Colombo Today Local News

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

බදුල්ල, නෙලුම්ගම, දෙවැනි අදියර, අංක 58 නිවසේ ඩී.එම්. හසන්තිකා මධුමාලි වයස අවුරුදු 18ක පාසල් ශිෂ්‍යාවකි. 2020 වසරේදී වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඇය මෑතක් වනතුරුම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූවා.

එහෙත් මීට මාස 08කට පමණ ඉහතදී එක්වරම ඇගේ ඉණෙන් පහළ අප්‍රාණික වී රෝහල් ගත කර තිබෙනවා

මේ වන විට එම රෝගී තත්ත්වය සුවකර ගත නොහැකිව ඇය දැඩි අසරණ තත්ත්වයෙන් පසුවනවා.

මේ පිළිබඳ අදහස් දක්වන මධුමාලි ශිෂ්‍යාවගේ මව වන චන්ද්‍රා පියසීලි මහත්මිය මෙසේ පැවසුවා.

මේ දරුවා අපේ තෙවැනි දරුවායි. මගේ අනෙක් දරුවන් දෙදෙනා විවාහ වෙලයි ඉන්නේ. මටත් මගේ සැමියාටත් ස්ථිර රැකියාවක් නැහැ. එක එක තැන්වල කුලී වැඩ කරලයි දරුවන්ටත් උගන්වගෙන ජීවත් වුණේ. අපට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මගේ සහෝදරියක් මධුමාලි දුවව නුවර එයාගේ නිවෙසට ගෙන්වාගෙන පාසල් යවන්න කටයුතු කළා. ඒ අතර තමයි දුව මීට මාස 08කට පමණ ඉහතදී එක්වරම අසනීප වුණේ. මොකක් වුණාද කියන්න අපි දන්නේ නැහැ. දරුවා හොඳට හිටියා. වෛද්‍යවරු නම් කියන්නේ සුෂුම්නාවේ ගෙඩියක් තිබී පිපිරී යෑමෙන් මේ තත්ත්වය වුණා කියලයි. අසනීප වුණු දවසේ සිට නුවර හා බදුල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තා. තවමත් මගේ දුවට නිසි සුවයක් නැහැ.

මධුමාලි මෙසේ පැවසුවා.

රෑ නින්දට ගිහින් උදේ නැඟිටින්න යනකොට නැඟිට ගන්න බැරිවුණා. මම කෑ ගහලා ඇඬුවා. මට මොනාද වුණේ කියලා හිතාගන්න බැරි වුණා. මට ගොඩක් බලාපොරොත්තු තිබුණා. අපේ අම්මයි, තාත්තයි විඳින දුක්වලින් කවදා හෝ මම ඒ අයව ගොඩගන්නවා කියලා හිතුවා. ඒත් අද මගේ ඒ බලාපොරොත්තු සුන් වෙලා. දැන් මාව ගොඩගන්න මවුපියන් ගොඩක් මහන්සි වෙනවා. මම දන්නවා මගේ මවුපියන්ට මාව සනීප කරන්න තරම් සල්ලියක් නැහැ. මගේ කකුල් පණ නැතිවුණාට මගේ හිත හයියයි. මම වීල් චෙයාර් එකේ ඉඳන් පාඩම් වැඩ පුළුවන් විදියට කරනවා. මගේ යාළුවන් මට නෝට්ස් ගෙනත් දෙනවා. මම උසස් පෙළට පරිගණක විද්‍යාව හදාරනවා. මට පරිගණකයක් නොමැති එක ලොකු අඩුපාඩුවක්. කවුරු හරි මට පරිගණකයක් දෙන්න කටයුතු කරනවා නම් ඒක මට ගොඩක් වටිනවා. මට ජීවිතයේ වෙනත් බලාපොරොත්තු නැහැ. මම කෙසේ හෝ 2020දී උසස් පෙළ විභාගය ලියනවා.

මධුමාලි ඇතුළු පවුලේ අයට උදවු කළ හැකි නම් 0719649480 හෝ 0712296530 අංක ඔස්සේ සම්බන්ධ කර ගත හැකියි. ඔවුනට මුදලින් උදවු කරන්නේ නම් බදුල්ල ලංකා බැංකුවේ 82855312 දරන ගිණුමට මුදල් බැර කළ හැකිය.

Related posts

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

colombotoday

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

දෙමළ බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලූ සියළු ඉල්ලීම් අලුත් ව්‍යවස්ථාවෙන් දෙන්න සියල්ල සූදානම් !

colombotoday

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Admin

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

colombotoday