World

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

‘හක්කපටස්’ සහිත අන්නාසි ගෙඩියක් ආහාරයට ගෙන තිබූ අතර එය පුපුරා යාමෙන් අදහාගත නොහැකි වේදනාවකට පත් ව සිටියා.

කේරළයේ පලක්කඩ් දිස්ත්‍රික්කයේ නිහඩ මිටියාවතේ වනාන්තරය තුලින් පිටතට පැමිණ අසල ගම්මාන ආශ්‍රිතව සැරි සරා තිබුණේ ආහාර සොයාගෙනයි. එහි දී ඇය සාමාන්‍ය අන්නාසි ගෙඩි ආහාරයට ගෙන තිබෙනවා. ඉන් දින කිහිපයකට පසුව යි ඇය මේ හක්කපටස් යෙදූ අන්නාසි ගෙඩිය ආහාරයට ගෙන තිබෙන්නේ.

බොහෝ ගැමියන් අන්නාසි වල හක්කපටස් යොදන්නේ වගාවන් වල් ඌරන්ගෙන් ආරක්ෂා කරගැනීමට බව අඩවි වන නිළධාරීන් පවසනවා.

”ඇතින්න කිසි කෙනෙක් ව සැක කරල නෑ. ඇය ගමට සම්පුර්ණයෙන් ම අලුත් වෙන්න පුලුවන්. මිනිසුන්ගේ ක්‍රියාවන් නොදන්නවා වෙන්න පුලුවන්. පෙර රසවත් ව තිබූ අන්නාසි ගෙඩිය කට තුල දී ම පුපුරා ගියා ම ඇය ගොඩක් බියටත් කම්පනයටත් පත්වෙන්න ඇති. ඇය එය කිසි සේත් ම අපේක්ෂා නොකළ දෙයක් වෙන්න ඇති…” අඩවි වන නිළධාරී මෝහන් ක්‍රිෂ්ණන් ෆේස්බුක් සටහනක් තබා පවසනවා.

එම හක්කපටස් පිපිරීම බොහොම බලවත් එකක් බවයි සදහන් වන්නේ. ඇගේ දිවත් මුඛයත් දරුණු ලෙස තුවාල ලබා තිබුණා. දරාගත නො හැකි වේදනාවකින් ඇය ගම වටා ඇවිද ගොස් තිබුණා. අධික කුසගින්නත් මුඛයේ වේදනාව්ත්, නැවත ආහාර ගැනීමට නොහැකි වීමත් නිසා ඇය දැඩි දුකකට පත් ව සිටින්නට ඇති.

”ඇය කිසි ම කෙනෙකුට හානියක් කරල නෑ. වේදනාවෙන් පලා යනකොට වත් ඇය ගමේ එක ම ගෙයකට, පැල්පතකට හානි කරල නෑ. ඒකයි ඇය උතුම් ඇතින්නක් කියල මම කියන්නේ…” ක්‍රිෂ්ණන් මහතා මලයාලම් භාෂාවෙන් තැබූ ෆෙස්බුක් සටහනේ ඉතා ම සංවේදී ව පවසනවා.

ඇතින්න ඉන්පසු ගමන් කොට තිබුණේ, වෙල්ලියාර් නදිය වෙතට යි. ඇය නදියට බැස හිටගෙන සිටින ඉරියව්වෙන් සිට තිබෙනවා. ඒ තුවාලය සම්පුර්ණයෙන් ම වතුරෙන් වැසී යන ලෙසිනුයි. ඇතැම් විට දරාගත නොහැකි වේදනාව සමනය කරගන්න වෙන්නත් පුලුවන්. නැතිනම්, කුඩා කාලයේ පැමිණි වේදනාවක් නදියේ බැස සිටීමෙන් සුව වූ බව සිහිවූ නිසා වෙන්නත් පුලුවන්. අඩවි වන නිළධාරීන් පවසන්නේ ඇය එසේ සිටින්නට ඇත්තේ තුවාලය මැස්සන්ගෙන් සහ වෙනත් කෘමි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට බවයි.

අඩවි වන නිළධාරීන්ට ඇයව මුණගැසෙන විටත් ඇය ජීවතුන් අතර සිට තිබෙනවා. ඔවුන් විසින්, සුරෙන්ද්‍රන් සහ නීලකන්තන් කියන හීලෑ ඇුතුන් දෙදෙනා යොදාගෙන ඇය ව නදියෙන් පිටට ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

”මට හිතෙන්නෙ ඇයට සිදුවෙන්න යන දේ දැනෙන්න ඇති. ඇය අපිට කිසි ම දෙයක් කරන්න ඉඩ දුන්නේ නෑ…”

නිළධාරීන්ගේ පැය ගණනක උත්සාහය ගං දියේ ම පාවී යද්දී… ඇය සිටගෙන සිටි ඉරියව්වෙන් ම ගංගාව තුල දී අවසන් සුසුම් හෙලුවා. ඒ මැයි මස 27 වැනි දින සවස 4 ට පමණ.

මිය ගිය ඇතින්න, අසීරුවෙන් ගංගාවෙන් පිටතට ගෙන ට්‍රක් රථයක් ආධාරයෙන් ඇය ආදාහනය කිරීමට තොරාගත් ස්ථානයට රැගෙන යනු ලැබුවා.

”ඇයට හොද සමුගැනීමක් දෙන්න අපිට අවශ්‍ය වුනා. ඇයට ඒක උරුමයි. ඒ නිසා අපි ඇයව වනාන්තරය තුලට ට්‍රක් රථයකින් අරගෙන ගියා. ඇය හැදී වැඩුනු සෙල්ලම් කරපු වනාන්තරයේ තැනක අපි දර දමා ඇයව තැන්පත් කරා. ආදාහනයට කලින් ඇගේ මරණ පරීක්ෂණය කරන ලද වෛද්‍යවරයා ‘ඇය යන්න ගියේ තනියම නෙවෙයි ක්‍රිෂ්ණන්’ කියල හරිම දුක්මුසු ස්වරයකින් පැවසුවා. ඔහුගෙ මුහුණ මාස්ක් එකකින් වැහිල තිබුණත් දරුණු දුකක් ඒ තුළ තිබුණු බව මම දුටුවා. අපි ඇය ව එහි දී ම ආදාහනය කළා. අපි ඇගේ චිතකයට හිස නමා වන්දනා කරල ගෞරව කරල ගිනි දැල් නිවී ගිය පසු එතැනින් පිටත් ව ආවා…” යි ක්‍රිෂ්ණන් මහතා ඉතා ම සංවේදී ව පවසනවා.

තවත් මාස 18කින් 20කින් කුඩා පැටවෙකු මෙලොවට බිහි කිරීමට නියමිත ව තිබුණු ඇතින්න, තමාටත් පැටවාටත් කුසගිණි නිවාගැනීම පිණිස ආහාර සොයා ගම්මානයට පැමිණි පසු පැටවාද සමගින් මෙලාව හැර දමා යන්න ට සිදු වුණා.

බොහෝ වන සතුන් මිනිසුන්ගෙන් විය හැකි අනතුරු, මිනිසුන් අටවන කපටි උගුල් ගැන දැනුම්වත් වී නැහැ. මිනිසුන් සතු ප්‍රණීත ආහාරයක් රස වැටුණු විට එබන්දක් වනයේ සොයාගත නො හැකි නිසා ඒ පසු පස නැවත නැවත පැමිණෙනවා. උගුල් සදහා කෘර මිනිසුන් යොදාගන්නේ ද සතුන් කැමති ප්‍රණීත ම ආහාරය යි. ඇතැම් විට ඒ ආහාර වලින් කොටසක් වනය අසල කල් තියා ම තැන්පත් කොට සත්වයා ව උගුලට ගෙන්වා ගැනීම ද ඔවුන් විසින් සිදු කරන තවත් කෲර ක්‍රියාවක්. ගර්භනී ක්ෂීරපායී සත්වයෙකු ඇතැම් ආහාර සදහා ප්‍රිය විය හැකි අතර, වෙනදාටත් වඩා ආහාර ගැන සැළකිලිමත් විය හැකියි. මිනිසුන්ගේ කෲර නො මිනිස් ක්‍රියාවන් නිසා, ලොව පුරා දුක කියාගත නොහැකි අසරණ සතුන් ලක්ෂ ගණනින් මිය යනවා.

පසුගිය දා ත්‍රි වීල් චේන් මන්දකට හසුවී නො සැළකිලිමත් නිර්වින්දන ක්‍රම සහ ප්‍රතිකාර හමුවේ මරණයට පත් වූ රටක් හැඩවූ ලංකාවේ කලු දිවියාට සිදු වූයේ ද ඒ හා සමාන ඉරණමක්.

මේ නිසා සිත් පිත් ඇති මිනිසුන් විසින් සිත් පිත් නැති මිනිසුන් පරදා වන සතුන් ව ආරක්ෂා කරගැනීමට බොහෝ කැප විය යුතු යි.

අන්තර්ජාලය ඇසුරෙනි – ඩොන්

Related posts

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday

තරුණ‍යෙකු ඝාතනය කර ප්‍රංශය ඇවිළු පොලිස් නිලධාරියා අත්අඩංගුවට..

Admin

ගුවන් අනතුරකින් පුද්ගලයින් 09ක් මිය යයි

Admin