළත් නිර්දේශවලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හදලා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට තුනෙන් දෙකක් ලැබුණා කියලා හිතමු. ඊට පසුව ඒ කෙටුම්පත, කැබිනට් අනුමැතියටත් ගිහින් අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහින් ආපසු අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට ඒවි.
‘මධ්‍යම- පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාව’
2017 ජනවාරි 09,10 හා 11 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන්නේ ඉහත කී අනුකමිටු 06 විසින් සිය නිර්දේශ ඇතුළත්කොට සැකසූ වාර්තා 06 පිළිබඳවයි. මේ අනුකමිටු 06 අතුරින් සාමාන්‍ය පුද්ගලයකුට තේරුම්ගත නොහැකි නමක් ඇති අනුකමිටුවක් තිබෙනවා. ඒ තමයි ‘මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාව. මේක ‘බලය බෙදීමේ නිර්දේශ ඇතුළත් අනුකමිටු වාර්තාව’ ලෙස නම් කළා නම් කාගෙත් අවධානය යොමු වෙනවා. නමුත් කොළේ වහලා ඉහත කී නම දමලා තිබෙනවා. මේ වාර්තාවේ තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර බලතල බෙදී යන ආකාරය පිළිබඳවයි. මේ වාර්තාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක වුණොත් මධ්‍යම ආණ්ඩුව වාෂ්ප වෙනවා, පළාත් සභාව පූර්ණ බලැති ආයතනයක් බවට පත් වෙනවා.
‘සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම’
චන්ද්‍රිකාගේ පැකේජය හදපු නීතිඥ ජයම්පති වික්‍රමරත්න තමයි රනිල් වික්‍රමසිංහගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ඉල්ලාගෙන ඇවිත් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ආකාරයට මේ වාර්තාව හැදුවේ. ජයම්පති වික්‍රමරත්න කියන්නේ එන්ජීඕ කාක්කෙක්. උන්නැහේට මේ වැඬේ කරනවාට බටහිර රටවලින් මුදල් ලැබෙනවා. මේ වාර්තාවෙන් නව ව්‍යවස්ථාව සඳහා ප්‍රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කරනවා. එකක් තමයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව යන දෙකටම අයත් විෂයන් හෙවත් බලතල තමයි මෙහි අන්තර්ගත වූයේ. සමගාමී ලැයිස්තුව ඉවත් කළාම සමගාමී ලැයිස්තුවේ තිබූ විෂයන් සියල්ලම පළාත් සභාවට ලැබෙනවා. දැන් සමගාමී ලැයිස්තුවේ ඇති විෂයන්ට අදාළව පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන්. නමුත් නව ව්‍යවස්ථාවෙන් ඒ බලය පාර්ලිමේන්තුවට අහිමි වෙනවා.
‘ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් කිරීම’
ඊළඟට මේ වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා ‘මධ්‍යම ආණ්ඩුව සතු ජාතික ප්‍රතිපත්ති සෑදීමේ බලය ඉවත් කරන්න. එහෙම වුණොත් ජාතික ප්‍රතිපත්ති හදන්නේ කවුද? නව ව්‍යවස්ථාව සම්මත වුණොත් මධ්‍යම ආණ්ඩුවක් නමට තිබෙයි. නමුත් ඒකට ජාතික ප්‍රතිපත්ති හදන්න බැහැ. පළාත් ඒකක 05ක්, 07ක් හෝ 09ක් නිර්මාණය වේවි. ඒවා පළාතට අදාළව වෙන වෙනම ප්‍රතිපත්ති සකස් කරමින් එකිනෙකින් ස්වායක්තව පවතීවි.
‘පරමාධිපත්‍ය බලය බෙදීම’
මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ වශයෙන් කොටස් තුනකට බෙදා තිබෙනවා. විධායක බලය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා විසිනුත් ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා විසිනුත් අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහාත් ක්‍රියාවට නංවනවා. දැනට පවතින රටේ මූලික නීතිය අනුව ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවෙන්නේ එහෙමයි. දැන් මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා, ‘පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පමණක් නොව පළාත් සභාව හා ප්‍රාදේශීය සභාව අතර ද බෙදී යා යුතුයි’ කියලා. මේ හදන්නේ පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට පරමාධිපත්‍ය බලය දෙන්නද? නැහැ. මෙතැන තිබෙන්නේ බෙදුම්වාදී උවමනාවක්. ඉන්දුනීසියාවෙන් නැඟෙනහිර ටිමෝරය වෙන් වී ගියාට පසුව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පැවරුවා. නමුත් එහිදී ජාත්‍යන්තර අධිකරණය විසින් තීන්දු කළා ‘නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාව යටතේ පාලනය වන විට එයට පරමාධිපත්‍ය බලය තිබුණා. ඒ නිසා නැඟෙනහිර ටිමෝරය වෙනම රටක් ලෙස පිළි ගන්නවා’ කියලා. ඒ අනුව යමින් අනාගතයේදී පිහිටුවනු ලබන උතුරු- නැගෙනහිර පළාත් සභාවටත් පරමාධිපත්‍ය බලය දෙන්න ඕනෙ. එවිට තමයි කවදාහරි උතුරු – නැඟෙනහිර පළාත් සභාවටත් ජාත්‍යන්තර නීතිය හමුවේ අභියෝග කරලා වෙනම රටක් හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ නිර්දේශය ක්‍රියාත්මක වුවහොත් පළාත් සභාවට සහ ප්‍රාදේශීය සභාවලට පරමාධිපත්‍ය බලය ලැබෙනවා වගේම පළාත තුළ ප්‍රාදේශීය සභා, පළාත් සභාවට යටත් කෙරෙනවා.
‘දිස්ත්‍රික් ලේකම් පළාත් සභාව යටතට’
මෙතෙක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු වෙනත් ඉහළ පරිපාලන නිලධාරීන් කටයුතු කළේ මධ්‍යම ආණ්ඩුව යටතේයි. නමුත් ඉහත කී අනුකමිටු වාර්තාවෙන් නිර්දේශ කරනවා, මේ නිලධාරීන් පළාත් සභාව යටතට ගැනීමට. ඒ අනුව රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය මුළුමනින්ම පළාත් සභාව අතට යනවා. රාජ්‍ය සේවයේ දීපව්‍යාප්ත සේවාවන් රැසක් කපා හැරලා ඒවා පළාත් සභාවට පැවරීම, පූර්ණ බලැති පළාත් රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීම ආදී නිර්දේශයන් ද මෙහි අඩංගුයි.
‘ඉඩම් සියල්ල පළාත් සභාවට’
ඉඩම් සියල්ල පළාත් සභාව යටතට පත් කිරීමත් මෙහි ඇති තවත් එක් නිර්දේශයක්. නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය වැනි රජයේ ආයතන සතු ඉඩම් ද මේ අනුව පළාත් සභාවට හිමි වන බව මෙහි සඳහන්. අද උතුරේ පන්සල් ඉවත් කරන්න කතා කරන උතුරු පළාත් සභාව මේ ආකාරයට ලැබෙන ඉඩම් බලතල ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පාවිච්චි නොකර ඉඳීවිද?
‘පොලිස් බලතලත් දෙනවා’
පළාතට අදාළ පූර්ණ පොලිස් බලතල පළාත් සභාවට ලබාදීමටත් මෙමගින් නිර්දේශ කරනවා. මහ ඇමතිවරයා විසින් තමයි පළාත් පොලිස් කොමිසමේ සාමාජිකයන් පත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ‘පළාත් පොලිස් ප්‍රධානියා හෙවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද? කියා තීරණය කරන්නෙත් මහ ඇමතිවරයා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියාත්මක කළ යුත්තේ මහ ඇමතිවරයාගේ නිර්දේශයි. එහෙම වුණාම පුංචි හොඳක් තිබෙනවා. පොලිස්පති පූජිතව වැඩක් නැති වෙනවා. මහ ඇමතිවරයාගේ නිර්දේශ අනුවනේ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු කටයුතු කරන්නේ (සභාවේ සිනා). මෙවැනි නිර්දේශ අඩංගු නව ව්‍යවස්ථාවක් ආවාම උතුරු පළාත් සභාවට ලැබෙන මේ ඉඩම්, පොලිස් බලතල හා රාජ්‍ය පරිපාලන බලය ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් යොදා නොගෙන ඉඳීවිද?
‘පළාත් සභාවට මුදල් බලතල’
පළාත් සභාවට පරමාධිපත්‍ය බලය විතරක් නොවෙයි මුදල් බලයත් ලබා දීමට මෙම අනුකමිටු වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා. විදේශ රටවල් සමඟ ණය ගනුදෙනු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෙමගින් පළාත් සභාවට හැකි වෙනවා.
‘ජාතිවාදී නායකත්වයකට මේ බලතල සියල්ල දුන්විට…’
අද යාපනය විශ්ව විද්‍යාලය තුළ සිංහල සංස්කෘතිකාංගයක් රඟ දක්වන විට සිංහල සිසුන්ට පහර දෙනවා. ඒ වගේම පහන් පත්තු කරලා වේළුපිල්ලේ පිරබාහරන් සමරනවා. ‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියලා මහ ඇමති විග්නේෂ්වරන් පාරම්බානවා. එවැනි ජාතිවාදී නායකත්වයක් සහ බලවේගයක් සිටින පළාතකට පොලීසිය පාලනය කිරිමේ බලය, රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කිරිමේ බලය, පළාත් ඉඩම් පිළිබඳ තීන්දු ගැනීමේ බලය, විදේශ රටවල් සමඟ ණය ගනුදෙනු කිරිමේ බලය හා ප්‍රඥප්ති වෙනුවට නීති සැදීමේ බලය ලබා දුන්නාම කුමක් සිදු වේවිද?
රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මේ බලතල සියල්ල ඇතුළත් දොල පිදේනිය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලිවලට දීලා 2017 මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගිහිල්ලා ‘හොඳ ළමයා වෙන්න.’ ඒකට දැන් කඩිමුඩියේ එයා සූදානම් වෙනවා. එදා මෙවැනි බෙදුම්වාදී උවමනාවන්ට විරුද්ධව රටම පෙළගැස්වූ ජනතා විමුක්ති පෙරමුණ අද මේ ගැන හීන් කෙඳිරියක්වත් නඟන්නේ නැහැ.
2015 ජනවාරි 08 වැනිදා රැවටුණු ජනතාව නිහඬව බලා සිටියා දැන් හොඳටම ඇති. රට, ජාතිය බේරා ගැනීමට නම් මේ ද්‍රෝහී නඩයේ දේශපාලන ගමන නතර කළ යුතුයි. ඒ සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජාතිය මහ පාරට බැස්සවිය යුතුයි. ජාතිය පාරට බස්සවන්නනම් මේ විපත පිළිබඳව ජනතාවට හොඳින් තේරුම්කර දිය යුතුයි. ඒ සඳහා ධෛර්යවන්තව කැපවීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ