Colombo Today Local News

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

යළිත් හන්තාන ගිනි ගත්තේ ඉකුත් සතිය මධ්‍යයේය. හන්තානට ගිනි තබන්නේ සත්තු දඩයම් කිරීමට බවට නුවර පුරා කතා පැතිර ගියද, ඒ යට ඇත්තේ උඩින් සිනා සී යටින් ගින්දර ගෙන යන ප‍්‍රබලයන්ගේ දැවැන්ත සැලසුම් බව දැන් කවුරු කවුරුත් දැන ගත යුතුය. ඒ වග සනාථ වූයේ මෙවර හන්තාන ගිනිතැබූ මොහොතේය.

ගින්න පැතිරෙන්නට පෙර නොවූ ඉඩම් මායිම් කණු ගින්න නිවෙන්නට ආසන්න වෙද්දි හන්තානේ අක්කර ගණනක් පුරා ගසා තිබෙනු දක්නා ලැබිණි. හන්තාන ඉඩම් අත්පත් කර ගැනීමේ කූට උපක‍්‍රමයන්හි එක් පියවරක් ලෙස කම්කරුවන්ට මුදල් ගතමනා කප්පම් දී ගිනි තැබීම සිදු කරන්නේ මේ රටේ සාමාන්‍ය දුප්පත් හෝ මධ්‍යම පාන්තික ජනතාව නොවේ. බලධාරීන් නිලධාරීන් ප‍්‍රභූන් ආදි වශයෙන් සලකන රටේ පාලන තන්ත‍්‍රයට ගොඩ වී සිටින බලවත්තුමය. දැන් ඒ වග හොඳින්ම පෙනෙන්නට ඇත්තේය.

ඒ පමණක් ද හන්තානේ ජල පෝෂක ප‍්‍රදේශවල ඇති වටිනා ගස් එක රැයෙන් බිම හෙළන්නට තරම් නොපෙනෙන ජගතෙක් හන්තානේ සැරිසරා ඇත්තේය. ඉකුත් සතියේ ඊට අදාළ සාක්ෂි සියල්ල දෑසින් දැක ගැනීමට අපට හැකි විය.

මහනුවර නගරයට ගිනිකොණ දෙසින් ගලහා නගරය දක්වා දිවෙන කඳුවැටියක් ලෙස පිහිටා ඇති හන්තාන පරිසර පද්ධතිය ගඟවට, පාතහේවාහැට, උඩපලාත, දෙල්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරා පැතිර පවතී. මහවැලි ගෙඟ් අතිශය වැදගත් වූ ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසට මෙහි බටහිර බෑවුම් ප‍්‍රදේශය හඳුනා ගෙන තිබේ. මහවැලි ගෙඟ් අතු ගංගා නිම්න වලින් එකිනෙකට වෙන්ව ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් ලෙස තුන් පැත්තකට විහිදී ගිය හන්තාන කඳුවැටිය කන්ද උඩරට සොබාදම් අනන්‍යතාවයේ ප‍්‍රමුඛයාය.

හෙක්ටයාර් එක්දහස් දෙසීයක් හෙවත් අක්කර දෙදහස් නවසිය තිස්තුනක් පමණ වන භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති හන්තාන ස්වභාවික වනාන්තරය හෙළි කර ඇත්තේ බි‍්‍රතාන්‍ය පාලන සමයේදීය. තේ කෝපි රබර් වැනි වගාවන් සඳහා හෙළි කළ මේ භූමිය පසු කාලීනව අතහැර දමා ඇති බැවින් මුඩු ඉඩම් බවටද පත්ව ඇත්තේය.

හන්තාන පහළ ප‍්‍රදේශයේ හෙක්ටයාර් හාරසිය තිස්දෙකක් වසර 1939 දී ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පවරා දී තිබේ. එය අදටත් පේරාදේණිය විශ්වවිද්‍යාලය සතු භූමියක් ලෙස ආරක්ෂිත පරිසර පද්ධතියක් ලෙස පවතී. වසර 1947 වන විට, අක්කර අටසිය පනහක භූමිය විදේශීය පාලනය යටතේ හන්තාන ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමට අයත්ව තිබූ බව කියැවේ. එම භූමිය වසර 1972 අංක 1 පනතේ ඇති ප‍්‍රතිපාදන මත රජයට පවරා ගත් බවද කියැවේ. ඒ අනුව එම කොටස ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෙවත් ඛඍක්‍ යටතට පත්ව ඇත. වසර 1952දි මාර ඇල්බීසියා සහ ඉයුකැලිප්ටස් වැනි දේශීය නොවන ශාකවගාවක් ද වසර 1980 දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පයිනස් ශාකය ඉහළ කඳු ප‍්‍රදේශය දක්වා වගා කිරීමට ද කටයුතු කර ඇත.

හන්තාන පරිසර පද්ධතියට අයත් ඉඩම්වල අයිතිය සහ පරිපාලන අයිතිය රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනත් පෞද්ගලික පුද්ගලයන්ටත් අයත්ව ඇති බවට අද වන විට සාක්ෂි ඇත. කෘෂිකාර්මික ඉඩම්වල පරිපාලනමය අයිතිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට ලබා දීමටද රජය පියවර ගෙන ඇත්තේ 1972 න් පසුවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව අවශේෂ කැලෑ ප‍්‍රමාණයක් ඇතත් එය මෙතෙක් නිවැරදිව මැන වෙන්කොට නැති බැවින් විවිධ අවස්ථාවලදී ගැටලූ පැන නැගී ඇත්තේ දේශපාලකයන් අතරය. වසර 1987 මැයි පළමුවැනි දින අංක 456/4 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අයත් නූර 39 නමැති පිඹුරට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරා දී ඇති ඉඩම් ප‍්‍රමාණය අක්කර එකසිය හතළිස් අටකි. විවිධ අවස්ථාවන්හිදී පෞද්ගලික ඉඩම් හිමියන් වෙත පවරා දී ඇති ඉඩම් ප‍්‍රමාණයද කොතැනක හෝ සටහන්ව නැති බැවින්ම හන්තාන ගොඩ වැදි තමන්ගේ ඉඩමක් බවට හන්තාන අත්පත් කරගන්නා පිරිස් එමටය.

hanthana2

ජල පෝෂක රටාව, ජල මූලාශ‍්‍ර ජෛව විවිධත්වය සහ ශාක විශේෂ තෘණ විශේෂ සත්ත්ව විශේෂ හෙවත් කෘමි පක්ෂි ක්ෂීරපායි සහ සමනලයින් ඇතුළු සොබා දහමේ අපූරු දායාද සුරැකිව තිබූ මෙම හන්තාන අද වන විට නිල බලයට ධන බලයට යට වූ මුඩුබිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

දේශපාලන අධිකාරිය හන්තානට පා තබා ඇත්තේ වසර එක්දහස් නවසිය අනූවේදීය. ඒ බව කියන්නේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහුට අයත් බව කියන අක්කර අටක හන්තාන ඉඩම ඇත්තේ හන්තාන අධි සංවේදී කලාපය හෙවත් අඩි තුන්දහසකට ඉහළ කොටසේය. ඔහුගේ ප‍්‍රකාශය අනුව අන්දිරිස් ජයසිංහ නමැත්තකුගෙන් අත්පිට මුදලට සින්නක්කර ලබා ගත් මෙම භූමිය දැන් ඔහු සතුය. ඔහු මාර්ග සංවර්ධන ඇමැතිවරයාව සිටි සමයේ මෙම ඉඩම අවට සියලූ මාර්ග කොන්ක‍්‍රීට් දමා සංවර්ධනය කර තිබෙනු දක්නට ලැබෙන්නේය. අඩි තුන්දහසකට වැඩි ඉහළ කොටසේ බැවින් එම ප‍්‍රදේශයේ ජනාවාස අදටත් නැත්තේය. අන්දිරිස්ගේ පෞද්ගලික දේපළක් ලෙස හන්තාන අධිසංවේදී කලාපයේ අක්කර ගණනක ඉඩම පැවැතියේ කෙසේද යන්න හැකි පමණ තොරතුරු සෙව් නමුත් ඒ වග පැහැදිලිව දැක ගන්නට ක‍්‍රමයක් නොතිබිණි.

එතැන් සිට වසර දෙදහස් හත තෙක් හන්තාන පාරිසරික කලාපය පාරසරික ආරක්ෂණ ක‍්‍රමවේද ඔස්සේ පැවැති අතර දෙදහස් හතේදි ප‍්‍රයිම් ලෑන්ඞ් නමැති පුද්ගලික ආයතනයක් විසින් පැමිණ ඉඩම් කට්ටි කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. පර්චස් දහය සහ පර්චස් දොළහේ කට්ටි පනස් හතක් සකසමින් හන්තාන කඳුවැටියේ අඩි දෙදහස් පන්සියයට පහළ කොටසේ බටහිර බෑවුමේ විකිණීමට ඔවුහු පියවර ගෙන තිබිණි. අදටත් පාරිසරික අනුමැතියක් නැති මෙම ඉඩම් සම්බන්ධයෙන් හන්තාන සුරැකීමේ සංවිධානය විසින් අධිකරණය වෙත ගොස් නඩුවක් ගොණු කොට තිබුණද එයද ගඟට කැපූ ඉණි සේ වීය.

හන්තාන පාරිසරික ආරක්ෂක කලාපය ලෙස හන්තාන කඳුවැටිය ගැසට් පතක් මගින් ප‍්‍රකාශයට පත් කරන්නේ වසර දෙදහස් දහයේ පෙබරවාරි දහහත් වැනිදාය.

අතිවිශේෂ ගැසට් පත නිකුත් වීමෙන් අනතුරුව හන්තාන ආරක්ෂක කළමනාකරණ කමිටුවක් පිහිටු වූ අතර එහි සභාපති ලෙස එවකට මහනුවර දිස්ත‍්‍රික් ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පත්කෙරිණි. ලේකම් ලෙස මධ්‍යම පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරයාත් සාමාජිකයන් ලෙස රාජ්‍ය වැවිලි සංස්ථාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය නොවන සංවිධානයක් වන හන්තාන සුරැකීමේ සංවිධානය සක‍්‍රිය දායකත්වය ලබා දුන්නේය. තවද ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් පරිහරණ අංශය ස්වාභාවික සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය ප‍්‍රාදේශීය සභා යන සියලූ රාජ්‍ය අංශ මෙම කමිටුවේ නියෝජිතයන් වශයෙන් සිටින්නේය. හන්තානට අත ගසන්නට නම් මේ සියල්ලන්ගේම අවසරය අවැසි විය.

ඉන් පළමුව ලාභ ප‍්‍රයෝජන ගත්තේ, කබීර් හෂීම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාය. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් ඔහු සිය දියණියගේ විවාහක ස්වාමිපුරුෂයා විසින් මහනුවර පේරාදෙණි පාරේ පවත්වාගෙන යන ලද බ‍්‍රාවෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම වෙත පවරා දෙනු ලැබිණි. හන්තාන පහේ කණුව උඩුවෙල පිහිටි මෙම ගොඩනැගිල්ල අලූත්වැඩියාව සඳහා හන්තාන කමිටු අනුමැතිය 2011 වසරේදි ලැබුණු අතර එම අනුමැතිය අවභාවිත කරමින් නාන තටාක සහිතව ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් වෙත පැමිණිලි කළද කිසිවකු විසින් ඊට ඇඟිලි නොගැසූ බවට සාක්ෂි සහිතව අදටත් කියා සිටින්නේ හන්තානසුරැකීමේ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතාය.

වසර 1986 දි හන්තාන නිවාස සංකීර්ණය හෙවත් රාජ්‍ය සේවකයන් සඳහා බද්ධ නිවාස සංකීර්ණයක් සඳහා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් අක්කර 148 ක් ඊට යටත් කොට ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබිණි. දුණුමඩලාව රක්ෂිතයට මායිම්ව හන්තාන නිවාස සංකීර්ණය ඉදිකිරීමට මෙකල නිවාස අමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මහතා අවසර දී තිබිණි. ඒ අනුව නිවාස හාරසියයක් ඉදිකිරීමට පියවර ගෙන තිබිණි. පර්චස් හයක හෝ හතකට සීමා වූ නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා ගැනීමට කටයුතු කළ අයෙකි සුජීව සේනසිංහ මහතා. ඔහු මෙම නිවාස සංකීර්ණයෙන් නිවසක් ගෙන යළි ඉදිකිරීමක් ලෙස බද්ධ නිවාස පෙළේ පාරිසරික නියමයන් නොසලකා ඉදිකිරීම් සිදු කළේ 2016 දීය. එල් යූ අකුරණ මහත්මිය හෙවත් සුජීව සේනසිංහ මහතාගේ මවගේ නමට සියලූ ලිපි ගොනු සකසමින් නිවස ඉදිකළ අතර, නිවසට පැමිණීම සඳහා දුණුමඩලාව රක්ෂිතයෙන්ම පස් කපා දුණුමඩලාව මායිම පිරවීමටත් අඩි අටක්ව තිබූ මාර්ගය අඩි පහළොවක් දක්වා පුළුල් කිරීමටත් ඔහු කටයුතු කළේ නීත්‍යනුකුල අවසරය ගෙනය. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හන්තාන සුරැකීමේ සංවිධාන ප‍්‍රශ්න කරමින් බාධා කළ බැවින් 2017 දි මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී චානක අයිලප්පෙරුම මහතා විසින් පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව වෙත පෙත්සමක් නිකුත් කොට කියා ඇත්තේ, එල්. යූ. අකුරණ මහත්මිය හෙවත් නිවසේ හිමිකරුට බාධා කරන බවය. එවකට මෙම කාරක සභාවේ සභාපතිත්වය උසුලනු ලැබුයේ සුජීව සේනසිංහ මහතාය. ඔහු පෙත්සම සලකා බලා අකුරණ මහත්මියගේ නිවස සහ අඩි පහළොවේ මාර්ගය නීත්‍යනුකූල බවට අනුමැතිය ලබා දුන්නේය.

ඉන් නොනැවතුන ඔවුහු වන සංරක්ෂණ මාර්ගය හෙවත් දුණුමඩලාව රක්ෂිත මායිමේ මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය වියදම් යටතේ සංවර්ධනය කර ඉදිකරනු ලැබීය. මේ සඳහා නගරාධිපතිවරයාගේ මැදිහත් වීමද ඇතිව දුණුමඩලාවේ හරිත වනයේ ගස් හතක් කපා දැමීමටද කටයුතු කරනු ලැබිණි. ජනතා විරෝධයක් පැන නැගුණද එය ගඟට කැපූ ඉණි සේ විය.

ඉන් අනතුරුව හන්තාන පාරිසරික කලාපය තුළ අක්කර අටක පමණ කොටසක් තිලක් මාරපන මහතාගේ සහෝදරියකගෙන් මිලදී ගන්නේ රාවුෆ් හකීම් මහතාය. සිය බිරිඳගේ නමට එම ඉඩම මිලදී ගැනීමට ඔහු පියවර ගන්නේ දෙදහස් දහහතරේදීය.

ඉන් අනතුරුව හන්තාන කඳුවැටියේ අක්කර දෙදහසක භූමියට පා තබන්නේ සංඝයා වහන්සේය. දෙදහස් අට වසරේදි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් භූමියකට වැඩම කරන සාලවනේ හිමියෝ පතනවත්තේ වැඩ සිටින්නේය. නමුත් ඉතාලි ජාතිකයෙක් ඔහුට මෙම ඉඩම අයත් බව කියමින් පැමිණි උන්වහන්සේ සමග නඩු මගට බසින්නේය. ඉතාලි ජාතිකයා ඔහු සතු යැයි කියන ලද ඉඩම කොලබිස්සේ විමලබුද්ධි හිමියෝ වෙත පවරා සාලවනේ හිමියෝ ඉන් පලවා හරින්නේය. අනතුරුව ඔප්පු සහිතව විමල බුද්ධි හිමියෝ මෙහි වැඩ සිටින්නේ ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ පුස්කොල පොත් රැක ගැනීමට ස්ථානයක් අවැසි බව කියාය.

මේ අතර හන්තාන රිච්මන්ඞ් හිල් කොටසට වැඩම කරන්නේ අතරගල්ලේ ධම්මාලංකාර හිමියෝය. උන්වහන්සේගේ එකම අරමුණ මෙහි භාවනා මධ්‍යස්ථානයක් තැනීමය. ඉකුත් දා ගිනි ගත්තේ මේ පන්සල ආශ‍්‍රිතව ඇති භූමි කොටසය. සැප්තැම්බර් පස්වැනි දින දහවල් ගින්න පැතිර ගිය අතර අක්කර අටක පමණ කොටසකට ගින්න පැතිර ගොස් තිබිණි. ගින්න නිවී යන විට ඉඩම කණු ගසා වෙන්ව තිබූ අතර හන්තාන සුරැකීමේ සංවිධානය විසින් මේ වන විට මහනුවර පොලිසිය වෙත සහ මධ්‍යම පරිසර අධිකාරිය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන හයක් වෙත පැමිණිලි කොට මේ පිළිබඳ විභාග කරන ලෙස ඉල්ලා සිටී.

යහපාලන ආණ්ඩුව සමයේ දි රජය හරිත භූමි ව්‍යාපෘතිය යටතේ වතු කම්කරු ජනතාවට පර්චස් හත බැගින් වූ ඉඩම් කැබලි හන්තානෙන් ලබා දෙන ලෙස දැනුම් දීමට අනුව ඒවකට හන්තාන වතු අධිකාරිවරයා විසින් රුපියල් 4400 මැනුම් ගාස්තු සහිතව ජනතා ලේඛනයක් සකස් කරනු ලැබුයේය. නමුත් අදවනතුරු ඉඩම් කැබලි ලබා දීමක් සිදු නොවූ අතර මේ වන විට හන්තාන වතු කාර්යය මණ්ඩලයේ නිලධාරීන්ට පර්චස් 15 ඉඩම් කැබලි ලබා දීමට පියවර ගෙන යමින් තිබෙන අතර ඒ අනුව 164 දෙනකුගේ ලැයිස්තුවක්ද සකසා තිබේ. මෙම 164 දෙනා අතරට ජනවසම ප‍්‍රාදේශීය කාර්ය මණ්ඩලය ප‍්‍රධාන කාර්ය මණ්ඩලය හන්තාන වත්ත වතු අධිකාරි ඇතුළු කාර්ය මණ්ඩලය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් කොටසක් සහ අවට වතු අධිකාරිවරු ඇතුළත්ව සිටිති. ඉහත ගිනි ගත් කොටසේ ඉඩම් කැබලි කොට ලබා දීමට සැලසුමක් තිබූ අතර මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස ගින්න පැතිර ගියේ දැයි හන්තාන සුරැකීමේ සංවිධානය සැක කරන බව එහි ලේකම්වරයා වන සේනානායක මහතා ප‍්‍රකාශ කර සිටියේය.

හන්තාන අක්කර දෙදහස තව තවත් බෙදී ඇත. වසර 2018 හන්තාන උඩුවෙල උඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමෙහි ඉඩම් අක්කර පනස් හතරක කොටසක මේ වන විට තවත් ගැටලූවක් පැන නැගී තිබේ. 54 වත්ත ලෙස හඳුන්වන මෙම භූමියෙන් අක්කර විස්සක කොටසක් ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් ඇමැතිව සිටියදි ගාල්ලේ පදිංචි කාරියවසම් මහතා වෙත පවරා ඇත්තේ හුවමාරු ඉඩමක් ලෙසය. මේ වන විට මෙම ඉඩම පර්චස් එකක් ලක්ෂ හතරක් වන මිලට ලංසු තබා ඇති අතර ඊට අදාළ දැන්වීම් ද පළකර තිබේ. ගස්කපා සුද්ද කර මුඩු බිමක් බවට පරිවර්තනය කර ඇති මෙම ඉඩම ජලමූලාශ‍්‍ර සහිත භූමියකි. අධි සංවේදි කලාපයක් වන මෙම කොටසහි වන ජල මූලාශ‍්‍ර වලින් ජලය ලබා ගන්නේ ගාල්තැන්න, රටේමුල්ල, පල්ලේගම දකුණ උඩගම නැගෙනහිර සහ බටහිර, මොණරංගල යන ප‍්‍රදේශවල වෙසෙන පවුල් දෙදහසකට වැඩි ජනතාවකි. පාතහේවාහැට ප‍්‍රාදේශීය සභාව මගින් හුණු පිහිල්ලෙන් අරඹා ඇති ජල ව්‍යාපෘතිය අළුපොතකඩ දක්වා දිවෙන්නේ ඉහත කී ජල පෝෂක කලාපයෙන් පහළට ඇද හැලෙන ජලය උපයෝගියෙනි.

මෙයට අමතරව මෙම පාරිසරික පද්ධතිය අභ්‍යන්තරයේ හුණුගල් තට්ටුවක් පැතිර පවත්නා බැවින් මෙය ආරක්ෂිත ප‍්‍රදේශයක් බවටද නම් කර ඇත්තේය. නායයෑම් අවදානමක් ඇති මෙම භූමිය හි ඉරිතැලීම් සිදුවූ වාරද එමටය. මෑත දිගන වික්ටෝරියා ආසන්නයේ සිදුවූ භූ කම්පනය තලාතුඹය දක්වා විහිද ගිය බව අපි දුටුවෙමු. හන්තාන බෑවුමේ හුණු ගල් සහිත භූගත පෙදෙස ඇත්තේ එම කොටසේය.

ඉදින් මෙවන් පාරිසරික ව්‍යසනයක් සිදුකරන්නේ කවුරුන්දැයි අපි දැන ගත යුතු වන්නේ, පරිසර පද්ධති විනාශයෙන් සිදුවන ස්වාභාවික විපත් සඳහා ප‍්‍රායෝගිකව මුහුණ දෙන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාව වන අපි නිසාය.

විශේෂ ස්තුතිය හන්තාන සුරැකීමේ
සංවිධානයේ ප‍්‍රධාන ලේකම්
අමිත් සේනානායක මහතාට 

Related posts

සියලු බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

ජනපති බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන් කියවා නෑ.. සැබෑ හොරුන් කවුදැයි සැගවීමේ තැතක් !

colombotoday

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කාන්තාවන් විවාහ කර ගැනීම තහනම්

colombotoday

කොළඹ වරායට සේන්දු වූ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව යුද අභ්‍යාසයක

colombotoday

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin