
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සංකල්පයකට අනුව පසුගිය 22 වැනි සෙනසුරාදා අනුරාධපුර රුවන්වැලි සෑ බිමේදී පවත්වන ලද සැටදහසක් චීවර පුජා කිරීමේ “සන්ඝානුභාවේන” ජාතියේ චීවර පුජාව සඳහා වාර්තාගත සැදැහැවතුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. මෑත ඉතිහාසයේ පින්කමක් සඳහා රුවන්වැලි සෑ මළුවට රැස්වූ විශාලතම සැදැහැවතුන් පිරිස එදින දැකගන්නට හැකි විය. අති විශාල ජනතා සහභාගිත්වය හේතුවෙන් තෙරපීම වැලැක්වීම සඳහා පැය කිහිපයක් යන තුරු රුවන්වැලි සෑ මළුවට ඇතුළුවන සියලු දොරටු වසා දැමීමට උඩමළුව පොලීසිය විසින් ක්‍රියාකරන ලදි.
පස්වරු 3.30 ට පමණ ශ්‍රී මහා බෝධි මළුවේ සිට පෙරහැරකින් වැඩමවාගෙන පැමිණ මහ සෑ රජාණන් වහන්සේට “කප්රුක්” පුජා කරන ලදි. ඒ පරිද්දෙන්ම පරිවාර චෛත්‍ය රාජයාණන් වහන්සේලා සතර නමට ද කප් රුක් පුජා කරන ලදි. පරිවාර චෛත්‍ය වෙත කප් රුක් පුජා කිරීම සුවිශේෂී අංගයක් විය. ඒ සාමාන්‍යයෙන් එලෙස නොකරන බැවිනි. කොරියාවේ සේවය නියුතු මේ පිංකම සඳහා දායක වූ නමුත් පිංකමට සහභාගී වීමට නොහැකි සැදැහැවතුන් සිහිකර එක් පරිවාර චෛත්‍යයක් වෙත කප් රුක් පුජා කරන ලද අතර යුරෝපයේ ජිවත් වෙන මේ පිංකම සඳහා දායක වූ නමුත් පිංකමට සහභාගී වීමට නොහැකි සැදැහැවතුන් සිහිකර දෙවන පරිවාර චෛත්‍යය වෙත කප් රුක් පුජා කරන ලදි. තෙවන පරිවාර චෛත්‍ය වෙත මේ පිංකම සඳහා දායක වූ නමුත් පිංකමට සහභාගී වීමට නොහැකි මෙරට ජිවත්වන සැදැහැවතුන් සිහිකර කප් රුක් පුජා කරන ලද අතර මේ පිංකම සඳහා දහදිය කඳුළු හෙලමින් දනය වැය කරමින් අපිරිමිත කැපකිරීමක් සිදුකල සැදැහැවතුන් සිහිකර සිව් වන පරිවාර චෛත්‍ය වෙත කප්රුක් පුජා කරන ලදි.
ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස බුද්ධානුස්සතියේ පිහිටුවනු ලැබුවේ රාජකීයපණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසිනි. ඊට පසුව මේ පින්කමේ අරමුණ පැහැදිලි කල ඒ හිමියෝ, සිංහලේ අදීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය උදෙසා ද, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ද, අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයට අයත් අපේ දූ පුතුන්ගේ නිවන උදෙසා තම නිවන පරිත්‍යාග කළ, නිදහසින් පෙර හා පසුවත් ජාතික විමුක්ති අරගලවලදී මිය ගිය අපේ රණශූර මීමුතුන්ට හා රට තුළ ඇති වූ අභ්‍යන්තර කළකෝලාහල නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම මෙන්ම විවිධ ස්වභාවික විපත් වලින් මියගිය සැමට පින් දීම සිදු කරන ලදි.
චීවර සඟ සතු කිරීම රුක්මලේ ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර රණශූර මීමුතුන්ට, අභ්‍යන්තර කළකෝලාහල නිසා ජීවිත අහිමි වූ සියලු දෙනාට, ස්වභාවික විපත් වලින් මියගිය සැමට ත් පැන් වඩා පින් අනුමෝදම් කිරීම ද උන්වහන්සේ විසින් සිදු කරන ලදි.
ඉන් අනතුරුව අටමස්ථානය වෙනුවෙන් සිදුකරන අනුශාසනාව මිරිසවැටිය විහාරාධිකාරී ශාස්ත්‍රපති ඊතලවැටුණුවැවේ ඥානරතන හිමියන් විසින් සිදු කරන ලදි.
චීවර පුජා කිරීමේ අනුසස් පිළිබඳව ත්‍රිපිටකාචාර්ය දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ විසින් දේශනයක් පවත්වන ලදි.
මාතෘ භූමියට එරෙහිව නැගී එන සියලු සතුරු බලමුළු පරාජය කිරිමටත්, කිසිදු ආකාරයක ස්වභාවික විපත්තියක් ඇති නොවී ශක්තිමත්ව දෑ සසුන් නගාසිටුවීමට අවැසි ජාතික අධිෂ්ඨානය සාදු නාද පවත්වා සිදුකරවීම සහ පුණ්‍යානුමෝදනාව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් සිදු කරන ලදි.
අනතුරුව පිරිත් සජ්ජායනය මධ්‍යයේ සැදැහැවතුන් විසින් චීවර පුජා කිරීම සිදුකර වැඩසටහන අවසන් කරන ලදි.
2016 වසරේ දී සිරගත කෙරුණු අවස්ථාවේ දී පොත පත පරිශීලනය කිරීමට වැඩි කාලයක් යොමු කිරීමට තමන් වහන්සේට අවස්ථාව ලැබුණු බවත් මහා වංශයේ 34 වන පරිච්චේදයේ සඳහන් ව ඇති පරිදි මහා චුලික මහා තිස්ස රජතුමා විසින් සිදු කරන ලද සැට දහසක චීවර පුජාව පිළිබඳව කරුණු දැන එවැනිම මහා පින්කමක් යලි සිදු කිරීමට අධිෂ්ඨානයක් ඇති කර ගත් බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අරමුණ පැහැදිලි කරන අවස්ථාවේ දී සඳහන් කරන ලදි. මේ පිංකම 2018 වසරේදී සිදු කිරීමට උත්සහ ගත් බවත් ඊට විවිධ බාදා එල්ල වූ බවත් ඒ අවස්ථාවේදී යලිත් වතාවක් තමන් වහන්සේ සිර ගත කල බවත් සඳහන් කර සිටි උන් වහන්සේ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් පසුව මේ පිංකම කෙලෙස හෝ සිදු කරන බවට තමන් වහන්සේ අධිෂ්ඨානයක් ඇති කර ගත් බවත් මේ පුජාව පෞද්ගලිකව තමන්වහන්සේගේ නොවන බවත් මේ “ජාතියේ චීවර පුජාව” බවත් අවධාරණය කරන ලදි.



























