යෝජිත අලුත් ව්‍යවස්ථාව ගැන තවමත් කිසිවක් කෙටුම්පත් කර නොමැති බව ආණ්‌ඩුව කියයි. එම ව්‍යවස්‌ථාවෙන් රටේ ඒකීයභාවයත් බුද්ධාගමට වර්තමාන ව්‍යවස්‌ථාවෙන් හිමි තැනත් කිසිදු අයුරකින් වෙනස් නොකර බව ද කියයි. ආණ්‌ඩුව කෙලෙස කීවත් අලුත් ව්‍යවස්‌ථාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටු වාර්තා ඇසුරෙන් ආණ්‌ඩුව මේ වන විටත් අතුරු වාර්තාවක් සකස් කර ඇති බවත් ඉදිරි කාලයේ දී ව්‍යවස්‌ථා කෙටුම්පත සකස්‌වන්නේ අපේ රටේ සියලු පක්‌ෂවල නියෝජිතයන්ගේ එකඟතාවයෙන් සකස් කර ඇති එම අතුරු වාර්තාවෙන් බව පවසන මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ කල්‍යානන්ද තිරාණගම මහතා, එම අතුරු වාර්තාව පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.
තවමත් කිසිම කෙටුම්පතක්‌වත් නැති නව ව්‍යවස්‌ථාව ගැන සමහරු ජනතාව තුළ විශාල බියක් දැනටමත් ඇතිකරලා යෑයි ආණ්‌ඩුව කියනවා?
කෙටුම්පතක් හදල නැතිවුණාට ආණ්‌ඩුව අතුරු වාර්තාවක් හදල තියෙනවා. ආණ්‌ඩුවට දැන් වෙලා තියෙන්නෙ ඒ වාර්තාවෙ තියෙන දේවල් ගැන ජනතාවට ඇත්ත කියන්න බැරි එකයි.
මොකක්‌ද ඒ අතුරු වාර්තාව?
ආණ්‌ඩුව මේ අලුත් ව්‍යවස්‌ථාව හදන්න ව්‍යවස්‌ථා මණ්‌ඩලයක් පත්කළා. ඒ මණ්‌ඩලය පත්කරන්න යෝජනා කරපු දවසෙ අගමැතිතුමා කළ කතාවෙදි එතුමා කිව්වෙ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා මණ්‌ඩලයක් බවට පත්කරන බවත් ඊට අමතරව තවත් කමිටු කිහිපයක් පත් කරන බවත් කිව්වා. ඒ අනුව මෙහෙයුම් කමිටුවක්, අනු කමිටු හයක් සහ ඊටත් අමතරව රට පුරා ගිහින් ජනතාවගෙ අදහස් විමසන කමිටුවකුත් පත් කළා. ජනතාවගෙ මත විමසන කමිටුවේ වාර්තාවයි, අර අනු කමිටු හයේ වාර්තායි සියල්ල එකතු කරල ඒ මත අතුරු වාර්තාවක් සකස් කරන බවත් අගමැතිතුමා එදා ප්‍රකාශ කළා. මෙහෙයුම් කමිටුව විසින් ඒ අතුරු වාර්තාව දැන් හදල තියෙනවා. මේ නව ව්‍යවස්‌ථාව ගැන අද අපේ සමාජයේ ගොඩනැගිල තිබෙන කතාබහ නිකම්ම හිතලු නෙමෙයි. ඒ අතුරු වාර්තාවෙන් පැන නගින ප්‍රශ්න.
මේ අතුරු වාර්තාව ගැන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇහුවා. ඒකට අගමැතිතුමා දුන්නු උත්තරේ තමයි ඔහොම එකක් ආණ්‌ඩුව හදල නෑ කියන එක. නමුත් එතුමා පසුගිය දිනක කොටිකාවත්තෙ නාගරුක්‌ඛාරාම පන්සලේදි මේ අතුරු වාර්තාව ගැනත් එහි ඇති කරුණු ගැනත් දීර්ඝ කතාවක් කළා. ඒ සම්පූර්ණ කතාව මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේත් පළ වුණා. පසුගිය ජනවාරි 9 සහ 10 දෙදින මේ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන්න දිනත් නියම කරගත්තා. කෙසේ හෝ එය කෙරුණෙ නෑ. මට තියෙන ප්‍රශ්නය ආණ්‌ඩුව ඇයි මෙහෙම ජනතාව රවට්‌ටන්නෙ? ඔවුන් දැන් මේ අතුරු වාර්තාව හංගන්නයි හදන්නෙ.
ආණ්‌ඩුවම පත්කළ අනු කමිටුවල නිර්දේශ අනුව ආණ්‌ඩුවම පත් කළ මෙහෙයුම් කමිටුව හැදූ වාර්තාව ඇයි ආණ්‌ඩුව හංගන්න හදන්නෙ?
ආණ්‌ඩුවට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ අතුරු වාර්තාවෙ රටේ ඒකීය භාවය ගැනත් බුද්ධාගමට හිමි තැන ගැනත් තියෙන ඇත්ත රටට කියන්න බැරිකම. සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධානය දිගින් දිගටම කියපු කතාවක් තමයි අපට මේ අලුත් ව්‍යවස්‌ථාවෙ තියෙන වචන ගැන ප්‍රශ්නයක් නෑ කියන එක. මේ ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ ප්‍රධානියා හැටියට කටයුතු කරන ජනාධිපති උපදේශක ජයම්පති වික්‍රමරත්න කියන්නෙත් අපි ඒකීය හෝ පෙඩරල් කියන වචනවල එල්ලිලා ඉන්න ඕන නෑ කියලයි. මේ දෙගොල්ලම කියන්නෙ අපි මේ වැඩේ කරමු කියලයි.
ගෝලීය දෙමළ සංධානයේ ප්‍රධානි සුරේන් සුරේන්ද්‍රන් ඉන්දියාවේ හින්දු පුවත්පත හා සාකච්ඡාවකට එක්‌වෙමින් ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමට ඔවුන් උදව් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කියන මේ දේවල් නිකම්ම කරන ප්‍රකාශ ලෙස ඉවත දැමිය නොහැක්‌කේ පසුගිය ආණ්‌ඩුව පරාජය කිරීම සඳහා මෙරට දේශපාලකයන්ගේ ද සහභාගිත්වයෙන් සිංගප්පූරුවේ පැවති රහසිගත සාකච්ඡාවක් සංවිධානය කර ඇත්තේ ගෝලීය දෙමළ සංධානය නිසයි. ගෝලීය දෙමළ සංධානය කරන ඉල්ලීම් ඉවත දැමීමට නොහැකි තත්ත්වයකට මේ ආණ්‌ඩුව පත්වී තිබෙනවාද යන සාධාරණ සැකයක් අප තුළ ඇතිවෙනවා. මේක අපි හදපු ආණ්‌ඩුව. ආණ්‌ඩුව අපට ඕන දේ කරන්න ඕන වගේ තර්ජනයක් ඔහුගේ ප්‍රකාශ තුළ තිබෙන බවක් පෙනෙනවා.
අපේ රටේ ඒකීයභාවයට වර්තමාන ව්‍යවස්‌ථාවෙන් හිමි තැන කිසිසේත්ම වෙනස් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පසුගියදා ප්‍රකාශ කළා. එය මේ රටේ ජනතාවට ලබාදුන් සෘජු ප්‍රතිඥාවක්.
මේ අතුරු වාර්තාවේ එක හා දෙක වගන්තිවල අපේ රට ගැන තිබෙන විග්‍රහය මෙහෙමයි. ශ්‍රී ලංකාව නිදහස් ස්‌වාධීන හා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්‌ය යන වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති වගන්තියම ඊට ඇතුළත් කරල ඊට පසුව තවත් වගන්ති හතරක් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව එක් නිදහස් ස්‌වෛරී ස්‌වාධීන නොබෙදූ හා බෙදිය නොහැකි රජයක් වන අතර ….. යනුවෙන් එහි එක් වගන්තියක් තිබෙනවා. මොකක්‌ද මේ නොබෙදූ හා බෙදිය නොහැකි කියන්නෙ? මේකෙ තව වගන්තියක තියෙනවා ශ්‍රී ලංකාව නිදහස් ස්‌වෛරී ජනරජයක් වන අතර එය ඒකීය රාජ්‍යයකි කියල. මෙතැන ඒකීය රාජ්‍යය කියන එකට දෙමළ පිටපතේ දීල තියෙන අර්ථ නිරූපණය ඔරුමිත්තනාඩු කියලයි. ඔරුමිත්තනාඩු කියන්නෙ නොබෙදූ හා බෙදිය නොහැකි රාජ්‍යය කියන එකයි. මේ අතුරු වාර්තාවේ ඒකීය කියන වචනය දැම්මට ඒක දෙමළෙන් අර්ථ නිරූපණය කරල තියෙන්නෙ එහෙමයි. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිනියගෙ කාලෙ හැදූ ව්‍යවස්‌ථාවෙත් ඔය වචනය භාවිත කර තිබුණා.
බුද්ධාගමට වර්තමාන ව්‍යවස්‌ථාවෙන් හිමි තැන නව ව්‍යවස්‌ථාවෙන් අහිමි වන බවට විශාල ආන්දෝලනයක් පසුගිය දිනවල ඇතිවුණා. තමුන් සිටින තුරු එවැන්නක් සිදුවීමට කිසිසේත් ඉඩ නොදෙන බව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පසුගියදා ප්‍රකාශ කළා නේද?
ආගම පිළිබඳ මේ අතුරු වාර්තාවේ යෝජනා හයක් තිබෙනවා. ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය යන්න පළමුවැනි වගන්තියයි. බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය යනුවෙන් අවසාන කර තිබෙනවා. ඒ වාක්‍ය දෙක මැද්දට ‘ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතීන් සෑම පුද්ගලයකුටම සහතික කරන අතර සියලූ ආගම්වලට අභිමානයෙන් හා ගෞරවයෙන් සලකන කිසිම ආකාරයට වෙනස් ලෙස සැලකීමක් නොකර’ කියල වාක්‍යයක් දාල තියෙනවා. අනෙකුත් ආගම්වලට කිසිම ආකාරයෙන් වෙනස් ලෙස සැලකීමක් නොකර බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය කියල කියන කොට කිසිම ආගමකට වෙනස් ලෙස නොසලකනවා කියන්නෙ සෑම ආගමකටම එක හා සමානව සලකනවා කියන එකනෙ. එතකොට බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක් ලැබෙන්නෙ කොහොමද? මේ අතුරු වාර්තාවේ බොහෝ වාක්‍යවල මුලින් සහ අගින් කියන දේවල්වල අර්ථය වෙනස් වන ලෙස මැදට කොටස් එකතු කරල තියෙනවා. මේ අතුරු වාර්තාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බව ස්‌වාමීන්වහන්සේලාටත් පෙන්වා දී තිබෙනවා. නමුත් එම වාක්‍යයට ඊට පසුව එකතු කර ඇති කොටසින් එම ප්‍රමුඛස්‌ථානය සියලු ආගම් අතරේ බෙදාහැර තිබෙනවා.
මේ අතුරු වාර්තාවට රටේ ඒකීයභාවය ගැනත් බුද්ධාගම ගැනත් කර ඇති මේ යෝජනා කවුරු කළ ඒවාද යන්න සොයා බැලීමට මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. මේ අතුරු වාර්තාව හැදුවෙ අනු කමිටු හා මහජන අදහස් එකතු කළ කමිටුවේ නිර්දේශ මත මෙහෙයුම් කමිටුවයි. ඒ මෙහෙයුම් කමිටුව ශ්‍රීලනිපයෙන් සුසිල් ප්‍රේමජයන්තයි, නිමල් සිරිපාල සිල්වයි ඩිලාන් පෙරේරයි, එජාපයෙන් අට දෙනයි, ඡේවීපියෙන් බිමල් රත්නායකයි අනුර කුමාර දිසානායකයි, මුස්‌ලිම් කොංග්‍රසයෙන් හකීමුයි රිෂාඩ් බද්යුදීනුයි, දෙමළ සංධානයෙන් සුමන්දිරනුයි සම්බන්දනුයි, ඒකාබද්ධ විපක්‌ෂයෙන් දිනේෂ් ගුණවර්ධනයි ප්‍රසන්න රණතුංගයි එක්‌ක විසිඑක් දෙනකුගෙන් සමන්විතයි. එහෙම නම් මේ යෝජනාවන් ගෙනාවෙ කවුද කොයි පක්‌ෂයෙන් ද යන්න දැනගැනීමේ අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවා. අතුරු වාර්තාවේ ඇති යෝජනාවලින් ශ්‍රීලනිපයේ යෝජනා මොනවද, එජා පෙ යෝජනා මොනවද, ජවිපෙ යෝජනා මොනවද දෙමළ සන්ධානයේ යෝජනා මොනවද මුස්‌ලිම් කොංග්‍රසයෙ යෝජනා මොනවද කියල ජනතාව දැනගන්න ඕන. මේ සියලූ දේශපාලන පක්‌ෂවල නියෝජිතයන්ගේ පොදු එකඟතාවෙන් සකස් කරපු අතුරු වාර්තාවෙන් තමයි හදන අලුත් ව්‍යවස්‌ථාවට පදනම වන කෙටුම්පත හැදෙන්නෙ.
මේ අතුරු වාර්තාවේ දැක්‌වෙන තවත් භයානක යෝජනාවක් වන සෙනෙට් සභාවක් නැවත ඇතිකිරීමට සියලු දෙනා එකඟ වූ බව මෙහි සඳහන් වෙනවා. මේ වාර්තාවෙන් හදන්නට යෝජනා කරන සෙනෙට් සභාව ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තුවට බලයක් නැති වෙනවා. මේ සෙනෙට් සභාවට සාමාජිකයින් 55 ක් සිටින අතර එයින් 45 ක්‌ම පත්කරන්නේ පළාත් සභාවලින්. එක් පළාත් සභාවකින් පස් දෙනා බැගින් පළාත් සභා නවයෙන් 45 දෙනයි. තව දහදෙනෙක් පාර්ලිමේන්තුවෙන් පත්කරනවා. ඉන්පසු කිසියම් ව්‍යවස්‌ථා සංශෝධනයක් කරන්නේ නම් පාර්ලිමේන්තුවෙන් සහ මෙම සෙනෙට් සභාවෙන් ඒ සඳහා තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය බවත් මෙහි සඳහන්. එනම් එවිට පාර්ලිමේන්තුව වැඩක් නැති ආයතනයක් බවට පත්වෙනවා. පළාත් සභා සම්බන්ධයෙන් බලය බෙදීම පිළිබඳ කිසියම් යෝජනාවක් සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවෙන් සහ මෙම සෙනෙට් සභාවේ වැඩි දෙනාගේ කැමැත්තත් අදාළ පළාත් සභාවේ නියෝජිතයන් වැඩිදෙනාගේ කැමැත්තත් අවශ්‍ය බවත් මෙහි දැක්‌වෙනවා. උතුරු පළාත් සභාවෙ ඉන්නෙ එක සිංහලයයි. මුස්‌ලිම් එක්‌කෙනයි. මේක ක්‍රියාත්මක වුණොත් උතුරු පළාත් සභාවෙ කොහොමද යෝජනාවක් සම්මත කරගන්නෙ? මෙයින් පැහැදිලි වෙන්නෙ මේ අතුරු වාර්තාවෙන්ම උගුල අටෝල ඉවරයි.
අතුරු වාර්තාවෙන් මේ යෝජනා කර තිබෙන සෙනෙට් සභාවටත් මෙහෙයුම් කමිටුවට සම්බන්ධ සියලුම පක්‌ෂවල නියෝජිතයන් එකඟවෙලාද?
මේ යෝජනාවලට තමුන් එකඟ වුණාද නැද්ද කියල මේ පක්‌ෂ නියෝජිතයෝ දැන් ජනතාවට ප්‍රකාශ කරන්නට ඕන. ඒ පක්‌ෂත් තමන්ගේ නියෝජිතයන්ගෙන් ඒ ප්‍රශ්නය අහන්නට ඕන. මේ රටේ ජනතාවටත් එය දැනගැනීමට විශාල අයිතියක් තිබෙනවා.
පාලිත සේනානායක – දිවයින ඉරිදා සංග්‍රහය