Colombo Today Local News

ජවිපෙ සහ පෙරටුගාමීන් හාල් රු 1000 ට ගියත් කතා කරන්නේ නෑ.- ඔවුන් අතර ඩීල් එකක් තියෙනවා.

ජනතාවගේ ප්‍රධාන ආහාරය සදහා යොදා ගන්නා හාල් කිලෝ එක රුපියල් 300 ට ආසන්නයි. ජනතා විමුක්ති පෙරමුණවත්, පෙරටුගාමීන්වත් හාල් කිලෝව රුපියල් 1000 ට ගියත් කතා කරන්නේ නෑ. ඔවුන් අතර ඩීල් එකක් තිබෙන බව එයින් පෙනී යනවා යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය 17 වන දා උදෑසන දළදා වහන්සේ වැද පුදාගෙන මල්වතු අස්ගිරි නායක හිමිපානන්වහන්සේලා බැහැ දැක අවවාද උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

දේශපාලනික වශයෙන් හා අද වන විට අපේ රට පත්ව ඇති තත්ත්වය තුළ මා වෙත ලැබී තිබෙන අමාත්‍යාංශ විෂයන් සාර්ථක කර ගැනීමට සහ කැබිනට් මන්ඩලය තුළ කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපේ නායක ස්වාමින් වහන්සේලා දරන මතය එක්ක කොහොමද කටයුතු කරන්නේ යන කාරණා සම්බන්ධව තමයි උපදෙස් අනුශාසනා ලබා ගත්තේ.

අපි කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මාන්තය ගොවි ජනතාව අතර පමණක් සීමා නොකර සෑම ගෙවත්තක්ම, සෑම බිම් අගලක්ම වගා කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙන යන වැඩපිලිවෙළට සහයෝගය ලබා දෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශය විදියට අපිට ලබා දෙන්න තිබෙන ජලය උපරිම කළමනාකරණයකින් ගොවි ජනතාව අතට ලබා දෙන්න අපි කටයුතු සිදු කරනවා.

විදුලි අර්බුදයේදී අපි ඛනිජ තෙල් භාවිතා කරලා ඩොලර් පිටරට යවනවාට වඩා ඒ ජලයම පාවිච්චි කරලා ජාතික පද්ධතියට විදුලිය ලබා දෙන වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය විදියට දෛනික ජිවිතයේදී පිරිසිදු පානීය ජලය ලබා දීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනවා. මේවා නිසි කළමණාකාරීත්වයකින් සිදු කිරීම තමයි ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ.

එතනදී අපි දකින එක් කාරණයක් සම්බන්ධයෙන් මම අපේ නායක හාමුදුරුවන් වහන්සේ දැනුම්වත් කරන්න කටයුතු කළා. විශේෂයෙන් අපේ වගාවන් තුළ මේ වගේ මොහොතක පස සරු කර ගන්නත්, ගොවි ජනතාවගේ ආර්ථිකය වැඩි දියුණු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි සැළසුම් කරනවා කන්න තුනක් වගාව සදහා යොමු වෙන්න.

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යල් කන්නයට වැසි ලැබිලා මාර්තු මාසයේ පටන් ගන්නවා කියන්නේ සිංහල අලුත් අවුරුද්දට වෙනම ඇල මාර්ගවල වතුර අරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. තිබෙන වතුර කළමණාකරණය කරගෙන ජුනි මාසයේ අස්වැන්න ගන්නවත් එක්කම රනිල බෝගයක්, ඒ කියන්නේ අදටත් ඩොලර් දීලා ගේන මුං ඇට, කවුපි වැනි වගාවක් අතුරු වගාවක් විදියට කර ඉන් පසු මාස් කන්නය සදහා සූදානම් වෙන්න පුලුවන්. අතරමග වගා කර අස්වැන්න නෙලා අවසන් වූ රනිල බෝගයත් එක්ක නයිට්‍රජනුත් මේ වෙද්දි පසට එකතු වෙලා තබෙන්නේ.

අපේ මහවැලි ජල සුරක්ෂිතතා ව්‍යාපෘතිය යටතේ උතුරු මැද හා වයඹ ඇල හැදෙනවා. වයඹට ජලය ගෙනියන්නත්, උතුරු මැදට ජලය ගෙනියන්නත් මොරගහකන්දෙන් දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ දේශීයව ලැබෙන මුදල් වලින් තමයි මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ. ජාතික ආර්ථිකයට ප්‍රධාන වශයෙන් වැදගත් වන ව්‍යාපෘති නිසා මේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.

මෙම ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දෙන ආසියානු සංවර්ධන බැංකුවත් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඩොලර් මිලියන 50 ක් අනුමැතිය අපිට ලබා දී තිබෙනවා එළබෙන මාස් කන්නය සදහා නිෂ්පාදනය වැඩි කර ගන්න අවශ්‍ය රසායනික පොහොර ටික ගෙන්වීම සදහා. ඒ සදහා කැබිනට් අනුමැතිය ලබන සතියේ ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ තමයි අපි වාරිමාර්ග අමාත්‍යාංශය විදියට වර්තමානයේ කරගෙන යන වැඩ කටයුතු.

ජාතියක් විදියට ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක පරපුරක් අපේ රටේ ඉන්නවා. මගේ පෞද්ගලික් හැගීමනම් ලෝකයේ අංක එකේ කණ්ඩායම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. ඒ සදහා ක්‍රිකට් පාලක මණ්ඩලය දක්වන සහාය මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුව, ක්‍රීඩකයින්ගේ පුහුණුකරුවන් ලොකු කැපකිරීමක් කරනවා.

අපිට තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ඉතා දක්ෂයි. ජයග්‍රහණ සදහා උනන්දුවෙන් කටයුතු කරනවා. ඇමතිවරයා ලෙස මට දිය හැකි සහයෝගය සහ අවශ්‍ය ශක්තිය ලබා දීමට කටයුතු කරනවා. පහසුකම් ලබා දීමේදී අවශ්‍ය මැදිහත් වීම වඩා වැදගත් වී තිබෙනවා. එම කාර්යය නොපිරිහෙලා ඉටු කිරීමට මම කටයුතු කරනවා.

වත්මන් පීඩාකාරී තත්ත්වය තුල ජනතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා දෙන ජයග්‍රහණ ඉතා ලොකු සහනයක් වෙනවා. තරග ජයග්‍රහණ තුළ රටේ ජනතාවගේ ලොකු පිබිදීමක් තිබෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන් මම සතුටු වෙනවා.
පහුගිය කාලේ අපි දැක්කා දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න යද්දි යම් යම් මත ආවා. දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න හැදුවේ රජයේ මුදල් වලින් නොවෙයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින්. ඔවුන්ගේ මුදල් ක්‍රීඩාවේ සංවර්ධනයට තමයි යොදවන්නේ. දියගම ක්‍රීඩාංගණය අපි හැදුවානම් 2030 ලෝක කුසළානය අපේ රටේම පවත්වන්න පුලුවන් කම තිබුණා. දැන් යන විදියට ඉංදියාවයි ලංකාවයි එකතුවෙලා තමයි ඒක කරන්න වෙන්නේ.

කොයිවෙලෙත් අපි මතක තබා ගත යුතු කාරණයක් තිබෙනවා. මේ මොහොතේ ඕස්ට්‍රේලියානු සංචාරය හරහා අපිට රුපියල් මිලියන 1000 කට ආසන්න මුදලක් ලැබෙනවා. එය ඩොලර් මිලියන තුන හමාරකට ආසන්න මුදලක්. මේ ඩොලර් මිලියන තුන හමාරෙන් මිලියන තුනක්ම ලැබෙන්නේ අපේ රටේ හෝටල් කර්මාන්තයට, ප්‍රවාහන කර්මාන්තයට, විදුලිබල මණ්ඩලයට වැනි සේවා සපයන ආයතන විශාල ප්‍රමාණයකට. මේ හරහා ඔවුන්ට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාතික ආර්ථිකයට පිටරට මුදල් එනවා. මෙවැනි අසීරු අවස්ථාවක අපි දකින විශේෂත්වය එයයි.

අනෙක් ක්‍රීඩාත් මෙලෙසම සේවා සපයන මධ්‍යස්ථාන බවට පත් කරලා එම ක්‍රීඩා සංගම්වල නායකයින් මහන්සි වෙනවානම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් උපයනවා වගේ ඔවුන්ටත් මුදල් උපයා ගත හැකි වෙනවා. මේ රටේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවට යොදවලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව හරහා උපයාගන්න මුදල් තමයි මේ රටට යොදවලා තිබෙන්නේ. අනුග්‍රාහකයින්ගෙන්, මාධ්‍ය අනුග්‍රහයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන මුදල් වලින් තමයි මෙවැනි සුවිශේෂී කාර්යභාරයන් සිදු කරන්නේ.

මගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේ රටට බෙහෙත් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන දෙකක් ඩොලර් වලින්ම ලබාදෙන්න කටයුතු කළා. ඒ වගේම මළල ක්‍රීඩා සදහා විදේශ ගත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගයක් දක්වන්න, විදේශීව පුහුණුව ලබන දක්ෂයින් සදහා සහයෝගය ලබා දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදලට රුපියල් මිලියන 100 ක් ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

එල්.පී.එල්. තරගාවලිය හරහා මේ රටට, ක්‍රිකට් ආයතනයට ආදායමක් ලැබෙනවා මිසක් රටේ මුදලක් වියදම් වේනේ නැහැ.එය පැහැදිලිව තේරුම් ගන්න. යම් යම් කණ්ඩායම්, සමහර මාධ්‍ය හසුරවන්නන් නිසි අවබෝධයක් නැතිව මේ සම්බන්ධව ජනතාවට කරුණු දක්වන්න යනවා.

එමගින් මෙම තරඟාවලි සදහා රජයේ මුදල් වියදම් වෙනවා වැනි වැරදි අවබොධයක් ජනතාව අතර ගොඩනැගෙනවා. එසේ කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා.

මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් සහභාගී වෙනවා ඔවුන් වෙත ගෙවීම් කරන්නේ ඒ කණ්ඩායම් භාර ආයතන වලින් හා එල්.පී.එල්. තරගාවලිය මෙහෙයවන ආයතනය මගින්.

උතුරු පළාතේ , නැගෙනහිර පළාතේ කුඹරු පුරන් වී නොමැති බව අපිට දැක ගන්න පුලුවන්. වඩාත් කණගාටුවට කාරණය තමයි 3% ක පිරිසක් විසින් ගොවි ජනතාව මුලා කරලා. ගොවි සංවිධානවල ඉන්න 3% කණ්ඩායම කුඹුරු කරන්න එපා කියලා ඒ අයගේ කුඹුරු ටික කරගෙන තිබෙනවා.
උදාහණයකට කිවුවොත් ගොවි සංවිධානවල ඉන්නවා ජේ.වී.පී. අය. ඔවුන් අනෙක් ගොවීන්ව මෙහෙයවනවා කුඹුරු කරන්න එපා කියලා. එතුමලාගේ කුඹුරු ඔක්කොටම කලින් කරගෙන. රටක් විදියට මේ වැටිලා තිබෙන වෙලාවේ එවැනි පටු වාසි ගැනීම ඉතා කණගාටුදායකයි.

අපි දන්නවා ජනාධිපතිතුමාම කිවුවා පොහොර සම්බන්ධව අපි ගත්ත තීන්දුව වෙනස් කරන්න සිදු වුණා කියලා. ඒ තීන්දුවේ යම් වැරැද්දක් අපි දකිනවා කියන එක එතුමා ප්‍රකාශ කලා. රජය නියෝජනය කරන නියෝජිතයෙක් විදියට ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දෙන්න මම සම්පූර්ණයෙන්ම මැදිහත් වුණා. ඔබට හොදට මතක ඇති.

පොහොර ටික ලැබිලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජලාශ ටික පිරිලා කුඹුරු වලට වතුර දෙනකොට අපේ ප්‍රශ්ණ බොහොමයක් අඩු වේවි. ඩොලර් ප්‍රශ්ණයත් එක්ක ඉන්ධන හිගයක් තිබෙනවා. කොහොම හරි තෙල් ටිකත් කලට වේලාවට ලබාගෙන ධනාත්මකව කටයුතු කළොත් අපිට වරදින්නේ නැහැ. ඉතා කෙටි කාලයක් වුවත් එදා මහවැලි අමාත්‍යවරයා විදියට ප්‍රායෝගිකව මම බොහෝ දේ කළ හැකියි කියා කර පෙන්නුවා. නැවත මේවා කළ හැකියි. මම කරන්න බැරි දේවල් කියන්නේ නැහැ. කල හැකි දේ පමණයි කතා කරන්නේ.
මේ වෙලාවේ රටේ ලොකු අර්බුදයක් තිබෙනවා. ඩොලර් බිලියන 51 ක් අපි විදේශයන්ට ණයයි. මේ ඩොලර් බිලියන 51 ම රාජ්‍ය තන්ත්‍රයේ පරිපාලනය තුළ තමයි කටයුතු සිදු වුණේ.

ඔය කියන විදියට බිලියන 5 ක් වංචා දූෂණ වුවත්, ප්‍රයෝජන නැති ව්‍යාපෘති වලට බිලියන 5 ක් නාස්ති වුණාමත් කියමුකෝ. ඉතිරි බිලියන 41 පාඩු ලබන රාජ්‍ය ආයතන, අවිධිමත් රාජ්‍ය සේවය, සහනාධාර සදහා තමයි යොදවා තිබෙන්නේ.

1977 අපිට වැරදුනා. සිරිමාවෝ මැතිනිය ගෙනාපු වැඩපිළිවෙල ගැන අද අපි සුබවාදීව කතා කරනවා. නමුත් එදා 5/6 ක පරාජයක් ලබා දීලා තමයි එතුමිය ගෙදර යැව්වේ. ඊලගට 2010 යුද්ධය අවසාන වී මේ රට ගොඩ නගන්න පුලුවන් වෙයි කියලා විස්වාස කලා.

මම හිතනවා දැන් හොදම වෙලාව. මේ රට ගොඩ ගන්න දේශපාලඥයෝ කැප කිරීම් කරන්න අවශ්‍යයි. රාජ්‍ය සේවකයා ඔවුන්ගේ සේවය උපරිමයේන කළ යුතුයි. ඒ සමඟ ම මහජනතාවත් උපරිමයෙන් කැප වී වැඩ කළොත් අපිට ජපානය වගේ දියුණුවට පත් වෙන්න පුලුවන්. අන්න ඒ සුභවාදී වැඩ පිළිවෙල වෙනුවෙන් අපි වැඩකරමු.

මම උදේ 7 ට අමාත්‍යාංශයට ගියාම රෑ 11, 12 වනතුරු වැඩ කරනවා. මාව විස්වාස කරලා බාර දුන් වගකීම ඉටු කරන්න මම වැඩ කරනවා. වාරිමාර්ග, ක්‍රීඩා, තරුණ වැනි රටේ ප්‍රමුඛ වගකීම් කීපයක් මට පවරලා තිබෙනවා.

තරුණයින් වෙනුවෙන් සුවිශේෂී වැඩ කටයුතු රාශියක් කළ යුතුව තිබෙනවා. ඔවුන් පුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශ ගත කරන්න, නව රැකියා අවස්ථා බිහි කිරීම, තරුණ නව ව්‍යවසායකයින් බිහි කිරීම, ඒ වගේම ඔවුන්ට නිසි මාර්ගෝපදේශණ ලබා දී විදේශ ගත කරන්න අවශ්‍යයි. මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් පරම පැහැදිලි චේතනාවෙන් වැඩක් කරන්න කටයුතු කරනවා.

පසුගිය 09 වෙනිදා රාත්‍රී සිදුවීම යම් යම් කණ්ඩායම් ලඝු කරනවා. එසේ සිදු වූයේ 09 වෙනිදා උදේ අරගලයට පහරදීම කියලා. මම පැහැදිලිවම කියනවා නෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණ සමන්විත කණ්ඩායම් මේ සඳහා දායක වූ බව මම පැහැදිලිව පාර්ලිමේන්තුවේ දී කිව්වා.

මේ ප්‍රහාරය පටන් ගත්තේ මගේ නිවසට ගහලා. ඒ අප්‍රේල් මාසේ 04 වෙනිදා. මොකක්ද මේකට හේතුව. හේතුව වෙන්නේ නොකිලිටි පිරිසිදු දේශපාලඥයෝ දේශපාලයට ඒම වලක්වන්න. ඒ නිසා තමයි මහාචාර්‍ය ගුනපාල රත්නසේකර මැතිතුමා, වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාලා වගේ අයට පහර දුන්නේ.

රිචඩ් පතිරණ මැතිතුමා කියන්නේ විශ්ව විද්‍යාල හදපු අධ්‍යපනයට සුවිශේෂී මෙහෙවරක් කරපු කෙනෙක්. එතුමාගේ නිවස පවා ගිනිබත් කරන තත්ත්වයකට පත් වුණේ ඇයි. ඔවුන් රටේ නමක් තියාගත්ත පිරිස්. උඹලා එන්න එපා දේශපාලනයට කියන පණිවිඩය නෙවේද දුන්නේ. 1989 ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිලිවෙලම තමයි මේ නැවත සිදු වුණේ. වෙන දෙයක් නැහැ. මිලේච්ඡත්වය වෛරය වපුරනවා.

09 වෙනිදා සිදුවීමෙන් පසු පෙරටුගාමී හා ජේවීපි එක ගැන පැහැදිලිවම ජනතාවට ලොකු බියක් තිබෙනවා. ඇත්ත කතාව මේකනේ. බැරි වෙලාවත් මොන ක්‍රමේකින් හරි ඔවුන් බලයට ආවානම් මේ රටවල ආයේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ ඡන්දයකුත් නැහැ. තුවක්කුවෙන් රටවල් පාලනය කරන තැනකට යනවා. රටවල් විනාෂ වෙයි.

පසුගිය 09 වෙනිදා රාත්‍රියේ ක්‍රියාත්මක කළේ පෙර සැළසුම් නොවේද, පැහැදිලිව සැළසුමක්. පෙට්‍රල් බෝම්බ ගහලා. එක මොහොතේ සැළසුමක් නැතිව මෙවැනි වැඩක් කරන්න පුලුවන්ද? එකම දේ ඔවුන් 1989 ට වඩා උපක්‍රමශීලී වුණා. ඔවුන් කණ්ඩායම් සැළසුම් කරලා පස්සට වුණා. අහිංසක තරුණයෝයි කුඩු ගහලා වල්මත් වෙලා ඉන්න පිරිසයි ගිහිල්ලා මේවාට පහර දුන්නා. ඒක තමා ඇත්ත කතාව.

මෙම පහරදීම ඊට පස්සේ ගේන්න ගියේ තව තැනකට. ඇති නැති පරතරයක් ඇති කරන්න. මිනිස්සු දුක් මහන්සි වෙලා තැනකට ආවාම ඒ දේපොල විනාෂ කරලා ගිනි තියන්න. මොවුන් ඊලගට ගහන්න හැදුවේ රාජ්‍ය සේවකයින්ට. මේ වගේ භයානක වැඩපිලිවෙලකට යන්න ගියේ මේ කණ්ඩායම්.

මේ වැඩපිලිවෙල තුල පැහැදිලිවම අපිටත් ප්‍රශ්ණයක් තිබෙනව. මම ඒක පාර්ලිමේන්තුවේ කිවවා. ජනතා විමුක්ති පෙරමුණේ , පෙරටුගාමී පක්ෂයේ, ශ්‍රී නිදහස් පක්ෂයේ එක කණ්ඩායමක් ඉන්නවා කියලා. අපි තේරුම් ගන්න ඕනේ මොවුන්ගේ ක්‍රියාකලාපය. අත්තෙන් අත්තට පනිනවා. එක තැනක ඉන්නවා, තව දවසක තවත් තැනක. සමහරු ඒ තැන ඉදන් දිනන පැත්තට පනිනවා. ආයේ තැනකට රිංගනවා. මේ පැත්ත හොදයි කියනවා.

සමහර තීන්දු තීරණ අපිත් රටක් පාලනය කරද්දි හරි අවබෝධයෙන් ගත යුතුයි. එසේ තීරණ ගත්තානම් මෙවැනි දේවල් සිදු නොවන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයේ චූදිතයෝ කවුද කියන එක රටම දන්නවා. එතනදී කාදිනල් හිමියනුත්, කතෝලික ජනතාවත් දැඩි වේදනාවක හිටියේ.
මේ අපරාධය දැන දැන ඡන්ද නිසා මග හැරපු අය අධිකරණයට ගෙන ගොස් දඩුවම් නොදීම පිළිබදව. මම හිතනවා නීතිපතිතුමත් වැඩි අවධානයක් දීලා කටයුතු කළ යුතුයි මේ සම්බන්ධව. සමහර විට අපිටත් ප්‍රශ්ණයක් තිබෙනවා.

ජනතාවගේ ප්‍රධාන ආහාරය සදහා යොදා ගන්නා හාල් කිලෝ එක රුපියල් 300 ට ආසන්නයි. ජනතා විමුක්ති පෙරමුණවත්, පෙරටුගාමීන්වත් හාල් කිලෝව රුපියල් 1000 ට ගියත් කතා කරන්නේ නෑ. ඒකෙන් ඔවුන් අතර ඩීල් එකක් තිබෙනවා කියා පේනවා. එය තමා ඇත්ත කතාව.

ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් පලකර පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

Related posts

විදේශ සංචිතය බිලියන 7.5 සිට 4 දක්වා පහතට.. ඉතිහාසයේ මුල්වර ආර්ථිකයේ කඩාවැටීමක්

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

රටට එරෙහි ගතු කේලාම් කියන්නා හිවලෙක් – සුදත්ත හිමියන්ගෙන් කාදිනල්ට පාඩමක්

colombotoday

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ගුවන් ගමන් වැඩි කරයි

Admin

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday