සාංචි ස්ථූපයේ රුව ඇතුළත් ඉන්දීය රුපියල් 200 නව නෝට්ටුවක් ඉන්දීය රාජ්‍ය බැංකුව විසින් පසුගිය සතියේ හදුන්වා දී තිබෙනවා.
අශෝක අධිරාජයා විසින් ගොඩනැගූ සාංචි බෞද්ධ විහාරය සැලකෙන්නේ ඉපැරණි ඉන්දීය ගෘහනිර්මාණ හා කැටයම් කලාවේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙසයි. බුද්ධ චරිතය හා ජාතක කතා එහි කැටයම් කර ඇත. ඉන්දියාව සිය අතීත උරුමයේ වටිනකම් සිය රටවැසියන්ට මෙලෙස සමීප කිරීමට උත්සහා ගනිද්දී රාජ්‍ය ආගම බුද්ධාගම වූ මේ රටේ සිදුවන්නේ නම් ඊට හාත්පසින්ම වෙනත් දේවල්ය.
මුදල් නෝට්ටුවල දක්නට ලැබුණු සදකඩපහන, දළදා පෙරහැර, මුරගල, සීගිරිය, වටදාගෙය, ඇතුළු අතීත ප්‍රෞඩ උරුමය සංඛේතවත් කරන රූ සටහන් මෙන්ම ජාතියේ අනන්‍යතාවය වූ සිංහයාද දැන් දක්නට නැත. ඒ තැන්වලට ගිරවුන්, සමනලුන්, බකමූනන්, වව්ලන් ආදේශ වී ඇත්තේ, සංහිදියාව, සර්වාගමික සහජීවනය ආදී එකි නොකී බහුබූතවලින් ඔලු පුරවාගෙන ජාතියේ අක්මුල් ගලවා දමන්නට සැදී පැහැදී සිටින දේශපාලකයන්ගේ හා ඔවුන්ට උපදෙස් දෙන අක්මුල් සිදගත් කේවට්ටයන්ගේ අනුහසිනි.
භාරතය නමැති කිරුළේ දිදුලන මාණිඛ්‍යය නම්, ගෞතම බුදුන් වහන්සේ යැයි ඉන්දීය අගමැතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය නිසා අනිත් ආගමිකයන්ගේ සිත් රිදුනේ යැයි කියන කිසිවෙක් ඉන්දියාවේ සිටියේ නැත. ලංකාව බෞද්ධ රටක් යැයි කියද්දී මෙරට පාලකයන්ගේ කකුල් වෙවුලති. අන්‍යාගමිකයන්ගේ සිත රිදී තමන්ගේ ඡන්ද කුට්ටියට කෙළවේයැයි උන් බියවෙති. උතුරු නැගෙනහිර පළාත්වල බුදු පිළිමයක්, බෞද්ධ විහාරස්ථානයක් හැදීමත් අන්‍යාගමිකයන්ගේ සිත් රිදෙන, සංහිදියාවට බාධා වෙන වැඩකි.
එමෙන්ම බුද්ධගයාව ලෝකවාසී බෞද්ධයන්ට උරුමකරදුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ඉන්දීය රජය පසුගිය වසරේ සමරු මුද්දරයක් නිකුත් කර තිබුණේ, ශ්‍රී ලංකා රජය මෙරට තුලදී ධර්මපාල තුමන් අනුස්මරණය කිරීම පවා අමතක කර දමා තිබියදී වීම විශේෂත්වයකි.