Colombo Today Local NewsHot News

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි


 

සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය කියය.

එම සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

ලෝක උරුම සිංහරාජය වනසා ජලවිදුලි බලාගාරයක් ඉදිකරයි

සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුල පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්‍ර යොදා එලිපෙහෙලි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගනනාවකට බරපතල හානි සිදුවී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.

යුනෙස්කෝ ලෝක උරුම වැසිවනාන්තරයක් වන සිංහරාජයේ ප්‍රධාන පිවිසුම් ස්ථානයට සමීපව කෙරෙන මෙම වන විනාශය පිලිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනීම ඉමහත් ගැටලුවකි. මධ්‍යම පරිසර අධිකාරිය මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් හා මහජන අදහස් විමසීමක් කර නැත.ලෝක උරුම වැසිවනාන්තරයක් තුල පරිසර නීති අමු අමුවේ උල්ලංගනය කර මෙවැනි විනාශකාරී ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දීම අදාල බලධාරීන්ගේ අසමත්කම මනාව පැහැදිලි කරයි. මෙම විනාශකාරී ක්‍රියාවලියට ඉඩ දීම නිසා සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලෝක උරුම වැසිවනාන්තරයක් තුල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතහා ජාතික පරිසර පනත උල්ලංගනය කරමින් කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට අනුබල දී ඇති දෙවැනි වතාව මෙය වේ. මීට ප්‍රතම ශ්‍රීපාද අඩවිය තුල “ඇලි හත” කුඩා ජලවිදුලි බලාගාරයක් මහජනතාව හා පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා ඉදිකිරීමට අනුබලදී එම ලෝක උරුම වැසිවනාන්තරයටද බරපතල හානියක් සිදු කරන ලදි. මෙම කුඩා ජලවිදුලි බලාගාර වලින් ලැබෙන ඉතා සුළු මෙගාවොට් දෙකට අඩු විදුලිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ රැකගතයුතු ජල පෝශක ප්‍රදේශවල පිහිටි දිය ඇලි හා ගංගා විනාශ කිරීම ජාතික අපරාධයකි.

මෙම ව්‍යාපාරය පරිසර ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් පිලිබඳ නීති උල්ලංගනය කිරීමට අමතරව ගංගා ප්‍රේරක කලාප තුල ඉදිකිරීම් හා සම්බන්ධ නීති රීති කඩ කිරීමක්ද ඊට අමතරව ලෝක උරුම වනාන්තරයක් විනාශ කිරීමක් ද වන බැවින්මධ්‍යම පරිසර අධිකාරිය, යුනෙස්කෝ සංවිධානය, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, පරිසර ඇමති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු සියලු බලධාරීන්ගෙන් අප මේ සිදුවන විනාශය සියලු බලය යොදා වහාම නවත්වන යැයි වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය (http://www.RainforestProtectors.org) කාරුණිකව ඉල්ලා සිටිමු.

 

Related posts

ව්‍යාපාරිකයකුගේ වාහනය හැප්පු ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක්

Admin

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

පන්දාහේ දීමනාව දෙන්න රුපියල් කෝටි 2700 ක් වෙන් කරයි.

colombotoday

පළවෙනි විශ්වාස භංගය හැන්සාඩ් වාර්තාවෙ නෑ… දෙවෙනි විශ්වාස භංගයදා හැන්සාඩ් වාර්තාවක් නෑ.

colombotoday

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday

සිංහලයාගේ සමගිය තුලින් රටට එරෙහි බලවේග එකට තියා පරදවන්න හැකි වුනා. ලැබූ ජය සාමකාමිව සමරන්න – ඥානසාර හිමි පවසති.

colombotoday