Colombo Today Local News

ජනපති හා අගමැති සාක්කි දීමට නොපැමිණි හෙයින් පස්වන වතාවටත් සිතාසි

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූට ලෙස සකස් කළ ලේඛනයක් ජනමාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කිරීම තුළින් ජාතීන් අතර පවතින සංහිඳියාව කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා පෙරේදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට ජනවාරි මස 22 වැනිදා යළි පෙනී සිටින ලෙස දන්වා 05 වැනි වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව පෙරේදා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සිය ලේකම්වරු මාර්ගයෙන් අධිකරණය වෙත එවා තිබූ ලිපි මඟින් දන්වා තිබුණේ තමන් රාජකාරිමය වශයෙන් විදේශ සංචාරයක නිරත වී සිටින හෙයින් සාක්ෂි දීම සඳහා අධිකරණය වෙත පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටියද වෙනත් සාක්ෂිකරුවන්ගෙන් නඩු විභාගය ආරම්භ කිරීමට තමා අපේක්ෂා කරන බව දැන්වීය.

එහෙත් විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කුරුණෑගල මහාධිකරණයේ දිනපතා විභාගයට ගන්නා නඩුවකට පෙනී සිටින හෙයින් අද දින මෙම නඩුව සඳහා ඔහුට පෙනී සිටීමට නොහැකි තත්ත්වයඋද්ගතව ඇති නිසා නඩු විභාගය කල් දමන්න යැයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ ඉකුත් දා ගුවන් විදුලි වැඩසටහනකට සහභාගි වූ විත්තිකරු නීතිපතිවරයා විසින් මෙම නඩුව දිනපතා ප්‍රමාද කරමින් සිටින බවට චෝදනාවක් එල්ල කළ බව කීවේය. නඩුව කල් තබන්නේ විත්තියේ ඉල්ලීම හේතුවෙන් බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කල් යෑම පිළිබඳව වැරැදි චිත්‍රයක් ජනතාවට ලබාදීමෙන් වළකින ලෙසද විත්තියෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව නඩු විභාගය ජනවාරි මස 22 වැනිදාට කල් දැමූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා 5වැනි වතාවටත් සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් නොවැම්බර් මස 10 වැනිදා සිට ජනවාරි මස 05 වැනිදා දක්වා කාල සීමාව තුළ තම සේවාදායකයා ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල සංචාරය කිරීමට නියමිතව සිටින හෙයින් ඊට අවශ්‍ය වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා දැනට අධිකරණය භාරයේ රඳවාගෙන සිටින විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා වීසා බලපත්‍ර අයදුම් කිරීම සඳහා අධිකරණය භාරයේ පවතින විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු වෙත මුදාහරින ලෙස නියෝග කළේය.

Related posts

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

රාජ්‍ය නිළධාරී වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට.. විකිණීමටත් අවසර !

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

colombotoday

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday