ArticlesColombo Today Local News

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

einstain

ජ්‍යෙෂ්ට කථිකාචාර්ය මහින්ද පතිරණ විසිනි

අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතා න්‍යායේ සියවස සමරමින් සිටින අවස්ථාවේ දී අපට ඒ පිළිබඳ ඔබට කීමට අලුත් යමක් තිබේ. ලොව මවිත කළ අයින්ස්ටයින්ගේ න්‍යාය බුදුදහම පදනම් කරගෙන ගොඩ නැගූ බව ඔබ අසා නැතිවා නිසැක ය. එහෙත් එය තහවුරු කිරීම සඳහා අප සතුව දැන් සාක්‍ෂි තිබේ. මේ සම්බන්ධය අපට පැහැදිළි වූයේ අයින්ස්ටයින් කියවන විට නොව, ඔහුට වඩා ජ්‍යෙෂ්ට, එහෙත් අයින්ස්ටයින්ගේ සමකාලීනයෙකු වූ ඔස්ට්‍රියානු ජාතික චින්තකයෙකු මෙන්ම විද්‍යාඥයෙකු වූ අර්න්ස්ට් (Ernst Mach) මක් කියවන විට ය.මේ පිළිබඳ කීමට බොහෝ කරුණු ඇතත්, අපගේ කාලය පිළිබඳ සීමා සැලකිල්ලට ගණිමින් හැකි පමණ කෙටියෙන් එය තැබීමට උත්සාහ කරමි. තවද මෙවන් උත්සාහයන්හි අරමුණ වන්නේ බුදුදහම හා විද්‍යාව අතර සමානකම් පෙන්වා ඒ තුළින් කෙනෙකු උද්දාමයට පත්කිරීම හෝ බුදුදහමට ‘විද්‍යාත්මක’ අනන්‍යතාවක් ලබාදීම නොව, මානව ඥානයේ ඉහළ ම අත්තේ පිපි එකී කුසුමෙහි සුවඳ කෙනෙකු වෙත යම් පමණින් හෝ වඩාත් හොඳින් ලඟා කරවීම ය.

මක් යනු බුදුදහම ඉතා ගැඹුරින් හදාළ චින්තකයෙකු බව තහවුරු ව තිබෙන කරුණකි. ඒ පිළිබඳ බොහෝ පොතපත ද ලියැවී තිබේ. ඒ අනුව, එය නැවත වරක් තහවුරු කිරීමේ බර අපට නැත. මක්ගෙන් උපුටාගත් පහත අදහසට ඔබගේ අවදානය යොමුකරමි;

“මවිසින් කාන්ට්ගේ පරමය (thing in itself) නිරර්ථක එකක් සේ දුටුවායින් පසු, වෙනස් නොවනසුළු ‘මම’ පිළිබඳ සංකල්පය ද රැවටීමක් සේ බැලය යුතු විය. නොමැරෙන පුද්ගල ආත්මයක් පිළිබඳ සිතුවිල්ලෙන් මිදුණු පසු හා මා බුදුදහම පිළිබඳ අවබෝධයට පැමිණි බව දුටු විට මා කොතරම් සතුටක් ලැබුයේ දැයි කිව නොහැකි තරම් ය. යුරෝපීයයෙකුට එවන් සතුටක් ඉතා දුලබ ය. ‘මම’ යනු වෙනස් නොවනසුළු දෙයක් නොව, එහෙත් ජීවිතය අතරතුර ක්‍රමයෙන් වෙනස්වන මෙන්ම වර්ධනය වීමෙන් පසු මරණයේ දී සපුරා අතුරුදන් වෙන්නකි. ශ්‍රේෂඨ මිනිසුන්ගේ (සංසාරගත) හැකියාවන් මගින් මමත්වයේ අඛණ්ඩතාව තහවුරු වේ. එය කුඩා හෝ විශාල වෙනස්කම් සහිත ව නැවත ඉපදිය හැකි ය. එය බුදුදහමේ නිවැරදි මාර්ගය විසින් ද බැහැර නොකෙරේ.”

අර්න්ස්ට් මක් අනාත්මය පිළිබඳ බොහෝ ලියා තිබේ. ඔහුගේ Die Analyse der Empfindungen නම් ජර්මන් කෘතියේ එන ස්ථිර පදාර්ථයක් පිළිබඳ මායාව (illusion der bestaendigen Substanz) ‍පරිච්ඡේදය මේ වෙනුවෙන් ම කැප වූ එකකි. ඊට අනුව, ධාතූන්හි එකතුවක් වන ආත්මය යනු අප විසින් හුදු ප්‍රායෝගික පහසුව තකා සාදා ගන්නා ඒකකයකි (das Ich als Elementekomplex, seine Einheit als praktisches Postulat). වරක් අප ඇස ගැටෙන යමක් වේ ද එයට අප විසින් නමක් ලබා දෙනු ලැබේ (Was auf einmal vorgestellt wird, erhält eine Bezeichnung, einen Namen). මේ අතර, අප ශරීරය හා බැඳුණු සාපේක්‍ෂව ස්ථිර ලෙස සලකන සිතුවිලි, හැඟීම් වැනි දෙයට අපි ‘මම’ කියමු. එහෙත් එම මම හෝ ආත්මය යනු සාපේක්‍ෂ ස්ථිරත්වයක් ඇති දෙයක් පමණි (Allerdings ist auch das Ich nur von relativer Beständigkeit). ‘මම’ ස්ථිර යැයි අප කියන්නේ එය අපට නොපෙනන ලෙස හෙමින් වෙනස් වන නිසා ය. කෙසේ වෙතත්, මක් බුදුදහමට අනුව යමින් තවදුරටත් සඳහන් කරන්නේ, මේ වෙනස් වෙමින් තිබෙන පුද්ගලයාගේ මමත්වය මරණයෙන් පසු ද ඉදිරියට ගමන් කරන බව ය.(Bis auf geringfügige wertlose persönliche Erinnerungen bleibt er auch nach dem Tode des Individuum in anderen erhalten).

ආත්මය ස්ථිය නොවී, එහෙත් එකිනෙකට අන්තර් ව බැඳී සිටීම නිසා ම යන අදහස තුළින් මක්ට තේරුම් යන නව දැනුමකි. එනම් සියල්ල එකිනෙකට බැඳි, එකිනෙක මත යැපෙමින් (Abhängigkeit voneinander) තිබෙන බව ය. මෙය ඕස්ට්‍රියානු විද්‍යාඥයාට පටිච්චසමුත්පාදය පිළිබඳ දැනුම අවබෝධ වූ අවස්ථාව ලෙස සලකත හැකි ය. “නොමැරෙන පුද්ගල ආත්මයක් පිළිබඳ සිතුවිල්ලෙන් මිදුණු පසු හා මා බුදුදහම පිළිබඳ අවබෝධයට පැමිණි බව දුටු විට මා කොතරම් සතුටක් ලැබුයේ දැයි කිව නොහැකි තරම් ය” යන ප්‍රකාශ කරන්නේ මේ අවබෝධයත් සමග ය.

ලෝකය එකිනෙක මත යැපෙමින් හටගන්නා බව අවබෝධවීම මක්ගේ දැනුමේ අරටුව බව ඔහු පහත කරන ප්‍රකාශයෙන් තහවුරු වේ. “දීප්තිමත් ග්‍රීෂ්ම දිනෙක එළිපහළියේ සිටි මට අවබෝධ වූයේ මා ද සමග ලෝකය යනු එකිනෙකට සම්බන්ධ වූ සංජානන ගොඩක් බව ය. වෙනස නම් එය මා සමග වඩාත් තදින් බැඳී සිටීම ය. අත්‍යාවශ්‍ය ගැඹුරු අවලෝකන ඊට පසුව ඇතුළත් වූව ද මෙම මුල් අත්දැකීම මගේ සමස්ත ලෝක දෘෂ්ටිය ම සැකසාලූවේ ය”

ඇල්බර්ට් අයින්ස්ටයින් හා අර්න්ස්ට් මක්

අර්න්ස් මක්ගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන්නේ 1883 දී ප්‍රකාශිත Die Mechanik in ihrer Entwicklung- historisch-kritisch dargestellt නම් කෘතියයි. මෙම කෘතිය අයින්ස්ටයින්ගේ හා ඔහුගේ සමකාලීන විද්‍යාඥ මිතුරන්ගේ Academia Olympia නම් පාඨක කවයෙහි බෙහෙයින් කියවීමට හා සාකච්ඡාවට බඳුන්වූවකි. මක්ට පෙර පැවති ප්‍රමුඛ විදුදැනුම වූයේ නිව්ටන්ගේ සම්භාව්‍ය භෞතිකයයි. ඇයිසැක් නිව්ටන්ගේ භෞතිකය තුළ චලනය සලකනු ලැබූයේ පරම අවකාශයට සාපේක්‍ෂව ය. ඒ අනුව, චලනය යන්න බාහිර බලයන්හි මැදිහත් වීමකින් තොර එකක් ලෙස සැලකුණි. එහෙත් මක් ඉහත කෘතියේ දී, නිව්ටන්ගේ බාල්දී අත්හදා බැලීම පිළිබඳ නියමය විවේචනය කරමින් ආවස්තික චලනය (inertial motion) පිළිබඳ ගතික න්‍යායක් මුල්වරට ඉදිරිපත් කරන්නේ ය. නිව්ටන්ගේ න්‍යායෙන් එය වෙනස් ය. ගතික න්‍යායක් යනු බලයන් එකිනෙකට සාපේක්‍ෂ ව හා එකිනෙකට ප්‍රතිචාර දක්වමින් හැසිරීම ය. මක් සිය කෘතියේ මෙසේ කියයි; පෘථිවියට සාපේක්‍ෂ ව පෘථිවිගත වස්තූන්ගේ හැසිරීම යන්න පෘථිවියට බාහිර ව ඈතින් තිබෙන වස්තූන්ට සාපේක්‍ෂ ව පෘථිවියේ හැසිරීමට ඌණනය කළ හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් මක් පවසන්නේ පෘථිවිය ද එහි වස්තූන් ද පෘථිවියට පිටින් ඇති සෙසු ග්‍රහලෝක ආදී සියල්ල ද එකිනෙකට සාපේක්‍ෂ ව පවතින බව ය. ‘ඌණනය කළ හැකිය’ යන්න තුළ පැහැදිළි වන්නේ මක්ට අනුව ආවස්තික ව චලනය වන වස්තුවල (inertially moved bodies) හා නිශ්චිත ග්‍රහලෝක (fixed stars) අතර තුළ ඇති සහසම්බන්ධී ක්‍රියාකාර යැපීමකි (Funktionsbeziehungen). අයින්ස්ටයින් විසින් ආවස්තිකයේ සාපේක්‍ෂතාව (relativity of inertia) ලෙස හැඳීන්වූයේ මේ ය. මෙම අදහස අයින්ස්ටයින්ගේ මහා සාපේක්‍ෂත න්‍යාය නිර්මාණය කිරීම සඳහා විශාලතම බලපෑම කළේ ය. ඇත්ත වශයෙන් ම අයින්ස්ටයින්, අර්න්ස් මක්ට 1913 ජූනි 25 වන දින ලියන ලද ලිපියකින් ඔහුගේ සාපේක්‍ෂතා න්‍යාය යන්න මක්ගේ න්‍යායේ ම ප්‍රතිඵලයක් බව නොවළහා ප්‍රකාශ කර සිටින්නේ ය;

“ආවස්තිකය (inertia) උපදින්නේ වස්තූන්හි තිබෙන යම් අන්‍යෝන්‍ය අන්තර්ක්‍රියාකාරීත්වයක් නිසා ය. එය ඔබ විසින් කළ නිව්ටන්ගේ බාල්දි අත්හදා බැලීම පිළිබද තර්කයට සපුරා එකඟ ය.”

මේ අතර, අයින්ස්ටයින් පසුව න්‍යායගත කළ ගුරුත්වය හා ස්ඛන්ධය අතර වන සම්බන්ධය පිළිබඳ ව ද සිතුවිලි පරීක්‍ෂණ මාර්ගයෙන් අර්න්ස් මක් සිය කෘතිය තුළ ම මූල බීජ දමා තිබුණේ ය. මක් පවසන්නේ මේසයක් මත තිබෙන වස්තුවක බර, එකී මේසය, වස්තුව වැටෙන වේගයට සාපේක්‍ෂ වේගයකින් පෘථිවි මධ්‍ය තුළට වේගවත් කළහොත් බින්දුවක අගයක් ගන්නා බව ය. ඒ අනුව, අයින්ස්ටයින්ගේ ආවස්තික හා ගුරුත්වමය ස්ඛන්ධයන්හි සමාන බව කියවෙන ප්‍රස්තුතය අර්න්ස් මක්ගේ ම බව පැහැදිළි ය.

මක් යනු චින්තකයෙකි. ඒ නිසා ම ඔහු අයින්ස්ටයින් මෙන් සිය දැනුම ගණිතමය සමීකරණ හරහා පෙන්වා දුන්නේ නැත. එහෙත් අයින්ස්ටයින් කළේ මක්ගේ මේ මූලික ප්‍රවාදය ගණිතමය සමීකරණ ඔස්සේ වර්ධනය කරමින් තවදුරටත් තීව්‍ර කිරීම හා ඒ හරහා කළු කුහර ඇතුළු තව බොහෝ විද්‍යාත්මක අනාවැකි ලොවට ඉදිරිපත් කිරීම ය. කෙසේ වෙතත්, මේ සියල්ලට අවශ්‍ය පුරෝගාමී විප්ලවය අයින්ස්ටයින් තුළ ඇති කළේ මක් විසින් ය. 1944 දී අයින්ස්ටයින් ෂිල්ප්ගේ වෙළුමට ස්වයංචරිතාපදාන ලිපියක් ලියනමින් මේ බව පිළිගනී:

“මේ මිත්‍යා විස්වාසය සොලවා දමන ලද්දේ මක්ගේ කෘතිය විසින් ය. මා සිසුවෙකු ව සිටි අවදියේ මේ පොත මා කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කළේ ය”

අයින්ස්ටයින් තමා විසින් කළ ලෝක විද්‍යා හා තාක්‍ෂණ විප්ලවය පිළිබඳ ණයගැති බව ඔස්ට්‍රියානු ජාතික අර්න්ස්ට් මක්ට පවරන විට, මක් පෙරළා මෙම අදහස කෙසේ කොතනින් ලබා ගත්තේ දැයි යන්න අදහසක් අයින්ස්ටයින්ට නොතිබෙන්නට ඇත. විටෙක තිබෙන්නට ද ඇත. එහෙත් බටහිර බොහෝ චින්තකයින් හා විද්‍යාඥයින් බුදුන් වහන්සේගෙන් බොහෝ අදහස් ගෙන තම චින්තනය වර්ධනය කරගැනීමෙන් අනතරුව කීවේ, තමා විසින් එය ස්වාධීන ව අවබෝධකරගත් එකක් බව ය. ඩෙරීඩා, ෆූකෝ, සාත්‍රෙ වැනි ප්‍රංශ පශ්චාත්නූතනවාදී හා සාංදෘෂ්ටිකවාදී චින්තකයින්ගේ චින්තනයට එරෙම් පිටින් ම බලපෑම් එල්ල කළ ජර්මන් දාර්ශනික ප්‍රීඩ්රිෂ් නීට්ෂෙ තම මූලික චින්තනය සපුරා වර්ධනය කරගත්තේ බුදුදහම ආශ්‍රයෙන් ය. අප විසින් 2008 වසරේ රචිත’ පශ්චාත්නූතනවාදය; වළ සහ විල’ කෘතියෙන් මේ බව සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබේ. එහෙත් නීට්ෂේ තම චින්තනය සිය සමකාලීනයින් අතර ජනප්‍රියවන විට කීවේ එය තමා විසින් ස්වතන්ත්‍රව වර්ධනය කරගත් බව ය. එහෙත් ඔවුන් තම දර්ශනයන් ජනප්‍රිය වීමට මත්තෙන් බුදුදහම පිළිබඳ කිවූ කෙරූ දෙයින් එකී සාර්වකාලීන දහම තුළින් ලබාගත් දෙය පිළිබඳ සාක්‍ෂි එමට හමුවේ. අයින්ස්ටයින් පවා බුදුදහම බෙහෙවින් ඇසුරු කරන්නට ඇත. විශේෂයෙන් ම අර්න්ස් මක් කියනවන විට ඔහුට මක්ගේ ඍජු බෞද්ධ උපුටන නොදැක සිටියේ යැයි කිව නොහැකි ය. විද්‍යාව සමග ගැලපෙන ලොව එක ම දහම බුදුදහම බව අයින්ස්ටයින් වැනි චින්තකයෙකු විසින් ආවාට ගියාට කළ එකකැයි සිතිය නොහේ. ඒ කෙසේ වෙතත්, සාපේක්‍ෂතාවාදයේ සියවස සැමරෙන 2015 වන විටත් බෞද්ධයින්ගේ පමණක් නොව, සකලවිධ මනුශ්‍යත්වයේ ම අග්‍රතම ඵලය වන බුදුදහම, තමාගෙන් හැදුණු වැඩුණු සියළු චින්තන ධාරා දර්ශන මෙවලම් දෙස ඉවත දැබූ බර සහිත ව (ඕහිත භාරො) සමසිතින් බලා සිටින්නේ ය.

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු විවාදයට

colombotoday

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday