ArticlesColombo Today Local News

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

he226

මේවා පිළිබඳව කතා කරන කොට අගමැතිතුමා සඳහන් කරන ජාතිවාදයට, ආගම්වාදයට අපිත් ඇතුළත් කරල අත්අඩංගුවට ගත්තොත්. එම නිසා තමයි අගමැතිතුමා සඳහන් කරන ජාතිවාදයේ සහ ආගම්වාදයේ සීමාවන් හඳුන්වන්න කියලා ලිපියක්‌ යොමු කළේ. නමුත් තවමත් එතුමා ඒ කටයුත්ත කළේ නෑ. අඩුම තරමින් මෙහෙම ලිපියක්‌ ලැබුණා කියල පිළිතුරක්‌වත් එව්වේ නෑ. එම ලිපිය මම යොමු කළේ ලියාපදිංචි තැපෑලෙන්.

පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමියන් පසුගිය පෙබරවාරි මාසයේදී ජාතිවාදය යන වචනය අර්ථ දක්‌වන ලෙසත්, එහි සීමාවන් සඳහන් කරන ලෙසත් ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක්‌ යොමුකර ඇත. එම ලිපියට අගමැතිවරයාගෙන් ලැබුණ ප්‍රතිචාරය පිළිබඳව අප පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමියන්ගෙන් විමසා සිටියෙමු. ඒ පිළිබඳව උන්වහන්සේ දැක්‌වූ අදහස්‌ මෙසේය.

ප්‍රශ්නය- අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස්‌ දැක්‌වීමේදී යොදා ගන්නා “ජාතිවාදය” යන වචනය අර්ථ දක්‌වන ලෙසත් එහි සීමාවන් පැහැදිලි කරන ලෙසත් ඉල්ලා ඔබ වහන්සේ අගමැතිවරයා වෙත යොමු කළ ලිපියට අගමැතිවරයාගෙන් ප්‍රතිචාරයක්‌ ලැබී තිබෙනවාද?

පිළිතුර- අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළේ පෙබරවාරි මාසයේදී. නමුත් ඊට පිළිතුරක්‌ මේ දක්‌වා ලබා දුන්නේ නෑ.

එම ලිපිය යොමු කළ කාලයේදී අගමැතිතුමා දිගින් දිගටම ජාතිවාදය, ආගම්වාදය අවුස්‌සන්න එපා යනුවෙන් ප්‍රකාශ කළා. භික්‍ෂූන් වහන්සේලා වශයෙන් අපි ජාතිවාදයක්‌ හෝ ආගම්වාදයක්‌ ඉස්‌මතු කරන්නේ නෑ. නමුත් භික්‍ෂූන් වහන්සේලා ධර්මය දේශනා කරන කොට ඒ වගේම දේශන පවත්වන කොට ඉගැන්වීම් කරන කොට ඉතිහාසය පිළිබඳව, ඓතිහාසික පසුබිම් පිළිබඳව සඳහන් කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේම අපිට බෞද්ධයන් වශයෙන් අනුරාධපුර සහ පොළොන්නරුව යුගයේදී මෙන්ම ඊට පසුව සිදුවූ දේ පිළිබඳවත් කතා කිරීමට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මිෂනාරී අධ්‍යාපනය හරහා අපේ රටේ පැවැති බෞද්ධ පරිසරය විනාශ කළ ආකාරය වගේම අපගේ ඓතිහාසික ගම් විනාශ කිරීම පිළිබඳවත් සඳහන් කිරීමට සිද්ධ වෙනවා. ඒවා පිළිබඳව සඳහන් නොකර අපට ධර්මය දේශනා කරන්න, දේශන පවත්වන්න, ඉගැන්වීම් කරන්න බැහැනේ.

නූතන පාසල් අධ්‍යාපනය තුළ අතීතයේදී අපේ රටේ ආගමික වශයෙන් විනාශයක්‌ සිදුකළ අය ජාතික වීරයන් බවට පත්කර තිබෙනවා. එක්‌දහස්‌ හත්සිය ගණන්වල සිටිය ගොන්සාල්වෙස්‌ ඒ ආකාරයට වීරයෙක්‌ බවට පත්කර තිබෙනවා. ඔහු අපේ බෞද්ධ පරිසරය විනාශ කිරීමට අවශ්‍ය දේ සකස්‌ කළා වගේම සරණංකර සංඝරාජ හිමියන් ඝාතනය කිරීමටත් කුමන්ත්‍රණය කළා. එහෙම කරපු පුද්ගලයා යුග පුරුෂයෙක්‌ ලෙස සමරන්න ගත්තා.

මේවා පිළිබඳව කතා කරන කොට අගමැතිතුමා සඳහන් කරන ජාතිවාදයට, ආගම්වාදයට අපිත් ඇතුළත් කරල අත්අඩංගුවට ගත්තොත්. එම නිසා තමයි අගමැතිතුමා සඳහන් කරන ජාතිවාදයේ සහ ආගම්වාදයේ සීමාවන් හඳුන්වන්න කියලා ලිපියක්‌ යොමු කළේ. නමුත් තවමත් එතුමා ඒ කටයුත්ත කළේ නෑ.

අඩුම තරමින් මෙහෙම ලිපියක්‌ ලැබුණා කියල පිළිතුරක්‌වත් එව්වේ නෑ. එම ලිපිය මම යොමු කළේ ලියාපදිංචි තැපෑලෙන්.

එසේ වුවත් එම ලිපියේ එක්‌ කොටසක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබෙනවා. 11 ශේ්‍රණියේ සිංහල භාෂාව සහ සාහිත්‍ය යන පොතේ පුරාප්සිත යුගය පිළිබඳව මෙන්ම මුස්‌ලිම් ජනතාවගේ සිරිත් විරිත් පිළිබඳවත් සඳහන් කරල තිබෙනවා. සාහිත්‍ය මූලධර්ම අනුව එම පාඩම් දෙක එම පොතට ඇතුළත් වෙන්න බෑ.

මුස්‌ලිම් ජනතාවගේ සිරිත් විරිත් සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ පොතකට එන්න බැහැනේ. එය සාහිත්‍ය මූලධර්මවලට විරුද්ධයි. එම නිසා ඒ පිළිබඳවත් අපි අගමැතිතුමාගෙන් විමසා සිටියා. ඒ පිළිබඳවත් අගමැතිතුමා ගෙන් පිළිතුරක්‌ නෑ. නමුත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළ බව සඳහන් ලිපියක්‌ නම් එවල තිබෙනවා.

මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, උතුරේ මහ ඇමැති විග්නේෂ්වරම් සහ විශ්වකලා, මහේෂ්වරම් ඇමැතිතුමිය පෙඩරල් රාජ්‍යයක්‌ පිළිබඳව සඳහන් කරනව. ඒ කියන්නේ වෙනම රාජ්‍යයක්‌ පිළිබඳව. දෙමළ නායකයන්ගේ එම කතා නම් ජාතිවාදය අවුස්‌සන සුළුයි. ඒ වගේම රට බෙදන සුළුයි. ඒ වගේම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වන සංශෝධනයේ 7 වන උප ලේඛනයට අනුව එම ප්‍රකාශ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පට හැනියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සුරකින බවට ප්‍රතිඥවක්‌ දෙනවා. එම ප්‍රතිඥවට අනුව ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී වෙනම රටක්‌ පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් කටයුතු නොකරන බවට පොරොන්දු වෙනවා. සම්බන්ධන්ලාගේ විග්නේෂ්වරම්ලාගේ එම ප්‍රකාශයන් එම ප්‍රතිඥවට පටහැනියි. එම නිසා ඔවුන්ගේ එම ප්‍රකාශයන් ජාතිවාදී ගණයට වැටෙන්නේ නැද්ද යන කාරණයත් අපි අගමැතිවරයාගෙන් විමසා සිටියා. නමුත් අගමැතිවරයා ඒ පිළිබඳවත් මේ දක්‌වා පිළිතුරක්‌ ලබාදීලා නෑ.

එම කාරණා පිළිබඳව වගේම දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම පිළිබඳවත් අපි විමසා සිටියා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනියි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙමළ පරිවර්තනයේදී සිද්ධ වී තිබෙන වැරැද්දත් නිවැරදි කළ යුතුයි.

ජාතික යනුවෙන් හැඳින්වීමේදී ඒ පිළිබඳව දෙකක්‌ තිබෙන්න බෑ. එයින් සිද්ධ වෙන්නේ යම්කිසි රටක්‌ සංකේතවත් වීම. ජාතික වෘක්‍ෂය, ජාතික කොඩිය පිළිබඳව සඳහන් කිරීමේදී තිබෙන්න පුළුවන් එකක්‌ පමණයි. දෙකක්‌ තිබෙන්න බෑ. එම නිසා ජාතික ගී තිබෙන්න පුළුවන් එකක්‌ පමණයි. ඒ සඳහා එකක්‌ අවශ්‍ය වන්නේ විවිධ ජාතීන් විවිධ භාෂාවන්, විවිධ සිතුම් පැතුම් තිබෙන, විවිධ ආගම් අදහන ජනතාවක්‌ ඒකරාශී කිරීම සඳහායි. එය ඒකීයත්වය සඳහා අවශ්‍ය මූලධර්මයක්‌. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඊට පටහැනි නිසා අපි ඒ පිළිබඳවත් අගමැතිවරයාගෙන් විමසා සිටියා. නමුත් අගමැතිතුමා මේ දක්‌වා ඊට පිළිතුරක්‌ ලබාදීලත් නෑ.

මේ කටයුතු මේ ආකාරයටම සිද්ධ වුවහොත් විශාල හානියක්‌ සිද්ධ වෙනවා. මේ ක්‍රියාකරන ආකාරය තුළම ජාතිවාදය, ආගම්වාදය ඇති වෙනවා. එම නිසා තමයි අගමැතිතුමා වෙත අපි ලිපියක්‌ යොමු කළේ.

ප්‍රශ්නය- ඔබ වහන්සේ අගමැතිවරයාගෙන් විමසා සිටි කරුණුද පිළිබඳව අගමැතිවරයා මේ දක්‌වා ප්‍රතිචාර නොදැක්‌වීමට හේතුව කුමක්‌විය හැකිද?

පිළිතුර- මම බලාපොරොත්තු වෙනවා එම ලිපිය නැවතත් අගමැතිවරයාට යොමු කිරීමට. එම ලිපියට අගමැතිවරයා පිළිතුරු නොඑවීම මටත් ප්‍රශ්නයක්‌.

අනික රජයේ මොන තරම් නිලධාරීන් කණ්‌ඩායමක්‌ සිටිනවාද? මම එම ලිපිය යොමු කළේ ලියාපදිංචි තැපෑලෙන්. ඒ වගේම එම ලිපිය මාධ්‍යවලටත් යොමු කළා. නමුත් එම ලිපිය ලැබුණ බවවත් සඳහන් කර ලිපියක්‌ එවල තිබුණේ නෑ. ඒ වෙනුවට කොළය වහල ගැහීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක්‌ යොමුකර තිබෙනවා. නමුත් එයින් සෑහීමකට පත්විය නොහැකි නිසා එම ලිපිය නැවත අගමැතිතුමා වෙත යොමු කරනවා. එම ප්‍රශ්නවලට පිළිතුරු අපේක්‍ෂා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. රටේ ඇතිවිය හැකි දැවැන්ත ගිනි ජාලාවක්‌ වැළැක්‌වීමයි.

ප්‍රශ්නය- අගමැතිවරයා ඔබ වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදුන්නත්, ජාතිවාදය යන වචනය යොදා ගනිමින් අගමැතිවරයා දිගින් දිගටම අදහස්‌ ප්‍රකාශ කරනවා.

ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

පිළිතුර- අගමැතිතුමා ජාතිවාදය යන වචනය දිගින් දිගටම යොදා ගත්තත් මේ දක්‌වා එම වචනයෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්න අර්ථ දක්‌වා නෑ. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක

අගමැතිවරයා තමන් මොන අදහසකින් ජාතිවාදය යන වචනය යොදා ගන්නවාද යන්න පැහැදිලි නොකළත් අපට පෙනෙන ආකාරයට නම් ඒ මහතා එම වචනය යොදා ගත්තේ සිංහල ජනතාව ජාතිකත්වය පිළිබඳව ප්‍රකාශ කරන අදහස්‌ හෙළා දැකීම සඳහායි. නමුත් ඒ ආකාරයටම සිංහල ජනතාව ඔවුන්ගේ ජාතිකත්වය පිළිබඳව කතා කරාම අගමැතිවරයා එය ජාතිවාදය ලෙස හෙළා දකින්නේ නෑ. ඔවුන් පුරාවස්‌තු විනාශ කරන එක පිළිබඳව සිංහල ජනතාව කතා කළත් එය ජාතිවාදය ලෙස හඳුන්වන තත්ත්වයක්‌ තිබෙනවා.

ඒ අනුව පැහැදිලි වනවා අගමැතිවරයා ජාතිවාදය යන වචනය යොදා ගන්නා ආකාරය තුළ යම් කිසි පරස්‌පර විරෝධී භාවයක්‌ තිබෙන බව. ඒ වගේම ඒ තුළින් පොදු ජනතාවගේ අදහස්‌ යටපත්කර, සියුම් ලෙස කුමන්ත්‍රණකාරී වැඩ කටයුතු වලට අනුබල දෙන තත්ත්වයක්‌ තිබෙන බව පෙනෙන්න තිබෙනවා.

එක්‌ කණ්‌ඩායමක්‌ පැහැදිලි ලෙසම රට බෙදන්න කියල ඉල්ලනවා. සිංහල ජනතාව ඊට විරුද්ධව අදහස්‌ දක්‌වනවා. මෙහිදී රට බෙදන්න කටයුතු කරන අයට ජාතිවාදීන් නොකියන අගමැතිවරයා ඊට එරෙහිව කතා කරන සිංහල ජනතාව ජාතිවාදීන් ලෙස හඳුන්වනවා. අපි අගමැතිවරයාගේ කතාවේ පරස්‌පර භාවයක්‌ තිබෙන බව ප්‍රකාශ කරන්නේ එම නිසයි. එම පරස්‌පර විරෝධතාවය මත රට අරාජික වෙලා. රට ගිනි ජාලාවක්‌ බවට පත් වීමට ඉඩ තිබෙනවා. අපට අවශ්‍ය එය වැළැක්‌වීමටයි.

ප්‍රශ්නය- අගමැතිතුමා පමණක්‌ නෙවෙයි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු කිහිප දෙනකුම පසුගිය කාලයේදී අදහස්‌ ප්‍රකාශ කිරීමේදී “ජාතිවාදය” යන වචනය යොදා ගන්නා අයුරු අපට දැක ගැනීමට ලැබුණා.

ඔවුන්ගෙන් විමසුවත් ජාතිවාදය යන වචනයෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්න පැහැදිලි කිරීම ඔවුන් විසින්ද මගහරිනු ලබනවා. එම තත්ත්වය ඔබවහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර- අපේ රටේ බොහෝ උගතුන් බුද්ධිය බද්දට අරන් තියෙන්නේ. යම් කිසි කාල සීමාවකට බුද්ධිය බද්දට අරගෙන එම ගිවිසුම අවසන් වෙනකම් ඔය වගේ දේවල් කරනවා.

ඇත්ත වශයෙන්ම රටේ උගතුන් නියෝජනය වන්නේ මධ්‍යම පන්තික යන්නෙන්. නමුත් මධ්‍යම පාන්තිකයන් නිවැරදි ලෙස කටයුතු නොකිරීම නිසා මෙම හානිය සිද්ධ වී තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලවල සිංහල භාෂාව සම්බන්ධව, පුරාවිද්‍යාව සම්බන්ධව, දේශපාලනය සම්බන්ධව කටයුතු කරන බොහෝ මහාචාර්යවරුන් අගතිගාමීව කටයුතු කරනවා. එම ක්‍රියදාමය තුළ රටට විශාල හානියක්‌ සිද්ධ වෙනවා. මේ අය එක එක්‌කෙනාගේ කොන්ත්‍රාත් ඉෂ්ඨ කරනවාද යන සැකයක්‌ අප තුළ තිබෙනවා.

අනෙක්‌ කාරණය තමයි උගතුන්ගේ බොහෝ ක්‍රියාකාරකම් අවිචාරවත් වීම, ඔවුන් විචාරශීලී නෑ. උදාහරණයක්‌ ලෙස විවිධ පුද්ගලයන් ලංකාවේ ඉතිහාසය විකෘති කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල තිබෙන පුරාවිද්‍යා අධ්‍යයන අංශ, පුරාවිද්‍යා කමිටු, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ලබාදී තිබෙන පිළිතුර කුමක්‌ද යන්න විමසන්න පුළුවන්. මොවුන් මේ ආකාරයට ක්‍රියා කරන්නේ ඇයි? සියලු දෙනාම විචාරශීලීව කටයුතු කළ යුතු වුවත් මොවුන් එලෙස කටයුතු කරන්නේ නෑ.

ප්‍රශ්නය- මේ වන විට මාධ්‍ය නියාමනය සඳහා ආයතනයක්‌ පිsහිටුවිය යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනා ඉදිරිපත් කරන පුද්ගලයන් අතර සිංහල ජනතාවගේ ඓතිහාසිකම් පිළිබඳව කතා කිරීම, ජාතිවාදය ලෙස හඳුන්වා හෙළා දකින පුද්ගලයන් සිටිනවා. එම පුද්ගලයන් තමන්ගේ අදහස්‌ මාධ්‍ය නියාමනය ලෙස නීතිගත කිරීමේ සූදානමක්‌ තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මෙම තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

පිළිතුර- බ්‍රිතාන්‍යයේ ක්‍රමවේදයන් බලාගෙන මාධ්‍ය නියාමනය සඳහා ආයතනයක්‌ පිහිටුවීම පිළිබඳව මේ වන විට සාකච්ඡාවක්‌ ඇතිවී තිබෙනවා. මෙම ක්‍රමය මෙරට තුළ සාර්ථක වේය කියා මම හිතන්නේ නෑ.

ඔය කරන්න යන කටයුත්ත මාධ්‍ය නියාමනය ලෙස හඳුන්වනවාට වඩා මාධ්‍යවේදීන් මර්දනය ලෙස හඳුන්වනවා නම් වඩා හොඳයි කියල මම හිතනවා. විවිධ රටවල තිබෙන සංකල්ප අමු අමුවේම මේ රටට ගෙන එනවා. මොනව ගෙනාවත් දේශයට, කාලයට ගැළපෙනවාද කියන එක අපි බැලිය යුතුයි. ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය මාධ්‍ය නියාමනයක්‌ නෙවෙයි. අපට අවශ්‍ය විද්යුත් විචාර මාධ්‍ය කලාවක්‌. ඒ තුළින් සිද්ධ වෙන්නේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේදී නම් සාහිත්‍ය කෘතියක්‌ විචාරයට ලක්‌ කිරීමේදී සාහිත්‍ය මූලධර්මයන්ට අනුව එය සිද්ධ කිරීමට සිදුවීම. එම මාධ්‍ය කලාවට අනුව රාවණා පිළිබඳවත් කතා කළත් ඒක කරන්න වෙන්නේ ඊට ඓතිහාසික පදනමක්‌ තිබෙනවාද කියන එක විචාරය කිරීමෙන් පසුව. ඒ අනුව මාධ්‍යවේදීන්ටත් රාවණා පිළිබඳව කට කතා පසු පස යන්න බැරි වෙනවා.

විද්යුත් විචාර මාධ්‍ය කලාවක්‌ යන්න සියලු දෙනාම විචාරයට ලක්‌වන නිසා ඔවුන් සියලු දෙනාම නිවැරදිව කටයුතු කිරීමට පෙළඹෙනවා.

ප්‍රශ්නය- බෙදුම්වාදයට එරෙහිව අදහස්‌ දක්‌වන පුද්ගලයන් “ජාතිවාදීන්” ලෙස හෙළා දැකීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන පියවර කුමක්‌ද?

පිළිතුර- අපි නිහඬව ඉන්නේ නෑ. නැවතත් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ජාතිවාදය යන්න අර්ථ දක්‌වන්න කියලා.

අපට පෙනෙන ආකාරයට නම් අපගේ ඓතිහාසික උරුමය පිළිබඳව කතා කිරීම වැළැක්‌වීම සඳහා යොදන උපක්‍රමයක්‌ තමයි ජාතිවාදය යන වචනය යොදා ගැනීම. මේ පිළිබඳව අපි ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම කටයුත්ත සඳහා මධ්‍යස්‌ථ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එම කටයුතු සඳහා මාධ්‍යයේ අනුග්‍රහය ලබාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

Related posts

හෙට වාහනවලින් ගමන් කිරීම තහනම්. | ලගම කඩේට පයින් පමණයි – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

colombotoday

කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Admin

මැති ඇමැති පිරිසක් රට පනී ?

colombotoday

අපේ බත්පතට ඉන්දියාවෙන් වස – ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවල අධික ලෙස විශ රසායනික

colombotoday

දේශපාලනඥයන්ගේ සහාය ඇතිව පාතාලයන් කොළඹ තෙත් බිම් වර්ග කිලෝමීටර් 400ක් ගොඩ කරලා

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin