Colombo Today Local News

තිදරු මව සහේට ගෙන දියණියන් දෙදෙනෙකු අපයෝජනය කරලා. – වසර 25කට පසු යුක්තිය ඉෂ්ඨ වේ. ළමා නිවාසයේ සිටි එක් දැරියක් දැන් නීතිඥවරියක්.

වික්ටර් ද මෙල් අනුරාධපුර ගල්කිරියාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. සැර පරුෂ පුද්ගලයෙකි. එලෙසම ඔහු සල්ලාලයෙකි. ඔහුගේ එම හැසිරීම් නිසා බිරිඳ ඔහුව අත්හැර ගියේය. ඒ විවාහයෙන් වසර කීහිපයකට පමණ පසුවයි. එලෙස බිරිඳ අතහැර යාම ඔහුගේ සල්ලාල ජීවිතයට තවත් ආශිර්වාදයක් විය.

ඉන්පසු බිරිඳ ගැන කිසිම තැකීමක් නොකළ මොහු සුපුරුදු පරිදි සල්ලාල ජීවිතයක් ගත කළේය. ඒ අනුව ඔහු තව තවත් සල්ලාල වැඩ සිදු කළේය. එම නිසා ගමේ බහුතරයක් මොහු නිවසකටවත් ගැනීමට කැමැති වූයේ නැත. ඒ ඔහු එතරම්ම සල්ලාලයකු වූ නිසාය. ලතා ඉතා රූමත් තරුණියකි. පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ ඇය තරුණයකු සමග රහසේම පැන ගියේ සුන්දර විවාහ ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත් ඇය සිතූ සුන්දර ජීවිතය වසර කිහිපයකට පසු වෙනස් විය.

ඇයට ගතකිරීමට සිදු වූයේ දුක් කරදර, තාඩන පීඩන ඉතාමත් දුක්ඛිත ජීවිතයකි. එහෙත් මේ සියල්ල ඇය ඉවසා දරාගෙන සිටියේ තම කුසින් වැදූ ගැහැණු ළමයි තිදෙනා වෙනුවෙනි. කලක් එලෙස ගත විය. පණ මෙන් ආදරය කළ, විශ්වාස කළ ස්වාමි පුරුෂයා දරු තිදෙනාද තනිකර දමා යන්න ගියේය. ඉන්පසු ඇය අන්ත අසරණ වූවාය. දසදහස් වාරයක් ජීවිතය නැතිකර ගැනීමට පවා සිතුවේය. එහෙත් දරු තිදෙනා ගැන සිතූ ඇය එම තීරණය වෙනස් කර ගත්තාය. අවසානයේ ඇය අදිටන් කර ගත්තේ කෙලෙස හෝ තම දරු තිදෙනා උස්මහත් කරගන්නා බවයි.

දරු තිදෙනකුගේ මවක් වුවත් ඇය වයසින් අඩු තැනැත්තියක වූවාය. එම නිසා වරින්වර ඇය පුද්ගලයන් තුන් දෙනෙකු සමග ජීවත් වූවාය. එහෙත් ඒ කිසිදු පුද්ගලයෙකු ඇය සමඟ වැඩි කාලයක් එකට නොසිටියහ. කාලය එලෙස ගෙවී ගියේය. යළි ඇය දරු තිදෙනා සමග තනි වීය.

ඔය අතර වික්ටර් කලක සිට ලතා පසුපස පැමිණියේ ය. ඒ ඇයගේ ආදරය පතාගෙනයි. එහෙත් ලතා ඔහුට කැමැති වූයේ නැත. එ ඔහුගේ චරිතය හොඳින්ම දන්නා නිසාය. එහෙත් වික්ටර් ලතා පසුපස එන උත්සාහය අත්හැරියේ නැත. කෙලෙස හෝ ඇය තමන්ගේ කරගන්නා බවට ඔහු අදිටන් කර ගත්තේය. ඒ වන විට ඇයගේ වැඩිමහල් දරු දෙදෙනා යෞවන වයසට ළඟාවෙමින් සිටියහ.

වික්ටර්, ලතා වෙනුවෙන් නොයෙක් දෑ සිදු කළේය. ලතා අසරණ වූ අවස්ථාවලදී නන් අයුරින් අයට උදව් උපකාර කළේය. ඒ යටි සිතේ අරමුණු කිහිපයක් තබාගෙනයි. කලක් යද්දී ඇයට ද වික්ටර් ගැන ආදරයක් ඇති විය. එහි ප‍්‍රතිඵලය ලෙස ලතා තම සිව්වන ස්වාමිපුරුෂයා ලෙස වික්ටර්ව තෝරා ගත්තාය. වික්ටර් ලතා සමීපයට පැමිණියේ යටි සිතේ අරමුණු කිහිපයක් සඟවා ගෙනයි. මාස කීපයක් ගත වීමට මත්තෙන් දෙදෙනා අතර ආරවුල් ඇතිවීමට පටන් ගත්හ. තමා සිව්වන වරටත් වැරදි තීරණයක් ගෙන ඇති බවට ලතාට අවබෝධ වූවාය. එහෙත් සැරපරුෂ පුද්ගලයකු වූ වික්ටර්ගෙන් ඇයට ගැලවීමක් තිබුණේ නැත.

ලතා නිවසේ නොමැති අවස්ථාවල වික්ටර් තමන්ගේ යටි සිතේ තිබුණු අරමුණ ඉටුකර ගැනීමට සූදානම් විය. ඒ ලතාගේ වැඩිමහල් දියණියව ලිංගික අපයෝජනයට ලක් කිරීමටයි. ඒ අනුව අවුරුදු 15 ක් වයසැති එම දැරියව කිහිපවරක් ඔහු ලිංගික අපයෝජනයට ලක් කළේ බලහත්කාරයෙනි. ඔහුට තිබූ බිය නිසා දැරිය ඒ පිළිබඳව කිසිවෙකුටත් පැවසුවේ නැත. ඉන් පසු තමන්ට අවශ්‍ය මොහොතේ දී මෙම කාමාතුරයා එම දැරියව අපයෝජනයට ලක් කළේය.

මාස කිහිපයක් එලෙස කළ පසු මෙම කාමාතුරයාගේ දෙවැනි ඉලක්කය වූයේ ලතාගේ දෙවැනි දියණියයි. ඒ වන විට ඇය දොළොස් හැවිරිදි වියේ පසු වූවාය. මෙම කාමාතුරයා එම දැරිවිය ද අවස්ථා කිහිපයකදී බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කළේය. ඇය ද ඒ පිළිබඳව කිසිවකුට පැවසුවේ නැත. ඒ මෙම කාමාතුරයාට තිබූ බිය නිසාය.

වයස අවුරුදු දහයක් පමණ වූ ලතාගේ තුන්වන දියණිය ද මෙම කාමාතුරයා අපයෝජන ලක්කිරීමට සැරසුණේය. ඇයව කිහිපවරක් සිප ගන්නා දුටු ලතාගේ වැඩිමහල් දියණියන් දෙදෙනා ඒ පිළිබඳව තම මවට පැවසුවාය. ඒ සමගම තමන් දෙදෙනාට ද සිදු කළ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව ද පැවසූහ.

ලතා ඒ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් දැමුවාය. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු වහාම වික්ටර්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කළ පසු මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරුව බන්ධනාගාර ගත කරන ලෙසයි. එලෙසම ලිංගික අපයෝජනයට ලක් වූ දැරියන්ව පරිවාස භාරයට පත් කරන ලෙසටත් නියෝග කළේය.

මෙම සිදුවීම සිදුවූයේ දැනට වසර 25 කට පෙරයි. ඒ අවස්ථාවේදී වික්ටර් මැල් නමැති මෙම සැකකරුගේ වයස අවුරුදු 36 කි. එම දැරියන් දෙදෙනාගේ වයස පිළිවෙලින් අවුරුදු පහළොවක් සහ දොළහක් විය.

අවුරුදු විසි පහකට පසු එම නඩුව අනුරාධපුර මහාධිකරණයේ දී පසුගිය 6 වැනිදා විභාගයට ගැනුණි. එහිදී අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ මෙලෙසින්ය.

“වයස අවුරුදු 15 ක සහ 12ක වයස්වල පසු වූ සහෝදරියන් දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා 6කට වරදකරු වූ චූදිතගේ දඬුවම, එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 90ක් එක්වර ගෙවී යන ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස නියෝග කළේය. ඊට අමතරව එක් අධි චෝදනාවකට රුපියල් 10000 බැගින් අධිචෝදනා හයට රුපියල් 60,000 ක දඩයක් ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක්ද නියම කළේය.”

“වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඬුවමක් නියම කළේය. විත්තිකරු සමාජ ගතව සිට අධිකරණයට පැමිණ ඇති බැවින් ඔහු දින 14ක කාලයක් නිරෝධායනය කර සිරගත කරන ලෙසට ද විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.”

මෙහි තවත් විශේෂ දෙයක් තිබේ. එනම් විත්තිකරුගේ බරපතළ ලිංගික අතවරයට ගොදුරු වී ඇති වින්දිත දැරියන් දෙදෙනා ගෙන් පහළොස් හැවිරිදි දැරිය ළමා නිවාසයේ සිට පාසල් අධ්‍යාපනය හදාරා මෙරට නීති විද්‍යාලය දක්වා ගොස්, මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට නීතිඥවරියක ලෙස සේවය කරමින් සිටින බවයි. බාල වයස්කාර දැරියන් දෙදෙනකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ, අනුරාධපුරය ගල්කිරියාගම පදිංචි ලක්ෂපති විදානපතිරලාගේ වික්ටර් ද මැල් යන මෙම කාමාතුරයාට එම සිද්ධියෙන් අවුරුදු 25කට පසු ලැබුණු දඬුවම එයයි.

Divaina

Related posts

මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

Admin

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

colombotoday

අගමැති කාර්යාලයේ දේපල සොරාගත් අයෙක් අල්ලයි

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂාවට සේවයෙන් විශ්‍රාමික ගිය කමාන්ඩෝ බල ඇණියක්

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට ලැබෙන සහනය

colombotoday