Colombo Today Local NewsExclusive :

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

ශ්‍රී ලංකා ඉතිහාසයේ භයානකම ත්‍රස්ත ප්‍රහාරය සටහන් කරමින් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයෙන් මේ වනවිට දිවි අහිමි වූ පිරිස 300ද ඉක්මවා තිබෙනවා.  මෙම ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාම් ත්‍රස්ත කල්ලිය පිළිබඳ අද දින පුවත්පතක ලිපියක් පළව තිබුණි.

එම ලිපිය පහතින්,

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ තවුහීද් ජමාද් කණ්ඩායමට සම්බන්ධ වී ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පුහුණුව ලැබූ මුස්ලිම් අන්තවාදීන් 160 දෙනකු පිළිබඳව තොරතුරු මීට මාස තුනකට පමණ පෙර ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබියදීත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ඉතාම මන්දගාමී අන්දමින් කි‍්‍රයාත්මක වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

මෙම ත‍්‍රස්ත පුහුණුව ලැබූ අන්තවාදීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලබා ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සහ රජයෙන් නිසි සහායක් නොලැබීම නිසා විමර්ශන කටයුතු කඩිනමින් කරගෙන යෑමට නොහැකි වූ බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

මෙම අන්තවාදී ත‍්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ලැබී තිබුණේ පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 75 ක් පමණ විශාල පොල් වත්තක පවත්වාගෙන ගිය තවුහීද් ජමාද් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රධාන පුහුණු කඳවුර වැටලීමෙන් පසුවය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන්ගේ දක්‍ෂතාව සහ කාර්යක්‍ෂම භාවය නිසාම මෙම පුහුණු කඳවුර සොයා ගැනීමට හැකි විය. මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කඩා දැමූ අන්තවාදී ත‍්‍රස්තවාදීන් පිිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදීය.

එසේ අත්අඩංගුවට ගත් එක් අන්තවාදියකුගේ ජංගම දුරකතනයට ලැබුණු එස්. එම්. එස් පණිවිඩයක් ඔස්සේ විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වනාතවිල්ලූවේ පිහිටි මෙම ත‍්‍රස්ත පුහුණු කඳවුර සොයාගත්හ.

මෙම පුහුණු කඳවුරේ වළ දමා තිබූ සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක්, නයිට‍්‍රජන් ගැලූම් 6 ක් ඩෙටනේටර් 99 ක් සොයා ගනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේ 16 වැනිදාය. මෙම පුහුණු කඳවුරේදී අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට අවි පුහුණුව, මරාගෙන මැරෙන පුහුණුව ලබාදී තිබූ බවද විමර්ශනවලින් හෙළි වී තිබිණි.

තවුහීද් ජමාද් ත‍්‍රස්ත කල්ලියේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් නමැත්තා නිතර නිතර මෙම කඳවුර වෙත පැමිණ එහි පුහුණුව ලබමින් සිටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් දේශන පැවැත්වූ බවද හෙළි වී තිබේ. එමෙන්ම මෙම කඳවුර බෝම්බ නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස ද මෙම අන්තවාදීන් විසින් පවත්වා ගෙන ගොස් තිබිණි.

මෙම කඳවුරේ පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් 160 දෙනකුගේ ලැයිස්තුවක් සහ ඔවුන්ගේ ජංගම දුරකථන අංක ඇතුළු තොරතුරු රැසක් තිබී ඇති අතර ඒ සියල්ල ආරක්‍ෂක අංශය භාරයට ගෙන තිබිණි. තවුහීද් ජමාද් කල්ලියට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සටහන : හේමන්ත රන්දුණු/ දිවයින 

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැහැ | පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ

colombotoday

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

colombotoday

23 සඳුදා සිට පාසල් යලි ඇරඹේ

colombotoday

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday