Colombo Today Local News

ඇමති රාජිතගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය කිරීමට පාර කැපීමක්…

පසුගියදා ඇමති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය මේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරු පවුල්වල ජීවත්ව සිටින සියළු දෙනාට කරන ලද අපහාසයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (17) වැනිදා හබරාදූව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

යහපාලන ආණ්ඩුව අද 2020 ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද ඉලක්ක කරගෙන රට නැවත යුද්ධයකට ගෙන යන ආකාරයේ ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ වගේම උතුරු නැගෙනහිර දේශපාලාඥයින්ද ඊට සමගාමීව ජනතාව කුපිත කරන ආකාරයේ ප්‍රකාශ කරමින් සිටිනවා. එහි ආසන්නම සිදුවීම තමයි රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කරපු ප්‍රකාශය. ඔහු රට මුදාගත් රණවිරුවන්ගේ ජීවිත ඉතා හෑල්ලුවට ලක්වන ආකාරයට ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ තමයි රණවිරුවන් විසින් ඝාතනය කරන ලද්දේ මේ රටේ අහිංසක දරුවන් ලෙස හුවා දක්වන ආකාරයේ ප්‍රකාශ. අපි අහන්න කැමතියි රාජිත ඇමතිවරයා ප්‍රකාශ කලේ මේ ආණ්ඩුවේ නිල ස්ථාවරයද කියන එක. මොකද මේ වෙන තුරුත් රටේ ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂ දෙකේ කිසිම නායකයෙක් කියලා නැහැ ඇමතිවරයා ප්‍රකාශ කලේ ඔහුගේ පුද්ගලික මතය බව.

අපි අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් අහන්න කැමතියි ඒක ආණ්ඩුවේ නිල ස්ථාවරයද කියලා, දේශපාලන පක්ෂ භේදයකින් තොරව මේ යුද්ධයේදී මේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් හමුදා සොල්දාදුවන් 29000 ක් ජීවිත රට වෙනුවෙන් පුජා කරා. තවත් දහස් ගානක් රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ වටිනා කාලය හා ශරීරාංග පූජා කරා. ඔවුන් ඒ සියල්ල කළේ රටේ නීත්‍යානුකූල හමුදාවක් විදියට මිස වෙනයම් ආකාරයකට නොවෙයි. ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක ඇමතිවරු මේ විදියට රටේ නීත්‍යානුකූල හමුදා සෙබළුන්ගේ මානසිකත්වය බිද දමන ප්‍රකාශ කරන්නේ නැහැ. රාජිත සේනාරත්න ඇමතිවරයා ආණ්ඩුවේ නිල කැබිනට් ප්‍රකාශකයා විදියට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාත් ලග තියාගෙනයි මේ ප්‍රකාශය කෙරුවේ. ඒක ඉතාම බරපතලයි. ඒ වගේම අපි ආණ්ඩුවෙන් අහන්න කැමතියි අද වෙනකොටත් එල්.ටී.ටී. සංවිධානය මේ රටේ හා ලෝකයේ බොහෝ රටවල තහනම් සංවිධානයක් විදියටයි තිබෙන්නේ මෙවැනි තත්වයක් තුළ රජයේ හමුදා විරුවන් මරා දැමුවේ උතුරේ අහිංසක දරුවන් ලෙස ප්‍රකාශ කිරීම කොතරම් සාධාරණද? යුද්ධය පැවති අවස්තාවේ උතුරේ විතරක් නොවෙයි දකුණෙත් අහිංසක සිවිල් ජනයා ඝාතනය වුනා. නමුත් රජයේ හමුදාව කිසිම අවස්ථාවක අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කලේ නැහැ. නමුත් එල්.ටී.ටී. සංවිධානය දිගින් දිගටම දකුණේ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කොට බස්, දුම්රිය හා පොදු ස්ථාන වල මරාගෙන මැරෙන හා පාර්සල් බෝම්බ පුපුරවා හැරි බව අද මේ ඇමතිවරුන්ට අමතක වෙලා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ගුණරත්න මහතා කියා සිටියේ බලහත්කාරයෙන් උතුරේ තරුණ තරුණියන් යුද්ධයට ඇදගෙන ඇවිත් ඒ අයගේ ජීවිත විනාශ කෙරුවා. ඒ බොහෝ පිරිස් යුද්ධ කලේ තමන් කුමක් සදහා යුද්ධ කරනවාද කියලවත් දන්නේ නැතුවයි. ඒ නිසා එල්.ටී.ටී. එක තමයි ඇත්තටම ජන සංහාරයක් කෙරුවේ. හමුදාව කවදාවත් බලෙන් මිනිස්සු හමුදාවට බදවාගත්තේ නැහැ. බලෙන් ජනතාව යුද්ධයකට ඇදගෙන ගියේ නැහැ. ඒ නිසා එල්.ටී.ටී. එකට ලංකාවේ හමුදා සෙබලා සමාන කිරීම රාජිත ඇමතිවරයා කරපු වරදක්. තමන්ගේ දරුවෝ බලහත්කාරයෙන් ත්‍රස්තවාදී සංවිධානයට අරන් ගිහින් ඝාතනය කරපු නිසා උතුරේ දෙමව්පියන් විරෝධය දැක්විය යුත්තේ රටේ නීත්‍යානුකූල හමුදාවට නොවෙයි කුරිරු ලෙස මිනිස් ඝාතන සිද්ධකළ එල්.ටී.ටී. සංවිධානයටයි. ඒ වගේම ඒ දෙමාපියන් තමන්ගේ මියගිය දරුවන් වෙනුවෙන් පහනක් පත්තු කරා කියලා අපිට විරුද්ධ වෙන්න බැහැ. නමුත් දෙමළ ජාතික සන්ධානය හා විග්නේෂ්වරන් අනවශ්‍ය  ජාතිවාදී දේශපාලන වාසි ලබාගන්න මිනිසුන්ගේ කදුළු විකුණනවා. ඒකට අපිට එකඟ වෙන්න බැහැ. ඔවුන් රටේ දේශපාලනය මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදනවා වෙනුවට ජාතිවාදය අවුලවමින් මේ ප්‍රශ්න තව තවත් අවුලට පත් කරමින් ඉන්නවා. ආණ්ඩුවත් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ඨකර ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් ඉන්නවා.

ආණ්ඩුවේ ඇමතිවරු රටේ නීත්‍යානුකූල හමුදාවට අපහාස කරමින් ලෝකය පුරා කොටි ඩයස්පෝරාව විසින් පතුරවමින් ඉන්න මතය තවත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මේ අවස්ථාවේදී මම කියනවා. පසුගිය දවසේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකාශය තවත් ප්‍රභාකරන් කෙනෙක් නිර්මාණය කිරීම සදහා පාර කැපීමක් විදියටයි අපි පක්ෂයක් විදියට දකින්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා කරුණාකරලා රාජිත ඇමතිවරයා දරණ ස්ථාවරය ආණ්ඩුවේ ස්ථාවරයදැයි රටට හෙළිකරන්න කියලා. නැතිනම් රාජිත ඇමතිවරයා යුද්ධය නිසා අසරණ වුණු සෑම රණවිරු පවුලකින්ම සමාව ගත යුතුයැයි අපි යෝජනා කරනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවට අපි අවසාන වශයෙන් කියනවා මුළු ලෝකයම රටවල නිදහස වෙනුවෙන් සටන් කල රණවිරුවන් වීරත්වයෙන් සලකද්දි මේ විදියට රණවිරුවා ශ්‍රී ලංකාව තුල බාල්දුවට ලක් කරන්න එපා කියලා. ආණ්ඩුවට විජයග්‍රහණය සමරන්න කොන්දක් නැති වුනාට මේ රටේ බහුතරයක් වු ත්‍රස්තවාදයට විරුද්ධ ජනයා රටේ නගරයක් නගරයක් පාසා රණවිරුවන් සමරමින් එය සමරන්න කටයුතු කරනවා.

මාධ්‍ය ලේකම්

එක්සත් ජාතික නිදහස් පෙරමුණ

දුරකතන-0768-471846

Related posts

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිවේගී නොතීසියක්.. අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

පිල්ලෙයාන්ගේ කාර්යාලයකින් බෝම්බ දෙකක් සොයා ගනී

colombotoday

යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin