ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්තද මැයින් ජාතික පුවත්පතක ඉකුත් මැයි 8වැනිදා ප්‍රධාන ශිර්ෂය වශයෙන් පලවිය. අනුර කුමාර දිසානායකට එරෙහි කණ්ඩායම ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර ඇති අතර අනුරගේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව එම පිරිසේ මතය වී ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස – අයර්ලන්ත ගමනේ ‘රස රහස’ මොකක්ද? මැයින් ඇතුළු පිටුවක විශේෂාංග ලිපියක් පළවිය. ඉරිදා සිංහල පුවත්පත් 1984 සිට සෙනසුරාදා නිකුත්වන හෙයින් මේ පුවත සෙනසුරාදා වන විට සමාජජාලා වෙබ් අඩවි හරහාද විකාශය විය. අතිරහත් තිත්ත වෙනවා කියනවාක් මෙන් එම පුවත්පත ජවිපෙ කෝපයට ලක්විය.
මේ පිළිබඳව ජවිපෙ විසින් මැයි 8 ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ප්‍රකාශකල අතර නායකයින්වූ අනුර, ටිල්වින්, ලාල්කාන්ත සහ විජිතද එයට එක්වී සිටියහ. එදින රාත්‍රී රටපුරා දිස්ත්‍රික්ක ගණනාවක සිය විරෝධය දැක්වෙන පෝස්ටරයක්ද රටපුරා වෙනදා මෙන්ම අලවා තිබිණි. පුවත්පත් කොමිසම හමුවටද ජවිපෙ සිය පැමිණිල්ල රැගෙන මැයි 9වැනිදා ගියේය.
ලාංකීය සම්ප්‍රදායික දේශපාලන ගමන්මගේ වෙනස්කල තීරණාත්මක සන්ධිිස්ථානයක් ලෙස සැලකිය හැකි ජවිපෙ උපත සිදුවී 2016 මැයි මස 14වැනිදාට වසර 51කි. එම වසර 50 තුළම ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් කැරළි 2ක් ජවිපෙ මෙහෙයවනු ලැබීය. ජවිපෙ පළමු කැරැල්ල 1971 අප්‍රේල් 5වැනිදා ආරම්භවූ අතර එහිදී සමගි පෙරමුණ රජය යටතේ ඝාතනයට ලක්වූ කැරළිකරුවන් සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරල්ල 1986 ආරම්භවී 1990 අවසන්වූ අතර එහිදී ඝාතනයට ලක්වූ සහ අතුරුදහන්වූ පිරිස 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය.
ජවිපෙට එරෙහිව පුවත්පත් චෝදනා කළේද තමන්ට චෝදනා කල අවස්ථාවන්හි එම පුවත්පත්වලට එරෙහිව ජවිපෙ ප්‍රති චෝදනා කළේද අද ඊයේ නොවේ. එය ජවිපෙ 52 වසරක ඉතිහාසය ආරම්භයේ සිටය. ජවිපෙ මංගල රැළිය 1970 අගෝස්තු 10වැනිදා හයිඩ් පිටියේ පැවති විට එහි නායක විජේවීර ඇත්ත පුවත්පතට දැවැන්ත වාග් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ඇත්ත පත්‍රයේ 1969 නොවැම්බර් 9 වැනිදා ‘තරුණයින් බිලිගන්න සී.අයි.ඒ කෙමනක්’ යන හිසින් තණමල්විලදී 1969 අගෝස්තු මස තරුණයින් 125කට ආසන්න දින 5ක අධ්‍යාපන සහ අවි පුහුණු ජවිපෙ කඳවුර පිළිබඳව පළකල පුවතක් හේතුවෙනි. පසුව ජවිපෙ ප්‍රථම පුවත්පත් සාකච්ඡාව 1970 සැප්තැම්බර් 20වැනිදා බොරැල්ල මැගසින් පාරේ නාගරික ප්‍රජා මණ්ඩලයේ පවත්වමින් නායක විජේවීර මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ ජවිපෙට එරෙහිව ධනේෂ්වර පන්තියේ මර්ධනය නවත්වන ලෙසට ආණ්ඩුවට අවධාරණය කරන ලෙසය.
ජවිපෙ වර්තමානයේ ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම හමුවට ගියද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල හමුවට ගියේ නැත. පුවත්පත් කොමිසම යනු ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳව ස්වයං නියාමක කොමිසමක් වන අතර ඉන් ‘පනින මුවන්ට උල් තියලා වැඩක් නැතිවාක්’ වැනි වැඩකි. එහෙත් හොද මාධ්‍ය සංදර්ශනයකි. පුවත්පත් මණ්ඩලය යනු අර්ධ අධිකරණ බලතල සහිත ‘නරියා කහඹිලියා පැලේ උඩ වාඩි වුනා වාගේ’ ක්‍රියාවකි. පුවත්පත් මණ්ඩලයට ගියහොත් එය පැමිණිල්ලකි. නෛතිකව විභාග කරයි. පැමිණිලි සහ විත්ති වාචකයන් පුවත්පත්වල පළකරනු ලැබේ. පැමිණිල්ල විසින් චෝදනාව නිෂේධ කල යුතුය. ඒ සඳහා හරස් ප්‍රශ්න ඇසීම සහ සාක්ෂිකරුවන් කැඳවීමේ බලයද පුවත්පත් මණ්ඩලය සතුය. පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් කිරීම යනු ළිදේ වැටුණු ඉදිකටුව සොයනවා වාගේ වැඩකි. පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කිරීම යනු ඇත්ත නැත්ත හෝ තිත්ත ඇත්ත හෙළිවීමකි.
ජවිපෙ නායක රෝහණ විජේවීර 1978 සැප්තැම්බර් 4 ඇත්ත පුවත්පතේ ප්‍රවෘත්තියක් සහ කතුවැකිය මගින් අසත්‍ය, විකෘති සහ අනිසි කරුණු අඩංගුවී ඇති බවට ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට පැමිණිලි කළේය. ඇත්ත පුවත්පතේ පළවූයේ අලුත් ව්‍යවස්ථාව විජේවීරට හොඳයිලු යන ප්‍රවෘත්තිය සහ විජේවීර කථා කරන්නේ ජවිපෙ ප්‍රතිපත්තිද යන සිරස්තලය යටතේ පළවූ කතුවැකියය. එයද විජේවීර 1978 සැප්තැම්බර් 1වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇසුරෙන් ලියූවකි. ප්‍රවෘත්ති පාඨය සහ කතුවැකිය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී විභාග පැවැත්විය යුතු බව පුවත්පත් මණ්ඩලය තීරණය කළේය. විජේවීර සාක්කි දෙමින් පුවත සම්පූර්ණ අසත්‍යයැයි කීවේය. ප්‍රධාන සාක්ෂි විභාගයෙන් පසු හරස් ප්‍රශ්න ඇසීම දින 3ක් මුලුල්ලේම පැවති අතර සිව්වන දිනයේ සමථයකට එලැබීමට ඇති හැකියාව පිළිබඳව එම පාර්ශවයන් මගින් මණ්ඩලයට දන්වන ලදී. කල්දමනු ලැබූ විභාගය 1978 සැප්තැම්බර් 21දින දෙපක්ෂයම සමථයට එලැඹීමෙන් අනතුරුව පැමිණිලිකරුවු රෝහණ විජේවීර පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේය.
ජවිපෙ ඉතිහාසය අනුව ආරම්භයේ සිටම ඔවුන්ගේ පිළිතුරු, ‘ෆ්ලැට් න්‍යායේ’ උත්තර විය. ජවිපෙ 1983 මැයි රැළිය වෙනුවෙන් 1983 අප්‍රේල් 26වැනිදා නීතිඥ උභය වීරසිංහට අයත් ආමර්වීදියේ සිරිල් සී. පෙරේරා මාවතේ පිහිටි ලී මෝලේ උඩ තට්ටුවේ පිහිටා තිබූ ජවිපෙ කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. එයට ද අයිලන්ඩ් පුවත්පත වෙනුවෙන් සහභාගි වූයේ සහකාර කර්තෘවරයෙකුවූ අජිත් සමරනායක සහ උප කර්තෘවරයෙකුවු ඇන්ටන් වීරසිංහය. විජේවීරගේ අදහස් දැක්වීමෙන් පසු දි අයිලන්ඩ් මාධ්‍යවේදී ඇන්ටන් වීරසිංහ ඇසුවේ ‘ඔබ ඇයි තරුවක් ගහපු කැප් එකක් පැළඳ සිටින්නේ ඇයිද’ යන්නය. විජේවීර ක්ෂණිකව පිළිතුරු දුන්නේ සිරිමා බණ්ඩාරනායක අත්බෑගයක් රැගෙන යෑම පිළිබඳව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව ප්‍රශ්න අසනවාද යන්නය. තවත් වරෙක විජේවීර වෙනත් අයෙකුට සිනහවූ විට ‘ඔබ මා සමඟ සිනහවන්නේ ඇයි දැයි’ හෙතෙම ඇසුවේය. විජේවීර එයට පිළිතුරු දුන්නේ ‘මම ඔබට සිනාසුනා මිස ඔබ සමඟ සිනාසුනේ නැති බවය’.
එකල එනම් 1980 පමණ සිට 1983 ජුලි ජවිපෙ තහනම දක්වා ජවිපෙ නායක රෝහණ විජේවිර විසින් ලේක්හවුස් පුවත්පත් ආයතය බේරේගෙදර ලෙසද, ලංකාදීප නිකුත්කල ටයිම්ස් ආයතනය සමයං ගෙදර ලෙසද, දවස පුවත්පත් ආයතනය මඟුල් ගෙදර ලෙසද හදුන්වා තිබු අතර ප්‍රසිද්ධ රැස්වීම් වලදී සහ ජවිපෙ පුවත්පත් මගින් එම පුවත්පත් ආයතනයන් නිර්දය විවේචනයටද ලක්කරන ලදී.
ජවිපෙ 2වැනි කැරැල්ල ආරම්භවීමත් සමඟම කැරළිකරුවන් 7කගේ කණ්ඩායමක් 1987 ඔක්තෝබර් 1වැනිදා පස්වරු 7ට පමණ බොරැල්ලේ ඇත්ත පුවත්පත් කාර්යාලයට කඩා පැන එහි මුද්‍රණාලයට ගිනි තබා අලාභහානි සිදුකර සේවකයින්ද බැදදමා පලා ගියහ. එකල ඇත්ත පුවත්පතේ කතුවරයා කෑගල්ලේ යූ.එම්. අබේරත්නවූ අතර කර්තෘ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික වර්තාකරු බෙනට් රූපසිංහ ඇතුළු කිහිප දෙනෙක්ම විය. පසුව ජනජීවිතයට අතිශයින් හානිකර වූ අභ්‍යන්තර ප්‍රකාශ තහනම් කිරීමේ නියෝගය යටතේ ලේක්හවුස් පුවත්පත් සමඟ ඇත්ත පුවත්පතද ජවිපෙ මගින් 1988 මැයි 20වැනිදා සිට තහනම් කරන ලදී. ඒ යටතේ ලේක්හවුස් සහ ඇත්ත පුවත්පත්වලට ලිපි සැපයීම, මුද්‍රණය කිරීම, බෙදාහැරීම, අළෙවිකිරීම සහ ලඟ තබාගැනීම ඉදිරිපත් වන්නන්ට මරණ දඬුවම නියෝග කරන නිවේදනයක් පනවන ලදී. අනතුරුව 1988 ජුනි 1වැනිදා ඇත්ත පුවත්පත් කාර්යාලයට දෙවන වරටද බෝම්බ ප්‍රහාරයක් ජවිපෙ මගින් එල්ල කරන ලදී.
ජනජීවිතයට අතිශයින් හානිකරවූ අභ්‍යන්තර ප්‍රකාශන තහනම් කිරීමේ 1988 මැයි 20වැනිදා පැනවූ එම නියෝගය යටතේම ලේක්හවුස් ආයතනයෙන් පලකරන දිනමිණ, ඩේලිනිවුස් වැනි පුවත්පත් තහනම් කල අතර ඒවාට ලිපි සැපයීම, මුද්‍රණය කිරීම, තොග බෙදාහැරීම, ලඟ තබාගැනීම ඇතුළු එයට සම්බන්ධවන අයට මරණ දඬුවම නියෝගයක්ද පනවන ලදී. ඒ අනුව දිනමිණ ඇතුළු එම පුවත්පත් විකුණූ ඒජන්තවරුන් සහ බෙදාහැරි පුද්ගලයින් 27ක් ඝාතනයට ලක්විය. නාවල ඇතුළු ස්ථාන ගණනාවකදී ඒජන්තවරුන් වෙත බෝම්බ ගසන ලදී.
දෙවැනි කැරැල්ලෙන් පසු ජවිපෙ අළුගසා නැගිටින විට 1996 සැප්තැම්බර් 29වැනිදා රාවය පුවත්පත මගින් ජවිපෙ නායකයා ඝාතනය කරයි යන මැයින් ප්‍රධාන ප්‍රවෘත්තියක් පලකරන ලදී. එය ජවිපෙට සහ ජවිපෙ නායකයාවූ සෝමවංශ අමරසිංහ පිළිබඳව සාමාජික කලකිරීම ඉලක්ක කරගෙන පලකල අසත්‍ය ප්‍රවෘත්තියක් බව ලේකම් එම්. ටිල්වින් සිල්වා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළේය. තම මතය සනාථ කරනු වස් සෝමවංශ අමරසිංහගේ දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කලද විත්තියේ විරෝධය හේතුවෙන් සාක්ෂි ලේඛනයක් වශයෙන් පිළි නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මණ්ඩලය තීරණය කළේය. එහිදී පුවත්පත් මණ්ඩල පනතේ 9වැනි වගන්තියේ විවිවිධාන උල්ලංඝනය කරමින් අසත්‍ය ප්‍රකාශයක් පළකර ඇති බව තීරණය කල මණ්ඩලය නියෝග කළේ පැමිණිලිකරුවූ ටිල්වින් සිල්වාට නඩු ගාස්තු සහ සමාව විත්තිකාර රාවය පුවත්පත විසින් දැරිය යුතු බවය. පුවත්පත් මණ්ඩලයේ සහ එහි සභාපති ජනාධිපති නිතිඥ විජේදාස රාජපක්ෂගේ තීරණයට එරෙහිව රාවය පුවත්පත 1999 නොවැම්බර් 2වැනිදා තීන්දුව සහ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් සර්ටියෝරාරි සහ ක්වෝරන්ටෝ ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණ විනිසුරු අශෝක ද සිල්වා පුවත්පත් මණ්ඩලයේ එම නියෝගය අත්හිටුවනු ලැබීය.
මෙවරද ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ජවිපෙ තුළ කිසිදු බෙදීමක් නොමැති අතර ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය පිටුපස දේශපාලන අරමුණක් ඇති බවය. ජවිපෙ තුළ වාමාංශික දේශපාලන පක්ෂවලට අවේණික ඇමීබාකරණ ප්‍රතිඵලද ඉකුත් දශකය තුළ වැඩිවීමක් පෙන්නුම් කෙරිණි. ජාතිකවාදී වාම ප්‍රවණතාවය මහින්ද රාජපක්ෂට සමාන්තරව ජවිපෙ තුළ නියෝජනය කළේ විමල් වීරවංශය. ජවිපෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සමඟ වීරවංශ අප්‍රේල් 8වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කොට ජවිපෙන් ඉවත් විය. සභාග දේශපාලනයට එරෙහිව ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් 2012 අප්‍රේල් මස ජවිපෙන් ඉවත්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි කළේය. අතිවාදී වාම ප්‍රවණතාවය ජවිපෙ තුළ නියෝජනය කළේ පෙරටුගාමී පක්ෂයට එක්වූ එම ක්‍රියාධරයන්ය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු නායක සෝමවංශ අමරසිංහද සමාජවාදය ගොඩනැගීමේ අවස්ථා ජවිපෙ මඟ හරිමින් සිටින බව කියමින් 2015 අප්‍රේල් 16වැනිදා ඉවත් විය. මේ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ නික්මයෑමට පෙර සමාජ කතිකාවක් වශයෙන් මාධ්‍ය තුළ ප්‍රබලව ඉස්මතුවූ අතර සෑම අවස්ථාවකදීම ජවිපෙ එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් සිදුවූයේ එයට හාස්පසින් වෙනත් ක්‍රියාවලියකි. එම කණ්ඩායම් ජවිපෙන් නික්මයෑමෙන් පසු ජවිපෙ විසින් ඔවුනට එරෙහිව සැබෑ දේශපාලන හේතු වසන් කරමින් අවම සදාචාරය හෝ සැලකිල්ලක් නොදක්වා සාහසික මෙහෙයුමක් දියත්කල බවක් දිස්විය. නන්දන ගුණතිලක ඉවත්වීමෙන් පසු පානදුර සහ කළුතර තාප්පවල වැකි අනියම් සබදතාද හුවා දක්වමින්ද ලියා තිබිණි.
දේශපාලනය යනු වීරයන් නිර්මාණය කරනොගත යුතුම කලාපයකි. මන්ද ඔවුන් භෞතිකව ජිවත්ව සිටියදී පවා දේශපාලනිකව මිය යා හැකි බැවිනි. ජවිපෙ ඉකුත් දශකය පුරා දේශපාලනයේ වඩාත් ප්‍රබෝධජනක අපේක්ෂාවන් වැලඳ ගත්තද. ඒවාට නිසි අර්ථයක් ලැබුණේ නැත. ජවිපෙ බොහෝ තීරණ සරල සහ නිවැරදි කියවීමක් සේ ප්‍රකාශ වුවද ඒවා සම්බන්ධයෙන් එල්ලවන සාධාරණ හෝ අසාධාරණ වේවා, සත්‍ය හෝ අසත්‍ය වේවා ප්‍රතිවිරුද්ධ මතවාදයන් සම්බන්ධයෙන් ජවිපෙ තවමත් ක්‍රියාකරනුයේ ෆැසිස්ට්වාදයට සමීප අන්දමේ ප්‍රතිචාරයකි. ජවිපෙට රසිකයින් පමණක් ඉතිරිවී ඡන්දදායකයින් නොමැතිවීම එහි ප්‍රතිඵලය විය. වී.අයි. ලෙනින් පැවසුවාක් මෙන් ‘ජීවිතය උගන්වයි. එහෙත් ඔබ එයින් ඉගෙනීමට සූදානම් නම් පමණි’.
ධර්මන් වික්‍රමරත්න
[email protected]