ඇසළ පෝය වනාහි ලෝකවාසී බෞද්ධ ජනතාවටම අති උතුම් ශ්‍රේෂ්ඨ පෝය දිනයකි. මෙදින සිදුවූ සිදුවීම් පිළිබඳ විමසීමේදී ප්‍රධානතම සිදුවීම් ලෙස සලකනු ලබන්නේ බරණැස ඉසිපතනාරාමයේදී බුදුන් වහන්සේ විසින් දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවයි. මෙම ප්‍රථම ධර්ම දේශනාව අඤ්ඤාකොණ්ඩඤ්ඤ තවුසා ඇතුළු පිරිසට දේශනා කරන ලදී.
තුසිත දෙව්ලොව දී දේවතාරාධනයෙන් පසුව පස්මහ බැලුම් බලන බෝසතුන් දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තුපුර සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය වන මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමත්, පසුව ගිහිගෙය කලකිරීමට හේතුවූ සතර පෙර නිමිති දැක අභිනිෂ්ක්‍රමණය සිදුවීමත්, සිද්ධාර්ථ කුමරුගේ පුතණුවන් වන රාහුල කුමරුගේ උපත සිදුවීමත්, බුදු රජාණන් වහන්සේ තීර්ථකයනගේ මානය බිඳීම සඳහාත් ගන්ධබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහරපෑම සිදුකළේද අද වැනි පෝය දිනකදී ය.
බුදු රදුන්ගේ පළමු වස් වැසීම බරණැස ඉසිපතනාරාමයේ දී සිදුවූ අතර හත්වැනි වස් ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ තම මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන දේශනා කිරීමද ඇස ළ පෝය දිනයේ සිදුවූ ආකාරය ධර්ම සාහිත්‍යයේ මැනවින් විස්තර කර තිබේ.
මෙම ඇසළ පුන් පෝය දිනයෙහි බුද්ධ චරිතයට සම්බන්ධ ඉහත සිදුවීම්වලට අමතරව ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් ද සිදුවී ඇති බවට තොරතුරු දක්නට ඇත. බුදු රජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් ප්‍රථම සංගායනාව සිදුකිරීම.
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාද්වීපයේ සම්මත කළ සීමාව තුළ ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කිරීමද එම වර්ෂය තුළදීම පළමු ලාංකික බෞද්ධ භික්ෂුව වූ අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරු 56 දෙනා මහන උපසම්පදාව සිදුවීම ද දෙවන පෑතිස්ස රජු විසින් ඛණ්ඨක චෛත්‍යවටා ඉදිකළ අටසැට ලෙන් පූජාව හා මහ රහතන් වහන්සේලා සැටදෙනමක් ප්‍රථම වරට ලංකාදීපයේ වස් සමාදන්වීමද, බුද්ධ වර්ෂ 382දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑරදුන් ඉසිකිරීමට මුල්ගල තැබීමද, විවිධ ප්‍රාතිහාර්යයන් මැද එම මහා සෑයේ සර්වඥධාතු නිධානය සිදුකිරීම ද බුද්ධ වර්ෂ 847දී කිත්සිරි මෙවන් රජ සමයෙහි හේමමාලා කුමරිය හා දන්ත කුමාරයා විසින් ලංකාවට වැඩම කරවන ලද දන්තධාතූන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන මහනුවර දළදා පෙරහැර ආරම්භ කිරීමද, මෙම ඇසළ පුර පසලොස්වක පෝය දින සිදුවී ඇති ශ්‍රේෂ්ඨ සිදුවීම වේ.
මේ ආකාරයට ශාසනික වශයෙන්ද, ඓතිහාසික වශයෙන්ද, ඉතා වැදගත් වන ඇසළ පුර පසලොස්වක පෝය දිනය වඩා අර්ථවත් දිනයක් බවට පත්කර ගැනීමට වගකිවයුතු ගිහි පැවිදි දෙපක්ෂයේමත් බෞද්ධ ජනතාව වශයෙන් අධිෂ්ඨාන කරගත යුතුය.
ශ්‍රාස්ත්‍රපති දෑරංගල මංගල නා හිමි