මධ්‍යම කඳුකරයේ සිට ඇරඹෙන ලංකාවේ සිවුවන විශාලතම ජල ද්‍රෝනිය වන කැලණි ගංගාව මධ්‍යම, සබරගමු හා බස්නාහිර යන පළාත් 3ත් ඒ ආශ්‍රිත දිස්ත්‍රික්ක 7 පසුකරමින් කොළඹින් මුහුදට වැටේ. මෙය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34 කට මායිම් වන අතර උප ජල ද්‍රෝණි 34 කට මායිම් වේ. දිගින් කි.මී. 145 යුක්තව, මෙන්ම අක්කර හත්ලක්ෂ දහනවදහසක වාර්ෂික ජල ස්කන්ධයකින් යුතුව ගලා එන ජල කඳෙන්, ජලය 64% ම මුහුදට ගලා බසී.
මීට බොහෝ කලකට පෙර සැළලිහිණි සන්දේශයේ සඳහන් කැලණි ගංගා කුමරිය වූ කළි අතිශය මනරම් මනස්කාන්ත ස්ථානයකි. ඕලු, නෙළුම්, නිල් මානෙල්, කෙකටිය මලින් පිරී ගත් කැලණිගං දියපහරින් පැන් සනහා ගත් සැළලිහිණියා කැලණි වෙහෙර වඳී. එදා කැලණි නදියේ ජලය බීමට, නෑමට, රෙදි සේදීමට ඉතා ඉහළ පිරිසිදු තත්ත්වයේ තිබුණත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.
මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කැලණි ගඟේ ජලය පානය කිරීමට තබා ඇඳුමක් සෝදා ගැනීමටවත් නොහැකි තරමට අපිරිසිදුවී තිබීමයි. මෙසේ වී ඇත්තේ ස්වභාවික හේතු නිසා නොව මිනිසා විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාවලින් හේතුවෙනි.කැලණි ගඟේ දෙපස පරිසර වාර්තා නැති කම්හල් 4000 ක් ඇති බව පරිසරවේදීහු පරිසර ඇමැතිවරයාට පෙන්වා දී ඇත.
ගඟ දෙපස ඉදිකර ඇති මහා පරිමාණ කර්මාන්තශාලාවලින් ගඟට මුදාහාරින අපජලය හේතුවෙන් එකළ කැලණි ගඟේ ජීවත් වූ මත්ස්‍ය සම්පත, නෙක මල්, කඩොලාන විශේෂ විනාශ වී ඇතිවාක් පමණක් නොව ඇතැම් ස්ථානවල කැලණි ගඟේ ජලය පානය සඳහා තබා සතුන් නෑවීමට තරම්වත් නුසුදුසු වී ඇත. මේ මගින් දිගින් දිගටම සිදුවන කැලණි ගඟ ආශ්‍රිත පරිසර හානිය වළක්වාගනු වස් මධ්‍යම පරිසර අධිකාරිය මගින් කැලණි ගඟ දෙපස වම් ඉවුර හා දකුණු ඉවුරු ආශ්‍රිතව මීටර් 500ක් දුරට සිදු කෙරෙන කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනු ලබයි.
මෙවැනි සමීක්ෂණයක් මුලින් සිදුකෙරුණේ මීට අවුරුදු 15 පමණ කලින් වන අතර මෙවර මෙම ඔක්තේබර් 19 සිට 22 දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ බස්නාහිර පළාත් කාර්යාලයේ හා ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 13ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකරනු ලබයි. පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිත කර්මාන්ත සමීක්ෂණයේ යෙදෙන ස්වභාවික සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වර්ණිකා රණවක ආරච්චි හා ගම්පහ කාර්යාලයේ පරිසර නිලධාරිනි අනෝමා කරුණාරත්න යන පිරිස අපට හමුවූයේ කැලණි පන්සල පාරේ පට්ටිය හන්දියේදීය. මේ ඔවුන්ගේ හඬ.
“කැලණි ගඟේ ඉඳලා මීටර් 500 ඇතුළත් සමීක්ෂණ කටයුතු තමයි අපි කරන්නේ. මෙහිදී අපි කර්මාන්තශාලාවට පරිසර බලපත්‍රය තියනවාද? ආයතනය තියෙන තැන කොහෙද? කර්මාන්තශාලාවේ පිහිටි ස්ථානය, ලිපිනය, කර්මාන්තශාලාවෙන් කෙරෙන කාර්යභාරය වගේ දත්ත ටිකක් තමයි ලබා ගන්නේ. මීට වසර 10 ට කලින් කරලා තිබුණු සමීක්ෂණයට අනුව ඒ කර්මාන්තශාලා යාවත්කාලීන කිරීම හා නව කර්මාන්තශාලා පිළිබඳ තොරතුරු ලබා ගැනෙනවා. අපි ළඟ ජංගම දුරකථනයේ App එකක් තියනවා. අපි ඇතුළත් කරන තොරතුරු ප්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් මැදිරියේ සටහන් වෙනවා. අනිත් හැම කණ්ඩායමකම තොරතුරුත් මේ විදිහට ප්‍රධාන කාර්යාලයට ලැබෙනවා. අවසන් වාර්තාව සකස් කෙරෙන්නේ එතනින් තමයි. අපි දින කීපයක් මෙසේ නිරීක්ෂණය කරනවා. සමහර ආයතන ඡායාරූප ගැනීම ගැන ප්‍රශ්න කළා අපි තේරුම් කරලා දුන්නා.“ කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට සහ වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. කැලණි ගඟට අපජලය හා අපද්‍රව්‍ය බැහැර කරනු ලබන කර්මාන්ත පවතී නම් ඒවා හඳුනාගන එම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මේ යටතේ සිදු කිරීමට නියමිතය.
මේ පිළිබඳව අප මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලනය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි සිළුමිණට මෙසේ කීය. කැලණි ගඟ ආශ්‍රිත කර්මාන්තශාලා සමීක්ෂණයක් මීට අවුරුදු 15 ට කලින් කරද්දි බොහොමයක් කර්මාන්තවලට පරිසර බලපත්‍රයක් තිබුණා. නැති අයට පරිසර බලපත්‍ර ගැනීමට සැලැස්සුවා. මෑත වකවානුව වනවිට නව කර්මාන්තශාලා බොහොමයක් ඉදිවෙලා. සාමාන්‍යයෙන් කැලණි ගඟේ ඉඳලා මීටර් 500 ක් කීවාට ලොකු කර්මාන්තශාලා තියනවා නම් මීටර් 500 විතරක් නෙමෙයි මීටර් 700, 800 වුණත් බලනවා. රජයේ හා පෞද්ගලික අංශය යන දෙකේම. කැලණි ගඟේ ජලය පරණ වික්ටෝරියා පාලම ළඟ, කොලොන්නාව ඇල සමීපයේ හරිම අපිරිසිදුයි. අඹතලේ, ලබුගම, කලටුවාව, පට්ටිපොල හරියේ ජලය පිරිසිදුයි. කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශයේ ස්ථාන 14 න් ජලය පරීක්ෂා කරනවා. අඹතලේ සවිකරලා තියන ස්වයංක්‍රීය real time උපකරණයෙන් විනාඩි 5න් පහට තොරතුරු ගන්නවා. එය ඍජුවම සම්බන්ධ වෙන්නේ බත්තරමුල්ල පරිසර පාලන අංශයට. කැලණි ගඟේ පවත්වාගත යුතු ජලයේ තත්ත්වය ගැන ගැසට් නිවේදනයක් තියනවා. ජලයේ තත්ත්වය කොටස් 5 ට බෙදලා තියෙනවා.
(අ) කාණ්ඩය යටතේ පානය සඳහා සුළු පරිපහදුවක් අවශ්‍ය ජලය (කිතුල්ගල)
(ආ) ස්නානය සඳහා විනෝදාස්වාදය සඳහා ජලය.(කිතුල්ගල, කඩුවෙල)
(ඇ) ජලජ ජීවීන් සඳහා සුදුසු ජලය.
(ඈ) පානය කිරීම සඳහා පූර්ණ පිරිසිදු කිරීමෙන් පසු ලබාගන්නා ජලය. (අඹතලේ, පට්ටිවිල)
(ඉ) වාරිමාර්ග හා කෘෂිකාර්මික කටයුතු සඳහා
(ඊ) ඉහත කාණ්ඩවලට අයත් නොවන ජලය.
ආදී වශයෙනුයි. සමහර ප්‍රදේශවල ජලය ක්ලෝරින් රස දැනෙන්නේ ඇයිදැයි ඇසූ විට,
“ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ බැක්ටීරියා රහිත ජලය ලබා දෙන්න බැඳී සිටින නිසයි.“ කීය. කැලණි ගඟ දෙපස කර්මාන්ත සමීක්ෂණය කෙරෙන්නේ, පියවර 3ක් ලෙසින්. ඒ ගඟේ ජලය මහා පරිමාණයට දූෂණය කරන කර්මාන්ත, ගං ජලය, මධ්‍යම පරිමාණයට දූෂණය කරන කර්මාන්ත හා සුළු පරිමාණ දූෂණය කරන කර්මාන්ත වශයෙනි. ආදී වශයෙන් මේ සම්බන්ධයෙන් දත්ත ඇතුළත් කළ හැකි App එකක් තියනවා. මෘදුකාංගයක් එයට ඇතුළත් වී ඇති සරල ප්‍රශ්න කීපයකට පිළිතුරු සටහන් කරලා යැවිය යුතුයි. මේ සැරේ කර්මාන්තශාලා ගැන නීතිය තදින් ක්‍රියාත්මකයි.
කර්මාන්තශාලාවලටම වරද පටවන්නත් බැහැ. සමහර ගෙවල්වල වැසිකිලි ගඟට හරවලා සමහර කඩවල භෝජනශාලාවල කුණු කානු ගඟට හරවලා. දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ මෙහෙම වුණාම ගඟේ වතුර කළුම කළු පාටයි. කැලණි ගඟේ දිවෙන තෙල් පාලම (කලටුවාව) කැලණි පාලම, අළුත් පාලම, කදිරාන පාලම මට්ටක්කුලිය, ජර්මන් පාලම, වික්ටෝරියා පාලම, කෝඩිචි පාලම ආදී පාලම් කීපයක් කැලණි ගඟ හරහා වැටී තියනවා. ගඟ දෙපස අවිධිමත් හා අනවසර ඉදිකිරීම් රැසක් තියනවා.
මේ හැමදෙයක් ගැනම සොයාබලා කැලණි ගංදෑල පවිත්‍ර කිරීම තමයි අපේ අරමුණ.
කැලණි ගඟ දෙපස මෝදර, මට්ටක්කුලිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, කොලොන්නාව, අංගොඩ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ගඟට දමා ඇත. ඇතැම් ප්‍රදේශවල සිසාරා පැතිර යන්නේ දුර්ගන්ධයකි. එහෙත් කැලණි ගඟ දෙපස අනවසර ඉදිකිරීම් නම් නිමක් නැත.
කැලණි ගඟ දෙපස කර්මාන්ත සමීක්ෂණය සඳහා කොළඹ, හෝමාගම, කඩුවෙල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, සීතාවක, සීතාවකපුර, බියගම, දොම්පේ, කැලණිය, පෑලියගොඩ, වත්තල, මාබෝලේ නාගරික හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල සමීක්ෂණ කටයුතු සිදු කරයි. සීතාවකපුර ප්‍රදේශයේ සමීක්ෂණ කටයුතු කරන පරිසර නිලධාරිනී වෑවිටවිදාන මෙසේ කීවාය. “කොවිඩ් ප්‍රශ්නය තියෙද්දි වුණත් අපි මේ ටිකේ සමීක්ෂණ කටයුතු කරගෙන යනවා. මීටර් 500 වඩා එහාට යමින් වුණත් කර්මාන්තශාලා ඇත්නම් තොරතුරු අරන් ඇප් එකට ඩවුන්ලෝඩ් කරනවා. මම හිතන්නේ මෙය සාර්ථක ක්‍රමයක් වේවි. තොරතුරු සොයා ගැනීමට හා කැලණි ගඟ පවිත්‍ර කර සංවර්ධනය කිරීමට.“