Colombo Today Local News

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32 කට නඩු

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් විරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06)දින පැවැසීය.

මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කිරීම, දේපළ විනාශ කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා උධෘත ගොනු මෙසේ යොමු කර තිබෙන බවද ඇමැතිවරයා කීය.

මෙයට අමතරව මෙම විමර්ශනයට අදාළ විමර්ශන ලිපිගොනු අටක් ද නීතිපතිවරයාට බාර දී ඇතැයි කී වීරසේකර මහතා සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන නඩු පැවරීම් කටයුතු සිදු කෙරෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 246 දෙනෙකු රිමාන්ඩ් හා රැඳවුම් නියෝග මත සිටින බවත්, පුහුණුවීම් කළ අවි ආයුධ ගෙනා, මද්‍රසා පාසල් හරහා අන්තවාදය වැපිරූ පිරිසක් ද ඒ අය අතර සිටින බවත් ඔහු කීවේය.

මේ සැකකරුවන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වාගෙන යන බවද ඔහු පැවැසීය.

මේ අතර පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලබන 31 වැනිදා නිකුත් කෙරෙන බව ද රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

එම වාර්තාවෙන් මෙම සිද්ධියට අදාළව සාක්ෂි රැසක් ඉදිරිපත් වනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

ජනාධිපති කොමිසමේ මේ වාර්තාව නිකුත් වනතුරු නීතිපතිවරයා ද බලාගෙන සිටින බව කී වීරසේකර මහතා නීතිපතිවරයා කොමිසමේ සාක්ෂි ද සැලකිල්ලට ගෙන සැකකරුවන්ට විරුද්ධව නඩු පවරනු ඇතැයි ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙළිදරව් කර නොගැනුණු කරුණු රාශියක් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගෙන ඇති බවත් මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ගැන රජය සෑහීමට පත් නොවන බවත් ඔහු පැවැසීය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා (ශ්‍රී.පො.පෙ.) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

රටටම මහ වැසි.. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.. දකුණට මහ ගං වතුරක්

colombotoday

වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩාවල

colombotoday

ශ්‍රී ලාංකික තබ්ලිග් ජමාත් දෙදෙනෙක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

colombotoday