Colombo Today Local News

ව්‍යවස්ථාදායක සභාව දේශපාලනික වශයෙන් පළිගන්න හදපු ඉතා පහත් දූෂිත ආයතනයක්

ව්‍යවස්ථාදායක සභාව රටේ අනෙකුත් ආයතනවලට වඩා ඉතා පහත් මට්ටමක තිබෙන දූෂිත සභාවක් බවත්, කිසිදු ස්වාධීනත්වයක් නොමැති එකී සභාව දේශපාලනික වශයෙන් පළිගනිමින් කටයුතු කිරීම හා තීන්දු තීරණ ගැනීම නිසා අධිකරණ ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
තමා ඒ බව පවසන්නේ එකී සභාව පිළිබඳව වසර දෙකක අත්දැකීමෙන් බවද, එකී සභාවේ එම පහත් ක්‍රියාකලාපය හේතුවෙන් විනිසුරුවරුන් රැසකගේ උසස්වීම් හා තනතුරු අහිමි වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා ඒ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාට නීතිපති තනතුර සඳහා යවපු නිර්දේශ ප්‍රතික්ෂේප කළේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කර තිබීම නිසා බවයි.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට එකම හේතුව වුණේ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වීම නිසා බවද ඒ මහතා පවසයි.

දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණයේ සභාපති තනතුර සඳහා මෙන්ම ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුර සඳහා ජනාධිපතිවරයා යෝජනා කළ සෑම අවස්ථාවකම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළා. ඊට එකම හේතුව වූයේ සුදුකොඩි නඩුවේදී එතුමිය මහාධිකරණ විනිසුරුවරිය විදියට එහි චූදිතයන් වැරදිකාරයන් කරලා නඩු තීන්දුව ලබාදීම බවද ඒ මහතා පවසයි.

මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියට අභියාචනාධිකරණයට යෑමට අවස්ථාව නොලබාම විශ්‍රාම යෑමට සිදු වුණේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට මුල් අවස්ථාවේදී ඇප ලබාදීම නිසා බවද ඔහු පවසයි.

ඒ වගේම තවත් විනිසුරුවරුන් ගණනාවකගේ උසස්වීම් ප්‍රතික්ෂේප කළ නිසා ඒ අයට විශ්‍රාම ගැනීමට සිදුවූ බවද, වත්මන් ජනාධිපතිවරයා එකී සියලුම විනිසුරුවරුන්ගේ නම් ව්‍යවස්ථාදායක සභාවට යවන්නේ අගවිනිසුරුවරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුව බවද ඒ මහතා පෙන්වා දෙයි.

අද අධිකරණ සේවා කොමිෂන් සභාව අභිභවමින් ජනාධිපතිවරයාගේ විධායක බලතලද අභිභවා යමින් ව්‍යවස්ථාදායක සභාව ඉතා පහත් මට්ටමකට හා නිවට මට්ටමකට වැටී රටේ පාලනය අවුල් කරමින් කටයුතු කිරීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද පවසන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමන් කරන චෝදනා වැරැදියි කියා කියනවා නම් ඒ සියලු දෙනා සමඟ තමන් ඕනෑම අවස්ථාවක රූපවාහිනි සජීවී විවාදයකට වුවද සූදානම් බවයි.

Related posts

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday

ෆෙඩරල් පාලනයක් ඇති කරන්න මේ ආණ්ඩුවට ජනවරමක් නෑ.. ෆෙඩරල් ඊළාම් සිහිනයේ පළමු පියවරයි

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

colombotoday

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

colombotoday