Colombo Today Local News

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැප කිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28)දින හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහිලා චීනය උදව්කර තිබෙන බවද එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (28)දින පැවැති විශේෂ හමුවේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවත් සෙසු රාජ්‍යයන් සමඟ පවත්වා ගන්නා සබඳතා සාධක කිහිපයක් අනුව තීරණය වන බවත්ය. ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නා බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අන්තර්ජාතික සබඳතාවල දී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැපකිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම බව කී රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක් බවද කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළයුතු වන අතර ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු බවද පෙන්වා දුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ඒ සඳහා උදව් ලබාදෙන ලෙසයි. විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ මහත්වරු ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමග නොව වෙනත් සමාගමක් සමගයි – අනුරගෙන් හෙළිදරව්වක්

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

බුදු පිළිම සංහාරය ගැන බොදු බල සේනාවෙන් නිවේදනයක්…

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday