ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් රැඳී සිටීමට නම් කළ වැරදිවලට පක්ෂයෙන් සහ පක්ෂ නායකත්වයෙන් සමාව ගන්නවාද නැත්නම් ඉල්ලා අස්වී යනවාද යන දෙකෙන් එකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට තෝරා ගැනීමට දැන් අවස්ථාව උදාවී තිබෙන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා පක්ෂයට වින කරන පක්ෂයට වෛර කරන පක්ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්රණ කරන සියලුම දෙනාව ඉවත්කරලා පක්ෂය ශක්තිමත් කිරීමට පක්ෂය තුළ පූර්ණ ප්රතිසංවිධානයක් කළ යුතු බවට.
මෙම තීරණය අපි ගත්තේ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් පසුවයි. පක්ෂයට ආදරය කරන සියලුම දෙනාගේ අදහස වී තිබෙන්නේ දැන් ඉවසුවා හොඳටෝම ඇති බවයි.
වපුරපු දේවල් අනුවයි අස්වැන්න ලැබෙන්නේ. ජනාධිපතිතුමා මෛත්රිය වපුරද්දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම වෛරය වැපුරුවා. එම නිසා ඒවායේ අස්වැන්න අද හෙටම එතුමාට ලැබෙනු ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
දිවයින