Colombo Today Local News

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21)දින පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ඒ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටි LTTE සිරකරුවන්ට ගිනිඅවි පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

අමාත්‍යවරයාගේ තර්ජනයට ලක්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 8 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර ඇත.

එම පෙත්සම අද (21)දින ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එමෙන්ම පෙත්සම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත්කොට වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියමකර තිබේ.

එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා ගොනුකිරීමට පියවරගන්නා ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නොතිසි ද නිකුත් කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාර නීති රෙගුලාසිවලට අනුව බන්ධනාගාර නිලධාරියෙකුට පවා ගිනිඅවි සහිතව බන්ධනාගාරය තුළට ඇතුළුවීම තහනම් බව පෙන්වා දුනි.

එසේ ගිනිඅවි බන්ධනාගාරය තුළට රැගෙන යාමට නම් ඒ සඳහා නිසි නීතිමය පටිපාටිය අනුගමනය කළ යුතු බව සුමන්තිරන් මහතා සඳහන් කර ඇත.

එවැනි නීතිමය පසුබිමක් තිබියදී බන්ධනාගාර විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා සිය ගිනිඅවිය ද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළුවී එහි සිටි පෙත්සම්කාර රැඳවියන්ට තර්ජනයකිරීම බරපතළ වරදක් බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිරකරුවන්ගේ ඥාතීන් වෙත තමා කනගාටුව පළ කරන බව වගඋත්තරකාර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ බවත් සුමන්තිරන් මහතා සිහිපත් කර ඇත.

ඒ අනුව, තම සේවාදායකයින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී තිබෙන හෙයින් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත් කොට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඕනෑම බන්ධනාගාරයක රඳවාතබන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් අතරෙන් දෙදෙනෙකු කොළඹ බන්ධනාගාරය වෙත මාරුවී යාමට කැමැත්ත පළකර ඇති බව සඳහන් කර ඇත.

කෙසේවෙතත් ආරක්ෂක හේතූන් මත එම සැකකරුවන් යාපනය බන්ධනාගාරය වෙත මාරු නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවත් එම සැකකරුවන් වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රැඳවියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එය පෙබරවාරි මස 15 වනදා යළි කැඳවීමට ද නියෝග කළේය.

Related posts

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ. කිහිප දෙනෙකු අත්අඩංගුවට..

colombotoday

කුඩා දැරිවියන් විවාහ කරගැනීම ගැන පොහොට්ටු ජා.ලැ අපේක්ෂක අලි සබ්‍රි තමාගේ ස්ථාවරය පැවසිය යුතුයි.

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

colombotoday

ගංජා වගාව නීතිගත කරනවා..- ඇමති සිසිර ජයකොඩි

colombotoday