“බොරු කීම හොඳ ද?”
මේ ප්‍රශ්නය යොමු වුණේ උතුරේ ප්‍රභාකරන් සමරතියි සිය මුහුණු පොත්වල සටහන් තැබූවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව පැන නැඟුණු සංවාදයක දී ය. අත්අඩංගුවට ගතයුත්තේ මහවිරු සමරු කළ අය නොවේ දැ යි අසමින්, පොලිසියේ විරෝධතාව නොතකා මුහුණු පොතේ කොටි සැමරුම් පිළිබඳ සටහන් තැබුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා ඇපදීම සම්බන්ධයෙන් මා තැබූ සටහනකට ප්‍රතිචාර ලෙස ය. ප්‍රශ්නය මතු කළේ ජාතික ජන බලවේගයේ හිතවතෙක්. සිරාවට ම, බොරු කීම හොඳ ද?
වැඩි වේලාවක් යෑමට පෙර වෙනත් මිතුරකු ඊට ප්‍රතිචාර දක්වා තිබිණි. “එතකොට අනුර සහෝදරයා කිවුවේ ඇත්ත ද?” බැලූ බැල්ලමට එකට එක කීමක් සේ පෙනුණත් මේ අහන්නේ බරපතල ප්‍රශ්නයක් නොවේ ද? අපේ මැතිවරණ වේදිකාවල ප්‍රතිවාදියා ගැන කියැවෙන්නේ ඇත්ත ද? ප්‍රතිවාදියා ගැන කියන කරුණු පසකින් තබමු. තමන් ගැන කියන්නේ ඇත්ත ද? එයත් පසකින් තබමු. රට ගැන, රටේ අනාගතය ගැන, රට ගොඩනඟන ආකාරය ගැන කියන්නේ ඇත්ත ද? මැතිවරණ වේදිකාවේ දී දෙන ප්‍රතිඥා සම්බන්ධයෙන් වගවීමක් අවශ්‍ය නැද්ද? නැතිනම් අපි මැතිවරණයක දී තෝරන්නේ ලොකු ම බොරුකාරයා ව ද? ටොන් පචයාව ද?
අවබෝධයෙන් බොරුකීම
සොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව කැකෑරෙන ජන මතයක් ගොඩනැඟී ඇති යුගයක, ඒ සඳහා මූලික වූ ජනතා ව්‍යාපාරයකින් ම මෙ වැනි යෙදුමක් සමාජ ගතවීම ම අප තේරුම්ගත යුත්තේ කෙසේ ද? රටේ ජාතික ධනය සොරකෑම පිළිබඳ ව, රාජපක්ෂවරු කොල්ලෑ කෑ ධනය උගන්ඩාවට ගෙන ගොස් ඇති බවට, ඒ ධනය අපි යළි ලබාගත යුතු බවට, උද්වේගකර ප්‍රකාශයක් කර, ඒ ගෙන ගියේ වාණිජ පදනමකින් මෙ රට දී මුද්‍රණය කළ වෙනත් රටක මුදල් බවත්, තමා උගන්ඩාවට ගෙනගිය මුදල් අපි ආපසු ලබාගත යුතු නැද්ද ය යි අසනවිට විට, තමාට ඒ ඇත්ත ගැන අවබෝධයක් තිබූ බවත්, එවකට ජාතික ජන බලවේග වේදිකාවේ ජනප්‍රිය කථිකයකු වු නිලන්ති කොට්ටිහච්චි නීතිඥතුමිය කියා සිටීම තැතිගැන්මක් ඇති නොකරන්නේ ද? එහෙත් එය එතුමියට තමා ගැන නැවත සිතා බැලීමට හෝ ජාතික ජන බලවේගයට එතුමිය ගැන සිතා බැලීමට හෝ නීතිඥ වෘත්තිකයන්ට මහජන අවකාශයේ තමන් ගේ සමාජිකයන් පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැන සලකා බැලීමට හෝ හේතුවක් නොවීය.
එ පමණක් ද? ඇය කළුතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් වනු පිණිස ඉදිරිපත් වීමටත්, ජාතික ජන බලවේගයට ඇයව ඒ සඳහා ඉදිරිපත් කිරීමටත් කිසි ම චකිතයක් හෝ තිබුණු බවක් නොපෙණුනි. ජනතාව ලක්ෂයකට වඩා මනාප පළ කර, ඇයව තමන් ගේ මහජන නියෝජිතයා බවට ද පත් කරගත්තෝ ය!
මේ අවබෝධයෙන් බොරු කීමේ යුගය ද?
ජනාධිපතිතුමා සිය මුහුණු පොතේ සටහන් ඉවත් කීරීම
දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපති වූ පසු, විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස 2021-2023 කාලයේ කළ අදහස් දැක්වීම්, සිය මුහුණු පොතෙන් මකා දැමීම අප අවබෝධ කරගන්නේ කෙසේ ද?
අපි කියූ කරුණු, ඉදිරිපත් කළ අදහස් හැකිතාක් ඉතිරි කර තබාගැනීමට තැත් කරන්නේ, ජංගම දුරකථනවල මතකයන් හා පොරබඳිමින්, බාහිර උපකරණවල ඒ කතාබහ, අදහස් දැක්වීම් යළි ස්ථාපනය කරමින් කටයුතු කරන්නේ අප කියු-කෙරූ දේ පිළිබඳ සාක්ෂි ඉතුරු කරගැනීමට ය. අපි, අපි කළ කී දේහි සාක්ෂි පරිස්සම් කරගැනීමට තැත් කරද්දී, අපේ රාජ්‍ය නායකයා අතීතයේ, ඈත අතීතයක නොව මේ මෑත අතීතයේ, තමාට රාජ්‍ය බලය ලබාදීමට අදාල අතීතයේ සිය අදහස් දැක්වීම් අකාමකා දාන්නේ කෙසේ ද?
ඒ සියල්ල දැනදැන කියූ බොරු ද? අවබෝධයෙන් කියූ බොරු ද?
දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්, ඉන්ධන මිල සම්බන්ධයෙන්, විදුලි බිල සම්බන්ධයෙන් කියූ දෑ හා කරන දේ අතර පරස්පරතා පෙනෙන්නට ඇත.
මන්ත්‍රී වරප්‍රසාද සම්බන්ධයෙන් ද බොහෝ කර්කශ විවේචන කෙරුණේ පසුගිය පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට වාහන බලපත්‍ර තබා භාවිතයට රජයේ වාහනයක් හෝ නොලැබුණ පසුබිමක ය. නවක මන්ත්‍රීවරු කිසිවෙකුට වත් විශ්‍රාම වැටුපක් ද ලැබුණේ නැත. දැන් කුමන හෝ හේතුවකට පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලබා නොගත් වරප්‍රසාදයක් මේ ජාතික ජන බලවේගයේ 159 ලබාගනී නම්, ජනතාව ඒ සියල්ල දුෂ්ටත්වයෙන් මෙපිට කිසිවක් සේ නොසළකනු ඇත.
එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ පසුගිය කාලය පුරාවට ම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විරුද්ධ වූ අණ-පනත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කවරේ ද යන්න යි. එසේ තමන් විරුද්ධ වූ අණ-පනත් ජාතික ජන බලවේග ආණ්ඩුව, සිය 2/3 ක පාර්ලිමේන්තු බලය උපයෝගී කරගෙන ආපසු හරවන්නේ ද? රවි කරුණානායක ඇමැති, අප ගේ විදේශීය වත්කම් නීති විරෝධී ලෙස පිටරටවල රඳවා තැබීම අපරාධමය වරදක් නොවන බවට විදේශ විනිමය පනතට ගෙනා සංශෝධන, කාංචන විජේසේකර ඇමැති ගෙනා නව විදුලි බල පනත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහබැංකුවේ පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීම මඟින්, මහබැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ගැලවූ, මුල්‍ය අරමුදලේ නව මහ බැංකු පනත, අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට අනුකූල වන සේ වගන්ති සංශෝධනය නොකෙරුණු ටිරාන් අලස් ඇමැති ගේ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත – ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපසු හරවන්නේ ද? ආදායම් බදු පැන වන අවම මාසික වැටුප් සීමාව ලක්ෂයේ පටන් ලක්ෂ දෙක දක්වා ගෙන යෑම, පොත්වලට පනවා ඇති වැට්බදු ඉවත් කිරීම (මේ පිළිබඳව අනුර කුමාර මහතා පක්ෂ නායකයකු ගේ වරප්‍රසාද භාවිත කරමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා මතක යි) ඇතුලු ව වැට්බදු සංශෝධන, අධ්‍යාපනයට 6% වෙන් කිරීම, … පැවැති ආණ්ඩුවලට කරවු ය යි කියූ දේ, දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරනවා ද?
නැතිනම් මේ සියල්ල ම අවබෝධයෙන් කියූ බොරු ද? නැතිනම්, රාජ්‍ය බලය ලැබේ ය යන්න ගැන අනවබෝධයෙන් කළ හිස් ඝෝෂා ද?
දැනදැන වැරැදි කිරීම!
“ලේසියටත් පහසුවටත් දැනදැන වැරැදි කරනවා, එහෙම කළත් තව කියන්න කරුණු තියෙනවා, නැතිනම් හදලා කියනවා. … ”
ජිප්සීස්ලා තණකොළ ටිකක් කපාගන්න කිතුලට නැඟි කතාව රස කර ගයානය කළේ මීට දශක දෙකකට පමණ පෙර ය. ඇත්තට ම එය රසවිඳි හිතවතුන්ට දැනදැන බොරු කීමට එරෙහි පිළිකුලක් ජනිත වී ද? නැතිනම් ලේසියටත් පහසුවටත් දැනදැන වැරැදි කිරීමත්, ඒසේ කර, දැනදැන බොරු කීමත් මාර ආතල් එකක් ම වී ද?
සොරකමට එරෙහි ව මේ සමාජය කතා කරන්නට ගෙන, දේශපාලනයේ ප්‍රධාන ම තේමාව ලෙස නොවේ නම්, ප්‍රධාන ම තේමාවක් ලෙස හොරකම ගැන කතා කිරීම ඇරඹී දැන් දශක තුනකට අධික ය. හොරු ගොල්ෆේස් ගෙනවිත් උල තැබීම ගැන කියැවුණේ චන්ද්‍රිකා ගේ මැතිවරණ ව්‍යාපාරයේ දී ය. මේ ඊයේ පෙරේදාත් ඇය අල්ලාගැනීමට බැරිවුණත් සොරාගත් ඩොලර් ලක්ෂ ගණනක විදේශීය ගිණුමක් ගැන ප්‍රකාශ කළා ය. ඇය සොරකමට විරුද්ධ ය. එහෙත් ඇය බලයට ගෙන ඒමට තීරණාත්මක කාර්යභාරයක් කළ වික්ටර් වික්ටර් අයිවන් මහතාට අනුව ඇය “චෞර රැජිණ” ය! එසේ කීමට හේතු, චෞර රැජිණ කෘතිය පුරාවට කප්පරක් තිබිය දී, ඒ කෘතියට එරෙහිව, ඒ කෘතියේ කතුවරයාට එරෙහිව මොනම නීතිමය ක්‍රියාමාර්ගයක් වත් ගෙන නොතිබිය දී, චන්ද්‍රිකා හිටපු ජනාධිපතිතුමිය හොරකමට එරෙහිව කතා කරයි!
ඇත්ත කුමක් ද, බොරුව කුමක් ද? බොරුවට ඉඩ ලැබෙන තෙක් හොරකම නැවැත්විය හැකි ද?
මැතිවරණ ප්‍රතිඥා
නීත්‍යානුකූල ගිවිසුම් සේ සලකමු!
මේ පසුබිමෙහි, උත්තර ලංකා සභාගයේ අපි 21 වන සංශෝධනයට ඇතුළත් කිරීම සඳහා එවකට අධිකරණ ඇමැති වූ විජේදාස රාජපක්ෂ මහතාට බාරදුන් යෝජනාවලියෙහි වූ, මහජනයා විසින් බහුතර ඡන්දයෙන් අනුමත කරන මැතිවරණ යෝජනාවලිය නීතිමය වලංගුතාවක් සහිත ලියවිල්ලක් සේ සැලකිය යුතු ය යන යෝජනාව විශාල වටනාකමකින් යුක්ත ය. ඒ අනුව, කිසියම් රජයක් බලයට ඒම සඳහා දෙන පොරොන්දු, සම්බන්ධයෙන් නීතිමය වගකීමකින් බැඳි පැවතිය යුතු ය. බලයට ඒමට දුන් පොරොන්දු බලයට පත්වූ රජය නොරකී නම්, පුරවැසියාට අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ හා නොපමාව දුන් ප්‍රතිඥා ඉටු කරන ලෙස අධිකරණ නියෝගයක් ලබාගැනීමේ අයිතිය හිමි විය යුතු ය.
මේ මඟින් අප උත්සාහ කළේ බොරු පොරොන්දු දීමට තිත තැබීමට ය; බොරුවට තිත තැබීමට ය. ඒත් මේ යෝජනාව 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරගැනීමට, මේ යෝජනාව සැකසීමේ ප්‍රමුඛ කාර්යභාරයක් කළ උදය ගම්මන්පිල ඇතුළු උත්තර ලංකා සභාගයේ අපි අසමත් විය.
මේ යෝජනාව අපි නැවතත් සර්වජන බලය ක්‍රියාකාරී සැලැස්මට ද ඇතුළත් කළෙමු. එහෙත් ඒ සර්වජන බලය ද බොරුව පිටුදකින දේශපාලන ව්‍යාපාරයක් සේ ඔසවා තැබීමට අප අසමත් වුණෙමු. අපේ ම දේශපාලන ව්‍යාපාර පවා බොරුවට යට වන කළ, රට කෙසේ නම් බොරුවෙන් ගලවමු ද?
රංවල පරීක්ෂාව
දැන් කථානායකතුමා ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විශාල සංවාදයක් පැනනැඟී ඇත. ඒ හා බැඳී පළමු වරට බොරුකීමට එරෙහි ව සමාජ මතයක්, ඇන්දවීමට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වෙමින් පවතී. මෙය සුවිශේෂී වැදගත්කමකින් යුතු සංසිද්ධියකි.
දැන් ජාතික ජන බලවේගයේ අර ඇමැතිතුමා ගේ, මේ නියෝජ්‍ය ඇමැතිතුමා ගේ, කථානායක ගෙන් නොනැවතී නියෝජ්‍ය කථානායකතුමා ගේ ප්‍රකාශිත අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කෙරෙමින් පවතී. එහෙත් මෙය ජාතික ජන බලවේගය පිළිබඳ ප්‍රශ්නයක් ම නොවේ. මේ අප ගේ සමාජ පරිහානිය පිළිබඳ ප්‍රශ්නයකි. ඉක්මණින් විසඳුම් නොයෙදුව හොත්, මේ සමාජය, කුණුවී දුඟද හමන, ඔජස් ගලන මළකුණක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.
අප සමාජය හොරකමට එරෙහිව දශක තුනක් පුරාවට හඬ නැඟුවේ, ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්විමේ අවකාශය එ මඟින් උදුරා ගැනෙන බැවිනි. එහෙත්, එහෙත් දශක තුනක අත්දැකීම් අපට කියාපාන්නේ බොරුව පරාජය නොකර, ඒ ශිෂ්ට සමාජය ගොඩනැඟීය නොහැකි බව ය. හොරකම පරාජය කිරීම ද බොරුව පරාජය කිරීම හා බැඳී ඇති බව ය.
උතුරේ ත්‍රස්තවාදීන් සැමරීම් සම්බන්ධයෙන් බොරු කී අයට එරෙහි ව නීතිමය පියවර ගැනීමට මේ රජය පියවර ගත්තේ ය. තෝරාගැනීමක නොයෙදී සකලවිධ බොරුකාරයන්ට එරෙහිව ම පියවර ගනිමු! බොරුව අපරාධමය වරදක් බවට පත් කොට මවුබිම මේ නරාවලින් මුදාගැනීමට උත්සුක වෙමු!
“බොරු කියන්නා නීචයෙකි. ඔහුට කළ නොහැකි අපරාධයෙක් නැති.”
– කුමාරතුංග මුනිදාස
ඉරිදා ලංකාදීප