Colombo Today Local News

කෝටි 700ක් වතුරේ… පිටරටින් ලෙඩ හරක් ගෙන්වා බිලියන ගණනක් ගරපු හැටි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවෙයි…

ගොන්නු පව්ය. ගොන්නු කීවාට ගොන්නුම නොව, කිරි හරක්ය. මේ කිරි හරක් ගෙනාවේ රටින්ය. රුපියල් බිලියන ගණනක් වියදම් කරය. කීවේ රටේ කිරි ගොවියා ආර්ථිකව ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් ගෙනාවා කියාය. කුජීත, කොල්ලකාර, ආණ්ඩුව ගෙදර යවා අප විසින්ම පත් කරගත් යහපාලන ආණ්ඩුවක් කිරි ගොවියා කෙළින් කරවීමේ පට්ටන්දරය දිගහැරියේ වෙඩි පුපුරන තරම් සද්දයෙන්ය. ඉතින් අපත් බලාගෙන හිටියේ කිරි ගොවියා කෙළින් වනතුරුය.

ඒත් දැන් ඇහෙන්නේ හීං කෙඳිරිය. කිරි ගොවියා කෙළින් කරන්න ඕස්ට්‍රේලියාවෙන් ගෙනා කිරි දෙන්නු ගැන කියනවා නම් මේ වන විට උන්ගෙන් මහත් කොටසක් ලෙඩින්ය. කොටසක් මියගොස්ය. තවත් කොටසක් පැටවු වැදිය නොහැකි සේ වඳය.

මේ වඳ දෙනුන් මසටය. එහෙත් මසට දෙන්නටත් බැරි මේ සතුන් හඳුනා නොගත් රෝගයකින් පෙළෙන බව කියන නිසාය. අනෙක් කාරණය රත්රන් සරි මිලකට ගෙන්වූ මේ සතුන් මස් කළත් කිලෝ එකක් ගන්නට වෙන්නේ රත්රන් බරටය. නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට පටන් අරන්ය. ඒ, ගොන් ගනුදෙනුව ගැන විගණකාධිපති ගාමිණී විජේසිංහ පිටු 34 යුතු ස්වකීය විගණන වාර්තාව හෙළි කිරීමත් සමඟය. ඒ ගොං කතාව මෙසේය.

ගනුදෙනුව

පසුගිය අවුරුදු අටකට ආසන්න කාලයේදී විටින් විට මේ රටට පිටරටින් කිරි ගවයන් යැයි කියා ගවයන් දහස් ගණනක් ගෙන්වා තිබිණි. 2010 වසරේ අගෝස්තු මාසයේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඕස්ට්‍රේලියාවේ සමාගමකින් ගොවිපළවල් තුනක් සඳහා කිරි ගවයෝ 2000ක් ආනයනය කිරීමට ඩොලර් මිලියන 12.9 ගිවිසුමකට අස්සන් කළේය. දෙවැනි අදියර ලෙස වර්ෂ 2013දී ගවයන් 2500ක් ගෙන්වීමට සහ රිදියගම ගොවිපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි. ඒ 2013 අගෝස්තු මාසයේදීය. ඒ අනුව 2014 ජූලි මාසයේ 24 ගිවිසුමක් අස්සන් කර කිරි ගවයන් 2495ක් රට තුළට ගෙනාවේය. ඒ සඳහා ආණ්ඩුව දරා තිබුණු වියදම රුපියල් බිලියන 7.9 කි.

මේ ගනුදෙනුවල ස්වරූපය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් විගණන වාර්තාවක් නිකුත් කෙරිණි. විගණන වාර්තාව අනුව 2014 වසරේ ඇස්තමේන්තුගත මුදලටත් වඩා වැඩි මුදලක් වියදම් කරලා ගවයන් ගෙන්වා තිබිණි. වැදගත්ම කරුණ වන්නේ ගවයන්ගෙන් 133ක් මිය යෑමය. තවත් ගවයන් 142ක් දෙනුන් ගැබ් නොගැනීමය. ඉනුත් දෙනුන් 79ක් සහමුලින්ම වඳ බව අනාවරණය වී තිබීමය.

මේ එක් ගවයෙක් සඳහා දරා ඇති වියදම රුපියල් ලක්ෂ 5කට අධිකය. එසේ වුවත් ගවයන් බෙදා දී ඇත්තේ එකෙක් ලක්ෂ 2කට ආසන්න මිලකටය. ගොවියන් වෙත ඒ ගවයන් ලබාදිය යුතුව තිබුණේය. සිදුවන්නට අවශ්‍යයත් එයය. එහෙත් එකකුගෙන් රුපියල් ලක්ෂ තුනක අතේ පාඩුවට, රුපියල් ලක්ෂ දෙක බැගින් මේ ගවයන් ලබාදී තිබුණේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ටය.

ගවයන් 133 දෙනෙක් මියගොස් තිබුණේය. මියගිය ගවයන්ගෙන් සිදුවූ පාඩුව රුපියල් පන් කෝටි හැත්තෑලක්ෂ විසිදහස් අටසිය නවයකි. විගණන වාර්තාව අනුව මේ කෝටි ගණන ශුද්ධ පාඩුවකි. හේතුව ගවයන්ට රක්ෂණ ආවරණයක් ලබාදී නොතිබීමයි. ලෙඩ සහිත, වඳ බවින් යුතු මිය ගිය කිරි ගවයන් හේතුවෙන් පමණක් රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 17කි. තවද කැබිනට් අනුමැතිය රැගෙන තිබුණේ ජර්සි වර්ගයේ හරකුන් ගෙන්වීමටය. නමුත් ගෙන්වා තිබුණේ වෙනත් ගව විශේෂයකි. ඒ පිළිබඳව වෙනම විමසිය යුතු ආකාරය ගැන විගණකාධිපතිවරයා සඳහන් කරන්නේය.

ගොවිපළේ මගඩිය

කිරි හරක් ගෙනාවේ හම්බන්තොට වරායටය. රිදියගම යෝජිත ගොවිපළ තිබුණේ හම්බන්තොට වරායේ සිට කිලෝමීටර් 38ක් දුරින්ය. හරකුන් දෙදහස් පන්සියයක් හම්බන්තොට වරායේ සිට රිදියගම ගොවිපළට ප්‍රවාහනය කිරීම සඳහා පමණක් මේ මහත්වරු වියදම් කර තිබුණු මුදල රුපියල් තුන්කෝටි පනස් අට ලක්ෂ හැටනව දහස් දෙසිය අටකි. කිලෝමීටර 38ක් ප්‍රවාහනය කිරීම සඳහා එක් ගවයෙක් වෙනුවෙන් දරා ඇති පිරිවැය රුපියල් 14,348කි. එනම් එක් ගවයෙක් එක් කිලෝමීටරයක් ප්‍රවාහනය කරන්නට වියදම් කළ මුදල දළ වශයෙන් රුපියල් 3775කි. මේ මුදල ගෙවා තිබුණේ පෞද්ගලික ප්‍රවාහන සේවයක් වෙතය. විගණකාධිපතිවරයා පෙන්වා දී තිබුණේ රජයේ වාහනවල ධාවන මිල ගණන් අනුව මේ ප්‍රවාහන කටයුත්ත සඳහා වියදම් වන්නේ රුපියල් පන් ලක්ෂ හැත්තෑදහසක් බවය. විගණන වාර්තාව අනුව මේ සතුන් ප්‍රවාහනයේදී පමණක් මේ අශික්ෂිත මිනිසුන් වංචා කර ඇති රාජ්‍ය මුදලෙහි වටිනාකම රුපියල් තුන්කෝටි පනස් දෙලක්ෂ අනූ නව දහස් දෙසිය අටකි.

රිදියගම ගොවිපළේ නඩත්තු කටයුතු සහ සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් රජයේ මුදල් හත්කෝටි හය ලක්ෂ අනූ දහස් දෙසිය දෙකක මුදලක් වියදම් කර තිබිණි.

නමුත් මේ වියදම් තහවුරු කිරීම සඳහා කිසිදු ලිඛිත සාක්ෂියක් නැති වන්නේ කෙසේදැයි විගණකාධිපතිවරයා විසින් ප්‍රශ්න කරයි.

වික්ෂිප්ත වන කාරණාව වන්නේ රිදියගම ගොවිපළින් වාර්තා වන විදුලි බලය, විගණන වාර්තාව අනුව 2015 වසරේ ගෙවා ඇති රිදියගම ගොවිපළේ විදුලි බිල රුපියල් පනස් හත්ලක්ෂ විසිනව දහස් විසි අටකි. වර්ෂ 2016 වන විට ගොවිපළේ විදුලි බිල රුපියල් තුන්කෝටි අනූනව ලක්ෂ අනූ තුන්දාස් නවසිය හතළිස් නවයකි. දළ වශයෙන් කෝටි හතරකට ආසන්න මුදලකි. මේ අතාර්කික වැඩිවීම පිළිබඳව විගණකාධිපතිවරයා විමසන්නේය.

ගවයන්ගෙන් ගොවිපළෙන් පමණක් නොව, ගොවිපළට ගමන් කිරීම සඳහා වූ කිලෝමීටර් පහක බොරලු පාරෙන්ද මේ උන්දැලා ගසා කා තිබූ ආකාරය හෙළි විය. මාර්ගය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් දාහතර ලක්ෂ පන්දහස් දෙසිය විසිඅටක් බව කියැවිණි. එහෙත් රුපියල් තිස් නව ලක්ෂ තිස්හත් දහස් නවසිය හතළිහක් වියදම් කර තිබිණි. මේ මුදල වියදම් කළ ආකාරය පිළිබඳව මේ විගණන වාර්තාවෙන් ප්‍රශ්න කර තිබිණි.

පොලු පිට පොලු

අමාත්‍යාංශය හරහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2017.12.31 දින දක්වා මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු මුළු මුදල රුපියල් එකසිය තිස් හය කෝටි හතළිස් තුන් ලක්ෂ විසිදහස් හයසිය පනහකි. මේ ණය මුදලින් ඔවුන් මහා භාණ්ඩාගාරයට ගෙවා ඇත්තේ රුපියල් දෙකෝටි හතළිස් අටලක්ෂ ‍ෙදාළොස්දාහස් පන්සිය හැත්තෑවක් පමණි. ඒ අනුව භාණ්ඩාගාරයට අමාත්‍යාංශය මඟින් ගෙවිය යුතු මුදල එකසිය තිස්තුන් කෝටි අනූපන් ලක්ෂ දාහත් දහස් හැත්තෑ දෙකකි.

නිකුත් වී ඇති විගණන වාර්තාවේ නිගමනවලින් ප්‍රකාශ වන ආකාරයට විධිමත්ව පිළියෙල කර ඇති ජාතික වැඩපිළිවෙළට අනුගත නොවී පසුගිය වසර හතක පමණ කාලය තුළ කිරි ගව ආනයනය සඳහා යෙදවූ ජාතික ධනයේ ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් හාරකෝටි තිස් ලක්ෂ විසිතුන් දහස් හයසිය හතළිස් අටකි. එනම් රුපියල් බිලියන 7.9කි. මෙම ව්‍යාපෘතියෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි වීමට සහ ආර්ථිකමය ලාභයක් සිදුවන පරිදි ව්‍යාපෘතිය මෙහෙය වීමට නොහැකි වීම පිළිබඳව අදාළ බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරන්නේ රටේ විගණකාධිපතිවරයාය.

ලොවෙත් නැති ලෙඩ

ඇඟ කිලිපොළා යන බිහිසුණු කතාව ඇසෙන්නේ දැන්ය. රටක් තුළ කෘෂි ආර්ථික සම්පත් මතු නොව, මහජන ආරක්ෂාව වෙනුවෙන්ද නිශ්චිත රෝග නිරෝධායන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය වීම හෝ නොසලකා හැර කරන අත්තනෝමතික මගඩිවලදී වන්දි ගෙවන්නට වන්නේ මේ රටේ මිනිසුන්ටය.
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි දෙනුන්ගේ සත්ත්ව නිරෝධායන පරීක්ෂණ ප්‍රතිඵලය පිළිබඳ අවසන් වාර්තාව නිකුත් කරන්නේ වර්ෂ 2018 ජනවාරි 29දාය. එම වාර්තාව ආරම්භ කරන්නේ “සැපයුම්කරු විසින් ආරක්ෂිත ක්‍රියා පටිපාටිය බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බවට පැහැදිලිවම සාක්ෂි සහිතව හෙළිදරව් වන අතර සුදුසු පියවර නොගන්නේ නම් මෙම තත්ත්වය අනාගතයේදී ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මාන්තයට බරපතළ හානියක් සිදුකළ හැකිය” යන දැනුම්දීමත් සමඟය.

වාර්තාවෙන් හෙළි කරන බිහිසුණුම සත්‍යය වන්නේ මෙතෙක් ලංකාවෙන් වාර්තා වී නැති රෝගයක් මේ විදේශික කිරි ගවයන් හරහා රට ආක්‍රමණය කර ඇති බවය. එම රෝගය මිනිසුන් ඇතුළු ක්ෂීරපායි සතුන්ගේ අක්මාව ආශ්‍රිත ආසාදන ඇති කරන බවය. එබැවින් නිරෝධායන ආයතනය නිර්දේශ කර ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය තුළ මහජන සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාමාර්ග තදින් ගන්නා ලෙසය.

වාර්තාව ප්‍රකාරව එළදෙනුන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවලින් මෙසේ හෙළිවන්නේ ගවයන් ආශ්‍රිතව පවතින මෙතෙක් ලංකාවෙන් වාර්තා නොවූ පාචන රෝග තත්ත්වයකි. රෝගය බෝ වූ සතුන් නැව්ගත කිරීමට පෙර එන්නත් කරන ලද්දේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන නිරෝධායන ආයතනය පාචන රෝගය බෝ වූ දෙනුන් සඳහා ගෙන ඇති පියවරත් සියලු සතුන් එන්නත් කිරීම පිළිබඳ පූර්ණ වාර්තාවකුත් ලබා දෙන ලෙස නියෝග කරයි. මේ ව්‍යසනය ගැන රටට කියමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සහ කිරි ගොවි ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න ගොවි ජනතාව සමඟ මඟට බැස්සේය.

ගොං ප්‍රශ්නය හිතනවාට වඩා බිහිසුණුය. රුපියල් කෝටි හත්සිය අනූවක් වියදම් කර ගෙන්වාගෙන ඇත්තේ රටෙත් නොතිබුණු මාරකයක්ය.මේ ගොං ප්‍රශ්නය අපට කාරණා කීපයක් කියා දෙන්නේය. එකක් මේ රටේ මජර දේශපාලනයේ අශික්ෂිතකමය. වැලක වනා ඇති යට ඇඳුමත් හොරකම් කරන් යන මනෝ විකෘතික හොරුන් සේ හැකි ඕනෑම අවලම් ආකාරයකට ජාතික ධනය හොරකම් කරනා අලජ්ජි දේශපාලනයේ හැටිය. අනෙක මේ අසංවර හොරකම් දකිමින් හොරුන් හඳුනා ගනිමින් එම පුද්ගල චරිතම ස්වකීය නායකයන් සේ තෝරා ගන්නා මේ රටේ ඡන්ද දායකයන්ගේ ගොංකමය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

කිරි ගවයන් විදේශ රටවලින් ගෙන්වා ගොවීන්ට බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ පසුගිය රජයේ සහ වර්තමාන රජයේ දේශපාලකයන් හා ඔවුන්ගේ ඇම්බැට්ටයන් අතිවිශාල ජනතා මුදල් ප්‍රමාණයක් අවභාවිත කර ඇති ආකාරය හෙළිදරව් කරන්නේ මේ රටේ විගණකාධිපතිවරයා. මේ විගණන වාර්තාවෙන් තොණ්ඩමාන් ඇමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ හැරිසන් ඇමැතිවරයා දක්වාම මේ අලජ්ජි හොරකම කළ ආකාරය අක්‍රමිකතා පෙන්වා දී තිබෙනවා.

විගණකාධිපතිවරයා කියනවා කෝටි හත්සිය අනූවක ව්‍යාපෘතිය හොර මගඩියක් කියලා. නිරෝධායන ආයතනය කියනවා මෙතෙක් ලංකාවේ නොතිබුණු රෝග මේ දෙනුන් හරහා ලංකාවට ඇවිත් පශු සම්පත විතරක් නෙවෙයි රටේ ජන ජීවිතයත් අනතුරේ කියලා. විළි ලැජ්ජාවක් තියෙනවා නම් මේ යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව මේ අවනඩුව විසඳිය යුතුයි. අනතුරේ වැටී ඇති මිනිස් ජීවිතවලට, පශු සම්පතට ආරක්ෂාව සඳහා සහතිකයක් දිය යුතුයි.

දඹුල්ල – කේ. කේ. ආරියදාස

Mawubima

Related posts

තදබදයට පිළියම් නැති කමෙන් කොළඹ ගමන් ඉබි ගමනේ. ධාවන වේගය පැයක කි.මි. 6ට අඩුවන ලකුණු.

colombotoday

කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday