Colombo Today Local News

මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා ණය ලබාගෙන

සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක් විය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පසුගිය වසර පහක කාලය සඳහා ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳ මෙසේ අවධානය යොමු විය. මේ අනුව සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම 2021 වර්ශය වන විට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපළ පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරු විසින් ලංකා බැංකු නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී එම නිලධාරීන් අදාළ දේපළ පිළිබඳ විස්තර හෙළිකිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතා සඳහන් කළේ පසුගියදා කෝප් කමිටුව හමුවට මහජන බැංකුව කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීන් පැවසුවේද අදාළ සමාගම මෙම දේපළම ඇපයට තබා මහජන බැංකුවෙන්ද ණය ලබාගෙන ඇති බවයි. ආසන්න වශයෙන් මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා රුපියල් බිලියන 7 ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවයි. මේ නිසා මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව මෙම මන්ත්‍රීවරු පෙන්වාදුන්හ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයාද පෙන්වාදුන් අතර මෙවැනි බරපතල කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පැවසීය. මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කොට එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
එසේම 2020 වර්ශයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරී වෙත කරන ලද රු. 32,039,733 ක මතභේදයට තුඩුදෙන ගෙවීමක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී සාකච්ඡා විය. මෙහිදී ලංකා බැංකුවේ සභාපතිවරයා සඳහන් කළේ මෙම සාමාන්‍යාධිකාරීවරයාගේ පූර්ව පරිණත විශ්‍රාම යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් දියත් කළ බවත් මේ වැඩවර්ජනය හේතුවෙන් දිනකට පාඩුව රුපියල් මිලියන 75 ක් වූ බවත්ය. මේ නිසා එම වැඩවර්ජනය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගන්නට සිදු වූ බවයි. නමුත් මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ බවද හෙතෙම සඳහන් කළේය. බැංකුවට එක් දිනක් තුළ සිදුවූ විශාල පාඩුව දින කිහිපයක් සිදු විය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවද ලංකා බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද රජය සතු ව්‍යවසායන්ට අයත් ණය සහ අත්තිකාරම් වල මුළු හිග ශේෂය පිළිබඳවද කෝප් කමිටුවේදී සාකච්ඡා විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ණය අයකරගැනීමට අපහසු රජය සතු ව්‍යවසායන්ට ණය ලබාදීම නුසුදුසු බවයි.

එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවාවන් ලබාගැනීම සඳහා ලංකා බැකුව සතු හැකියාව සහ ඉදිරි පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ගණනය නොවූ අනෙකුත් අංශද එකතුකොට තත්ත්ව වාර්තාවක් මාසයක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුවේ සභාපති (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතා අවසාන වශයෙන් නිර්දේශ කළ අතර රටේ ප්‍රධානම බැංකුව ලෙස ලංකා බැංකුව ගන්නා නිවැරදි තීරණ අගය කරන බවද වැරදි දෙයක් තිබේ නම් එය නිවැරදි කරගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු රවුෆ් හකීම්, ගරු පාඨලී චම්පික රණවක, ගරු ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) ගරු හර්ෂ ද සිල්වා, (ආචාර්ය) ගරු සරත් වීරසේකර, ගරු ජගත් පුෂ්පකුමාර, (ආචාර්ය) ගරු නාලක ගොඩහේවා සහ ගරු එස්. එම්. මරික්කාර් යන මහත්වරු සහභාගී වූහ.

Related posts

ශ්‍රී ලංකන් කොටසක් පුද්ගලිකරණය වී දින දෙකෙන් IMF ඩොලර් බිලියන 1.5ක ණයක් දෙයි

colombotoday

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

colombotoday

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

colombotoday