පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් මේ 21 වනදාට පෙර සිදු කරන බවට ජනපති අනුර යළිත් වතාවක් වහසි බස් දෙඩුවේ මීට සතියකට පමණ ඉහත පැවති ජනහමුවකදී.
මෙම ප්‍රකාශයද මාලිමා රජයේ පෙර ප්‍රකාශයන් මෙන්ම මෑත යුගයේ කලින් කලට පට්ට ගැසූවක්.
මේ අතර යළිත් වරක් ජාතිවාදයද අලුත් වටයකින් තැනින් තැන හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙනවා.
යාපනේ තිස්ස විහාරයේ අර්බුදය උතුරෙන් ඇවිලෙද්දී, පසුගිය මාර්තු 22 වනදා කොළඹ දී ස්ටිකර් ඇලවීමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි මොහොමඩ් රුස්ඩි නම් තරුණයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රතිත්‍රස්ත පනත යටතේ රැඳවුම් නියෝග මත තබාගැනීම මුස්ලිම් සමාජය කළඹන සිදුවීමක් වුණා.
එම තරුණයා නිදහස් කරගැනීම සඳහා පිටත සිවිල් ක්‍රියාකාරීන් හඬ නගද්දී පාර්ලිමේන්තුව තුළ ඔහු වෙනුවෙන් හඬ නැගුවේ සමගි ජන බලවේගයේ මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයායි.
ඔහු විසින් නගන ලද ප්‍රශ්නයකට අදාලව පිළිතුරු සපයමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.
ඒ, පෙර කී තරුණයා පාස්කු ප්‍රහාරකයින් වන සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පවත්වන ලද පුද්ගලයෙකු බවයි.
සැබැවින්ම මෙය ඉතාම බරපතල ප්‍රකාශයක්. මීට පෙර වතාවක දේශබන්දුගේ දේපල සම්බන්ධයෙන් විජේපාල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවදී සිදු කළ විසුළු සහගත ප්‍රකාශය දෙස බලන විට මෙයද, එවැනි තත්වය බැලන්ස් කරන කතාවක් ලෙස එක් අතකින් සිතීමට හැකියාව තිබෙනවා.
එය එසේනම්, වගකීම් සහගත අමාත්‍යවරයෙකු ලෙස හුදු ආණ්ඩුවේ ගැලවිජ්ජාව සඳහා එවැනි ප්‍රකාශ සිදුකිරීම බරපතල වරදක් මෙන්ම මහජනයා නොමග යැවීමක්ද වනවා.
යම්හෙයකින්, එම ප්‍රකාශය සත්‍යයක් නම් ප්‍රශ්නගත තරුණයා නිදහස් කිරීම සම්බන්ධයෙන් මතුවෙන්නේ ඊටත් වඩා බරපතල පැණයක්. එවැනි සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු නිසි ප්‍රශ්න කිරීමකින් තොරව යළි මුදාහැරියේ නම් එමගින් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳව යළි යළිත් සිතා බැලිය යුතු වනවා.
මක්නිසාද යත්, පාස්කු ප්‍රහාරය වැනි ඛේදජනක සිදුවීමකට පවා මගපෑදුණේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් අතින් සිදුවූ මෙවැනි වැරදි හේතුවෙන් වීමයි.
එසේ හෙයින්, යම්හෙයකින් මේ කථාව ඇත්තක් නම් උක්ත ප්‍රශ්නගත තරුණයා මේ මොහොතේ නිදහස් කරනු ලැබුවේ විපක්ෂ දේශපාලකයින්ගෙන් හා ඔවුන් හරහා පණගැන්වුණු සිවිල් යාණ්ත්‍රණයෙන් ආණ්ඩුව වෙත එල්ල වූ පීඩනය නිසා බැව් නිගමනය කරන්නටද පිළිවන්.
එසේම, ඇමතිවරයාගේ මේ ප්‍රකාශය දඩයම කාගේ හෝ කරේ ගසා ඇඟ බේරාගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද්දක්ද? යන පැණයද මේ ප්‍රකාශයත් සමග පැන නගිනවා. ඒ මන්ද යත් අනුර ජනපතිගේ ප්‍රකාශය හරහා නැවතත් බලාපොරොත්තු අලුත් කරගෙන සිටින කතෝලික සභාවට එළඹෙන 21 වැනිදා වන විට අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින් ප්‍රගති වාර්තාවක් ලබා දිය යුතුව තිබෙන නිසායි.
මේ සියළු කරුණු සලකා බලමින් මහජනතාව විසින් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයේ දිග පළල වැඩිදුරටත් විමසිය යුතුව පවතින බව අපගේ අදහසයි.
එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.