Colombo Today Local News

“තමාට පෙර රට.. මොකට මුන්ට බය වෙනවද” ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වා දුන් ලක් විරුවා කියන කතාව මෙන්න

“එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ‘ප්‍රභාකරන් අවර් ලීඩර්’ කියලා කෑගසමින් උද්ඝෝෂණය කරද්දී මම ඇඟිල්ල බෙල්ලට තියලා ඇඟෙව්වේ සියල්ල අවසානයි කියලා.” යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පැවසීය.

පෙබරවාරි 04 දා එරට දී පැවැති නිදහස් සැමරුම් උත්සවයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීමේ වීඩියෝව මුල්කරගෙන දැවැන්ත ප්‍රතිවිරෝධයක් ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (07) දහවල් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබා දී ඔන්න ඔබතුමා යළි සේවයේ පිහිටෙව්වා. කලබල කරන්න එපා යැයි එහි දී ඇති වූ සිද්ධිය ගැන අසා පවසා තිබුණි.

ජනාධිපතිවරයගේ නියෝග මත නැවත සේවයේ පිහිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදාවෙන් හෝ කිසිදු ආයතනයකින් පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

සේවය අත්හිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇරඹූ විමර්ශනය ජනපති නියෝගයෙන් අත්හිටුවා තිබුණි.

බ්‍රිතාන්‍යයේ ඇති වූ සිද්ධිය ගැන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාව මත නිදහස් සැමරුම් උළෙලට සිංහල, දෙමළ, මුස්ලිම් දෙසිය පනහක් විතර සහභාගි වෙලා හිටියා. මම කල්තියාම බුද්ධි තොරතුරුවලින් දැනුම් දුන්නා එල්ටීටීඊ හිතවාදීන් විරෝධතාවකට සූදානම් වනවා කියලා. ඒ අනුව තානාපති ‍පොලිසිය ආරක්ෂාව සපයා තිබුණා.

අපි නිදහස් උත්සවේ ඉවර වුණාට පස්සේ උද්ඝෝෂකයෝ ඉන්න නිසා ඇතුළේ හිටපු ද්‍රවිඩ ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අය ආරක්ෂාව ගැන බලා ගන්න කියලා මගෙන් ඉල්ලුවා. එළියට යන්න බයෙන් ඉද්දී මම එයාලාට පසුපස දොරෙන් එළියට යන්න සැලැස්සුවා. සිංහල කොල්ලෝ මුන්ට බය වෙන්නේ මොකටද කියලා ඉස්සරහා ගේට්ටුවෙන් එළියට ගියා.

මෙතැන ජාතිවාදයක් නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස සමරන්නේ කියලා මම උද්ඝෝෂකයන්ට කියලා ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එවූ නිදහස් දින පණිවුඩය උද්ඝෝෂකයන්ට දුන්නා. උද්ඝෝෂකයන් අතරේ හිටපු නායකයෙක් ඒවා උදුරලා ගිනි තියද්දී බ්‍රිතාන්‍ය තානාපති ‍පොලිසිය ගිනි තියපු කෙනාව අත්අඩංගුවට ගත්තා.

ඒ සමග කලබල වුණු උද්ඝෝෂකයන් මහ කොමසාරිස් කාර්යාලය ළඟටම දුවගෙන ආවා.
උත්සවයට ආපු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව මගේ අතේ තිබුණේ. නිල ඇඳුමක් ඇඳගෙන මට ඒ අයට බාධාවක් වෙන්න දෙන්න බැහැ.

ප්‍රභාකරන් අවර් හීරෝ කියලා කෑගහන කොටි හිතවාදීන්ට සියල්ල අවසානයි කියලා තමයි මම හැඟෙව්වේ.

තමිල් ඊළාම් අවර් ලෑන්ඩ් කියලා කෑගහද්දී දීස් ඉස් යුවර් ලෑන්ඩ් කියලා සියලු දෙනාටම පේන්න තමයි මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ.

මම ඇඟිල්ලෙන් එකපාරක් පෙන්නපු ඉඟිය කිහිප වතාවක් පෙන්වමින් වීඩියෝවක් හදලා ජාත්‍යන්තරයට මුදාහැර තිබුණේ එල්ටීටීඊ හිතවාදී දෙමළ මාධ්‍ය ආයතන විසින්.
නමුත් උතුරේත්, වන්නියේත් වගේම බ්‍රිතාන්‍යයේත් දෙමළ ජනතාව මම එයාලට කොතරම් සේවයක් කළාද කියලා දන්නවා.

මම නිල ඇඳුම මාරුකර උද්ඝෝෂකයන් ළඟට ගිහිල්ලත් කිව්වේ ඔබලා ශ්‍රී ලංකාවට යන්නේවත් නැතිව එකිනෙකා කියන දේවල් ගැන චෝදනා කරන්න එපා. ඔබලා ලංකාවට ගිහින් සහජීවනයට ගෙනයන වැඩපිළිවෙළ බලන්න කියලා කිව්වා.

මම ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන මම ආඩම්බර වෙනවා.
‘තමාට පෙර රට’ කියලා මම ඉගෙන ගත්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබාගත් ආදර්ශය මතයි මම හැමදාමත් කටයුතු කරන්නේ.” යැයි ද බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පැවසුවේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– Rivira

Related posts

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

Admin

‘ගිනි අවි සහ ගිනිකෙළි‘ තුළින් පාතාලයේ ඇත්ත රටට හෙලිකළ අනුර හොරේෂස් ඥාණසාර හිමිගැන කියන දේ

colombotoday

හපුතලේ නව නගරාධිපති දිවුරුම් දෙයි

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

අම්පිටියේ හිමි බලන්න ජනපති මංගලාරාමයට යයි

colombotoday