Colombo Today Local News

20 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදුවීමක් සිදු වන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මාර්ගයෙන් හඳුන්වාදුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන නියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබාදී තිබු බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විගණනයන් ඉවත් කිරීම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමි වන ප්‍රතිපාදන යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව තිබෙන බව පෙත්සම්කරු චෝදනා කරයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට තිබූ අවස්ථාව යෝජිත විසිවන සංශෝධනය තුළින් යළි හඳුන්වා දී ඇතැයි ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශන කිරීමටත් තිබෙන අවස්ථාව ද යෝජිත විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළින් අහෝසි කර ඇති බවත් විගණකාධිපති තනතුර සඳහා තේරීපත්වීමට තිබිය යුතු සුදුසුකම් ද ඒ තුළින් ඉවත් කර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටී.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්ති ද උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

අය වැය පරදවන්න රහස් මෙහෙයුමක්

colombotoday

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

Admin

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday

උතුරේ බුද්ධාගම ව්‍යාප්තියට මාගේ විරෝධයක් නෑ.. මගේ ප්‍රකාශය විකෘති කරලා – ආණ්ඩුකාර සුරේන් රාඝවන්

colombotoday

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

colombotoday

වසර 59ක් දුක් වින්දේ වසර 5කින් බලය අතරින්න නෙමෙයි

Admin