Colombo Today Local News

“වෙනසක්” කරන්න ගිහින් රටක් නැතිකරගත් ලිබියාවේ මිනිස්සු දැන් කියන කතාව !

“කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි“ කියලා පරණ කියමනක් තියෙනවනෙ. ඒ කිව්වෙ කවුරු මොනව කිව්වත් ඒව තමන්ගෙ නුවණින් බුද්ධියෙන් විමසලා බලලා ඇත්ත නම් විතරක් පිළිගන්න ඕන කියන එකයි. එහෙම නොකළොත් පස්සෙ පසුතැවෙන්න සිද්ධ වෙනවනෙ. මේකත් එහෙම අනුන් කියන කතා සිහිබුද්ධියෙන් විමසන්නෙ නැතිව කියපු ගමන් පිලි අරන් වැඩ කරල දැන් පසුතැවෙන ජනතාවක් ගැන අහන්න ලැබෙන කතාවක්.

ඒ රට තමයි ලිබියාව. බටහිර රටවල් වල මැදිහත් වෙලා “ලිබියාවේ සිත් පිත් නැති ඒකාධිපතියා“ කියලා හදුන්වපු කර්නල් මුවම්මර් ගඩාෆිව බලයෙන් පහ කරලා, මරලා දාලා දැන් අවුරුදු හයක් වෙන්නත් එනවා. ඒ “ඒකාධිපති පාලකයා“ බලයෙන් පහ කරලා රටට “යහපත් පාලනයක්“ එක්ක “වෙනසක්“ ගේන්න ලිබියානු වැසියොත් ගොඩක් එකතු වුණා.

ඉතින් ඒ ඒකාධිපති පාලකයා එලවා දමලා ඒ ලිබියානු වැසියන් ගේන්න බලාපොරොත්තු වුණ “වෙනස“ ඒ අයට ලැබිලද.?

බලාපොරොත්තු වුණ වෙනස කෙසේ වෙතත් “සැබෑ වෙනසක්“ නම් මේ වෙනකොට ලිබියාවට ලැබිලා.

ගඩාෆිගේ පාලනය යටතේ ලිබියාව ඉහල ඒක පුද්ගල ආදායමක් ඇති, සෞඛ්‍යය අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර වලින් කලාපයේ ඉහලම පහසුකම් සහිත, ඉහල සාක්ෂරතාවයක් ඇති සශ්‍රීක රාජ්‍යයක් වෙලා තිබුණා. ඒත් මේ වෙනකොට ලිබියාවට අයි එස් ත්‍රස්තයින් ව්‍යාප්ත වෙලා. බඩු මිල පස් හය ගුණයකින් ඉහල ගිහින්. රජයේ සේවකයින්ගෙ වැටුප් පවා මාස ගාණකින් ගෙවලා නැති තැනට ඇවිත්. හැම තැනම ත්‍රස්ත බය රජ වෙලා. ඒ මදිවාට රටේ ආරක්ෂාව බිද වැටිලා තියෙන නිසා දවසකට අප්‍රිකානු සංක්‍රමණිකයො 8000ක් විතර ලිබියානු දේශ සීමාව හරහා රට ඇතුලට එනවා. ඒ සංක්‍රමණිකයො මධ්‍යධරණිය හරහා යුරෝපීය රටකට පැනගන්න කාලය එනකල් පදිංචි වෙන්නෙත් ලිිබියාවෙ. ඇත්තටම ලිබියාවට තිබුණාට වඩා “සැබෑ වෙනසක්“ ලැබිලා. ඒ නිසා “ඒකාධිපති පාලකයා“ එලවන්න අවි අතට ගත්ත ලිබියානුවොත් අද කියන්නෙ වෙනස් කතාවක්.

“ගඩාෆිට විරුද්ධව කෙරුණ විප්ලවයට මම එකතු වුණේ මුල් කාලදිමයි. ලිබියාවෙ මුර්සුක් නගරයේ ජීවත් වෙන විප්ලවීය නායකයෙක් වුණු 31 හැවිරිදි මුහම්මද් කියනවා. “2011 ට කලින් මම මේ ලෝකෙ කාටත් වැඩියෙන් වෛර කළේ ගඩාෆිට. ඒත් ගඩාෆි නැතිවුණාගෙන් පස්සෙ ජීවත් වෙන එක එන්න එන්නම අමාරු වුණා. දැන් මම කාටත් වඩා ගඩාෆිට ගරු කරන කෙනෙක්.“

2011 දී ලිබියානු වැසියන්ටත් ලෝකයටත් ඒත්තු ගන්නපු කතාව තමයි “ගඩාෆි තමන්ගෙම රටේ වැසියන්ට විරුද්ධව මහා විනාශයක්, මහා ලේ වැගිරීමක් කරන්න සූදානම් වෙනවා“ කියන එක. ඒ මහා විනාශය වලක්වලා, ලිබියාවේ සිවිල් ජනතාව ආරක්ෂා කරන්න ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත් වීම උවමනා වෙනවයි කියලා තීන්දු වුණා. ඒත් පස්සෙ කාලෙකදි Human Rights Watch කියන සංවිධානයේ අධ්‍යයනයකින් කළ දත්ත විශ්ලේෂණයකිනුත්, Amnesty International සංවිධානයෙන් කරපු අධ්‍යයනයකිනුත් තහවුරු වෙලා තිබුණා කර්නල් මුවම්මර් ගඩාෆිට විරුද්ධව කරලා තිබුණු චෝදනා බොහොමයක් ගොතපු කතාන්දර කියලා.
“විදේශීය කුලී හමුදාවන් සහ හෙලිකොප්ටර් යානා යොදවලා ලිබියාවේ සිවිල් විරෝධතාකරුවන්ට විරුද්ධව මහා ජන ඝාතනයක් කරන්න ගඩාෆි රෙජීමය සූදානම් වෙන බවට විවිධාකාර කතන්දර වැලක් කියමින් නේටෝ නායකයින්, විරුද්ධවාදී කණ්ඩායම් සහ මාධ්‍ය විසින් ලොකු ප්‍රචාරයක් ගෙන ගියා. එහෙත් පසුගිය කාලය තුළ Amnesty International හෙවත් ජාත්‍යන්තර ක්ෂාම ආයතනය විසින් කරපු විමර්ශනයන් කිසිවකට මේ මානව හිමිකම් කඩකිරීම් ගැන කිසිදු සාක්ෂියක් සොයා ගන්න බැරි වුණා. ඒ නිසා මේ චෝදනා ගැන සැකයක් පමණක් ඉතිරි වුණා. ඒ වගේම බෙන්ගාසි කැරලිකරුවන් මේ කතන්දර බොහොමයක් හිතා මතාම නිර්මාණය කළ ඒවා බව පසුව අනාවරණය වුණා.“ කියලා Independent කියන ලෝක ප්‍රකට පුවත් අඩවියේත් සටහන් වුණා.

ඉතින් මේ කියපු “මහා ජනඝාතනයෙන්“ සිවිල් වැසියන් බේරගන්න නේටෝව මැදිහත් වෙලා ගඩාෆි පාලනය ලිබියාවෙන් තුරන් කරලා ලිබියාවට “යහ පාලනය“ ගෙනාවට පස්සේ ලිබියාවෙ ජනතාවගෙ ජීවිත වෙනස් වුණා.
ගඩාෆිව එලවා දැමීමේ විප්ලවයේ අණ දෙන නිලධාරී අබ්දෙල් හකීම් අල් හසිදි පිලි අරන් තිබුණා එයාගේ විප්ලව හමුදාවට සහභාගි වුණු සටන් කරුවෝ ඉරාකයෙන් ඇමරිකානු හමුදාව පලවා හරින්න සටන් කරපු අල් කයිඩාවට සම්බන්ධතා ඇති ජිහාඩ්වාදීන්මයි කියලා. ඒ දවස් වල ඉරාකයේ අල් කයිඩා සටන් කරුවන්ට තමයි දැන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තයො කියන්නෙත්. ඉතින් ලිබියාව අයි එස් ත්‍රස්තවාදයට බිලි වෙච්ච එකත් පුදුමයක් නෙවෙයි නේද.?

ලිබියාවේ තියෙනවා කියපු “ඒකාධිපති පාලනයෙන්“ නේටෝව මැදිහත් වෙලා ලිබියාව බේරගන්න කලින්.. ඒ කියන්නෙ ගඩාෆිගෙ පාලන කාලයේ ලිබියාව කියන්නෙ අප්‍රිකානු රටවල් අතරින් ඉහලම ජීවන තත්වයක් තිබුණ රටක්. ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නු සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වගේ පහසුකම් රාශියක් ලිබියානු වැසියෝ භුක්ති වින්දා. ලිබියාව ඒ කලාපය ඉහලම සාක්ෂරතාවය තියෙන රට වෙලා තිබුණා. ඒත් අර “ඒකාධිපති“ ගෙන් රට මුදාගත්තට පස්සෙ, 2015 අවුරුද්දෙ විතරක් එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 27 වෙනි තැනට වෙනකල් මේ රට පහතට වැටිලා. අද වෙනකොට ලිබියානු දරුවන් මිලියන දෙකක් ඉගෙන ගන්න පාසලක්වත් නැති තත්වයට වැටිලා ඉවරයි.

එදා සැප පහසු ජීවිත ගෙවපු ලිබියානුවන්ගෙන් බහුතරය අද එදිනෙදා ජීවත් වෙන්නත් ගෙනියන්නෙ ලොකු සටනක්. දවස ගානේම වරින් වර බිදවැටෙන විදුලිය සම්බන්ධතා, ඖෂධ හිගය, දවස ගාණේම ඉහල යන අත්‍යවශ ආහාර ද්‍රව්‍ය වල මිල, අහස උසට නැගුණ ජීවන වියදම වගේම දවසින් දවස පහලටම වැටෙන ලිබියානු ඩිනාරයේ අගය ලිබියාව එකම අවුල් ජාලයක් කරලා. තත්වය කොයි තරම් බරපතල අතට හැරිලාද කිව්වොත් ගඩාෆිගේ පාලන කාලයේදී අරාබි ලෝකයේ ධනවත්ම ව්‍යාපාරිකයන් විදිහට හිටපු ලිබියානු පුද්ගලයින් පවා සංක්‍රමණික බෝට්ටු වල නැගලා රට අත් ඇරලා යුරෝපීය රටවල් වලට පලා යන තැනට වැටිලා.

“අපි හිතුවේ විප්ලවයෙන් පස්සේ හැම දේම යහපත් අතට හැරෙයි කියලා. ඒත් වුණේ ඒකේ අනිත් පැත්ත. දවසින් දවස හැම දෙයක්ම නරක අතටම හැරෙනවා.“ ලිබියාවේ ට්‍රිපොලි වල වෛද්‍ය ශිෂ්‍යෙයකු වුණ 26 හැවිරිදි සාලෙම් කියනවා. “ගඩාෆිගේ පාලනය තිබුණු අවුරුදු 42 ක කාලය පුරාවටම නොමැරුණු තරම් මිනිස්සු ප්‍රමාණයක් 2011 ඉදන් අද වෙනකල් වෙන අවුරුදු හයට මැරිලා තියෙනවා. ඒ කාලෙදි මිනිස්සු අතේ සල්ලි ගැවසුණා. නිතරම විදුලිය තිබුණා. ඉහල වැටුප් නොතිබුණාට හැම දේම හරිම ලාබෙට තිබුණා. මිනිස්සුන්ගෙ ජීවිත පවා සරලයි. ගඩාෆිගේ පාලන කාලයේ අපිට මේ තරම් ප්‍රශ්න තිබුණෙ නෑ.

මගේ යාලුවන්ගෙන් සමහරු සංක්‍රමණිකයො විදිහට බෝට්ටු වලින් යුරෝපයෙ රටවල් වලට පැනලා යනවා. මෙහේ හිටියොත් අපට අනාගතයක් නෑ කියලා දන්න නිසා. මම වුණත් මේ අවුල් ජාලාවෙන් පැනලා ගිහින් වෙන රටකට ගිහින් ඉගෙන ගන්න කැමතියි. පිට රටකට යන්න අලුත් පාස්පෝට් එකක් ගන්න මම බලාගෙන ඉන්නේ අවුරුදු ගාණක ඉදන්. පාස්පෝට් එක කොහොම හරි ගත්තත් වීසා ගන්න තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද කියලා මම දන්නෙ නෑ. 2014 වෙනකොටම තානාපති කාර්යාල ගොඩක් අපේ රටෙන් අයින් කරගෙන ගිහින්නෙ..

ඉතින් මට දැනෙන්නෙ මම මගේ රටේම හිර කාරයෙක් වෙලා වගෙයි. ඒ නිසා මම දැන් මගේ රටටම වෛර කරන්න පටන් අරගෙන කියලා මට දැනෙනවා…“

“ගඩාෆිත් එක්කම ලිබියාවත් මැරිලා ගියා…“ ටෙබූ මොහොම්මඩ් කියනවා. “අපි තව දුරටත් එක ජාතියක් නෙවෙයි.. එකිනෙකා කුලල් කාගන්න ගෝත්‍ර, නගර, කලාප ගොඩක්.. කලින් හිටියේ එක ගඩාෆි කෙනයි. දැන් ගඩාෆිලා මිලියන හයයි..!“

හිටපු ලිබියානු රාජ්‍යතාන්ත්‍රිකයෙක් වුණ 48 හැවිරිදි අබු සාලෙම් කියන්නෙත් ඒ වගේම කතාවක්..

“අපේ රට මේ වෙනකොටත් කොටස් වලට බෙදිලා. අපට දැන් ආණ්ඩු දෙකයි.. පාර්ලිමෙන්තු දෙකයි.. මහ බැංකු දෙකයි.. ජාතික තෙල් සංස්ථා දෙකයි.. මේ විප්ලවය කියන එක බොරුවක්.. පට්ටපල් බොරුවක්.. අපේ ලිබියාවෙ මිනිස්සු “විප්ලවය“ කියන වචනෙ තේරුමවත් දැනගෙන හිටියෙ නෑ.. අපි අවුරුදු හතලිස් දෙකක් ගඩාෆිගෙ හෙවණ යට ආරක්ෂාව ලබපු මිනිස්සු.. නේටෝවටයි ඕන වුණේ ගඩාෆිව අපේ රටෙන් එලවන්න.. අපට නෙවෙයි.. මේ විප්ලවය ලිබියානු මිනිස්සුන්ගෙ විප්ලවයක් නෙවෙයි.. නේටෝවේ විප්ලවයක්..!“

ලිබියාවෙ මිනිස්සු තමන්ගෙ රටට වුණ විනාශය ගැන කොහොම පසු තැවුණත්, ලිබියාව දැන් තිබුණු තැනින් ගොඩක් දුර ඇවිත් ඉවරයි.. නැවත නිවැරදි කරගන්න බැරි වැරදි ගොඩක් කරගෙනත් ඉවරයි.. ලිබියානු මිනිස්සුන්ටත් ඉතිරි වෙලා තියෙන්නෙ පසුතැවීම විතරයි. මොනව කරන්නද.? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනෙ.

නිම්මි මුදිතා හේරත් – දිවයින

Related posts

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි

colombotoday

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin

ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර… නැවතුණු දුම්රිය යළි ධාවනය…

colombotoday

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Admin

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday