Colombo Today Local News

සජිත්-දෙරණ මහා යුද්ධයක්

දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සමගි ජන පලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවීම සම්බන්ධයෙන් එම නාලිකාව හා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

එම නාලිකා විසින් සිදු කරන ලද පැහැදිලි කිරීමෙන් පසු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස ආත්තනායක මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී කියා සිටියේ දෙරණ නාලිකාව සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව කුමන්ත්‍රණයක නිරත වන බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් නොකර ඇති බවත්ය.

තුන්සිය හැට වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවක් කිසිසේත්ම දැනුම් දී තහවුරු කරන් නැති බවද හෙතෙම පැවසීය.

නමුත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් දෙරණ නාලිකාව සඳහන් කරන්නේ අවස්ථා කිහිපයකදීම සජිත් ප්‍රේමදාස මහතා වැඩසටහනට සහභාගී වීම තහවුරු කරන ලද බවයි.

නමුත් ඊයේ පෙරවරුවේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් හදිසියේම ඔහු සහභාගී නොවන බවද දැනුම් දුන් බවද දෙරණ නාලිකාව කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මහතා වැඩසටහනට සහභාගී වන බවට තහවුරු කළ සාක්ෂි තමන් සතුව ඇති බවද නාලිකාව කියා සිටියි.

මේ සම්බන්ධයෙන් දෙරණ නාලිකාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ජනපති අපේක්ෂකයන් හත් දෙනකුට ‘දෙරණ විශේෂ 360’ වැඩසටහන බැගින් ලබාදෙනු ලැබුවේ අප අනුගමනය කරන සමබිම ප්‍රතිපත්තියට අනුකූලවය.

ඒ අනුව සමගි ජන බලවේග ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටද අප ඇරයුම් කර තිබුණි.

අප එම විශේෂ 360 වැඩසටහන් හත විකාශය ඇරඹුවේ සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා සිටය.

සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කිරීමෙන් පසුව ඔහුගේ උපදෙස් පරිදි ඒ මහතාගේ දිනපොත හසුරුවන ලේකම්වරයකු 360 වැඩසටහන සජීවී පටිගත කිරීමක් ලෙස සිදුකළ හැකි බව තහවුරු කරමින් සැප්තැම්බර් 17 වනදා දිනයේ ඔහුගේ දිනපොතෙහිද සටහන් කරගනු ලැබීය.

ඉන් පසුව අවස්ථා කිහිපයකදීම දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සජිත් ප්‍රේමදාස මහතා සමග දුරකථනය ඔස්සේ මෙම පටිගත කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර සැප්තැම්බර් 11 වනදා සිටම ඊට අදාළව පූර්ව ප්‍රචාරක පට විකාශය කෙරුණි.

එසේම සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සති අන්ත අරුණ පුවත්පතේ ද සජිත් ප්‍රේමදාස මහතා දෙරණ විශේෂ 360 වැඩසටහනට සැප්තැම්බර් 17 වනදා සහභාගි වන බවට අදාළ දැන්වීම් අප විසින් පළ කරනු ලැබීය.

සැප්තැම්බර් 15 වන ඉරිදා දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සමග මෙම වැඩසටහන පටිගත කිරීම සම්බන්ධව සාකච්ඡා කළ ද එම අවස්ථාවේ හෝ එකී වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බවක් හෝ අදාළ පූර්ව ප්‍රචාරක පට විකාශය වීම නවත්වන්නැයි දැනුම් නොදුන් බව අද දෙරණ වගකීමෙන් අවධාරණය කරයි.

එහෙත් ඊයේ (සැප්තැම්බර් 17) දින උදෑසන සජිත් ප්‍රේමදාස මහතා දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අමතමින් පවසා සිටියේ තමාට 360 වැඩසටහන සඳහා සහභාගී විය නොහැකි බවය.

ඒ අනුව දෙරණ මෙම වැඩසටහනට අදාළ පූර්ව ප්‍රචාරක පට විකාශය අත්හිටුවනු ලැබීය.

අනතුරුව ප්‍රේක්ෂකයන්ට වගකියන මාධ්‍ය ආයතනයක් ලෙස අප ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන්ව දැනුම්වත් කර ඊට වෙන් කර තිබූ ගුවන් කාලය ‘වාදපිටිය’ වැඩසටහනක් සඳහා කඩිනමින් වෙන් කළේය.

එවන් පසුබිමක ඉන් පැය 6 කට පමණ පසුව පස්වරු 3.55ට සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා වට්ස්ඇප් ඔස්සේ අප වෙත ලිපියක් එවමින් චෝදනා කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා 360 විශේෂ වැඩසටහනට සහභාගි වීම තහවුරු කර නොතිබූ පසුබිමක ඔහුගේ අනුමැතියකින් තොරව අප පූර්ව ප්‍රචාරක පට විකාශය කරන බවටය.

කෙසේවෙතත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අද දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් වහාම පිළිතුරු ලිපියක් වට්ස්ඇප් ඔස්සේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා වෙත යොමු කරනු ලැබීය.

එහෙත් අද දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මෙම සිදුවීමට අදාළව දෙරණ ආයතනයට එරෙහිව විමර්ශනයක් සිදුකිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බවය.

තිස්ස අත්තනායක මහතා එලෙස සිදුකරන පැමිණිල්ලක් මත විමර්ශනයක් පැවැත්වෙන්නේ නම් එම විමර්ශනයට මුහුණ දීමට දෙරණ සූදානම් බව අපි යළි යළිත් අවධාරණය කරමු.

එසේම සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර් 17 වනදා දෙරණ විශේෂ 360 වැඩසටහනට සහභාගි වීම ගැන දැනුම්වත්ව සිටි බව තහවුරු කෙරෙන සාක්ෂි දෙරණ සතුව පවතින බවද තිස්ස අත්තනායක මහතාට අපි අවධාරණය කර සිටිමු.

එසේම තිස්ස අත්තනායක මහතා පවසන ආකාරයට කිසිදු ජනපති අපේක්ෂකයකුට අමතර වාසි දීමේ ප්‍රතිපත්තියක් දෙරණ මෙම මැතිවරණ කාල වකවානුව පුරා ක්‍රියාත්මක නොකළ අතර වෙනත් ඇතැම් නාලිකා සමග සංසන්දනය කොට ඒ පිළිබඳ ස්වයං නිගමනයකට එළැඹෙන ලෙසත් අපි ඒ මහතාට සිහිපත් කරන්නෙමු.

අවසන් වශයෙන් දෙරණට සඳහන් කිරීමට ඇත්තේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අප ලබාදුන් අවස්ථාව ලබා නොගෙන පසුව අප වෙත මෙවැනි අතාර්කික ලිපි එවමින්, මෙලෙස අවලාද නගමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නම් අප තුළ ඇත්තේ අප්‍රසාදය මුසු කනගාටුවක් බවය.

Related posts

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

colombotoday

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin