Colombo Today Local News

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

ආණ්ඩුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ සූදානමක් ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.

ලොතරැයි පතක මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා මේ බව පැවසී ය.

මේ වන විට ලොතරැයිපත් වර්ග 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වන අතර දිනකට ලොතරැයි පත් ලක්‍ෂ 45ක් පමණ අලෙවි වේ. ඉන් ආණ්ඩුවට මිලියන විස්සක් පමණ උපයන බවත් මහජන සුබසාධනය සඳහා ආරම්භ කළ ලොතරැයි පත මඟින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

හතළිස් දහසකට ආසන්න පිරිසක් ලොතරැයි පත් අලෙවි කිරීමේ නිරත වන බවත් ඔවුන් ගැනද ආණ්ඩුව සිතිය යුතු බවත් මාරඹගේ මහතා පැවසී ය.

ජාතික ලොතරැයි මණ්ඩලයෙවත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙවත් වුවමනාවට මෙවැනි තීරණ නොගන්නා බවත් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවට අනුව මෙවැනි තීරණ ගන්නා බවත් පැවසූ ඒ මහතා ආණ්ඩුව මෙම ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ අදහසක් ඇතැයි ද කියා සිටියේය.

මේ අතර රුපියල් 20ක් වන ලොතරැයි පතක මිල 2017 ජනවාරි මස 1වැනිදා සිට රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට සාපේක්ෂව තමන්ට රුපියල් 5.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.

කොටුව සම්බෝධි විහාරස්ථානයේදී පසුගියදා පැවැති එම සංගමයේ විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹි එම සංගමය තමන්ට දැනට ලැබෙන සියයට 17.50ක ප්‍රතිශතයට අනුව එකී කොමිස් මුදල ලැබිය යුතු වුවද නව මිල සංශෝධනය යටතේ වැඩි කර ඇත්තේ සත 50ක කොමිස් මුදලක් පමණක් බවද ඒ අනුව තවත් රුපියල් 1.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයිද පෙන්වා දෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජනාධිපතිවරයා ආරම්භ කළ ජාතික වකුගඩු නිවාරණ අරමුදල මඟින් ඒකාබද්ධ අරමුදල, ජනාධිපති අරමුදල ඇතුළු අවශ්‍යතා සඳහා පසුගිය වසරේදී රුපියල් බිලියන 16.97ක් රජයට ලබාදී ඇතත් 35,000ක් පමණ වන ලොතරැයි නියෝජිතයන්ගේ හා සේවකයන්ගේ අභිවෘද්ධිය උදෙසා රජය පියවර ගෙන නොමැති බවත් තමන්ට ලැබිය යුතු කොමිස් මුදල ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ අවධානය යොමු කරන බවත් එම සංගමය සඳහන් කරයි.

Related posts

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday

CID නිළධාරිවරයා මාරු කළේ උපන්දින තෑග්ගක් ලෙසද ? ලසන්තගේ දුව මෛත්‍රීට ලියයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

colombotoday

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

colombotoday

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday